[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතයේ දුක නුවණින් වටහා ගනිමු

ජීවිතයේ දුක නුවණින් වටහා ගනිමු

ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළ විස්තර කෙරෙන පළමු ආර්ය සත්‍යය වනුයේ දුක්ඛ ආර්ය සත්‍යය යි. එහි අට වැදෑරුම් දුකක් ඉගැන්වෙයි. පළමුවැන්න නම් ජාතිය හෙවත් ඉපදීම යි.

ලොව සත්ත්ව වර්ගයා මිනිස් හා තිරිසන් වශයෙන් ඒ ඒ සත්ත්ව කොට්ඨාසවලට අයත් ව උත්පත්තිය ලබති. එසේ ඒ ඒ භවයෙහි සත්ත්වයන්ගේ පහළවීම ඉපදීම ලෙස හඳුන්වයි. දරුවකු මව්කුස පිළිසිඳගෙන එහි වසන විට විවිධ පීඩාවන්ට භාජනය වන නමුත් එම දුක මතකයේ රැඳීමට අවකාශයක් නැත.

කවර ක්‍රමයකින් නමුත්, කො තැනක දී නමුත් උපන් සත්ත්වයාට විඳීමට සිදුවන අමිහිරි අත්දැකීමක් වේ ද එය ඉපදීම නිසා ම හටගන්නා දුකක් බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. සත්ත්වයාට ඉපදීමක් නො වූයේ නම් කිසිම දුකක් හට ගැනීමට ද හේතුවක් නො පවතියි. එසේ සසර නැවත නැවත ඉපදීම නැවත නැවත දුක් රැසකට ගොදුරුවීමකි.

වෙනසක අරුමය

සත්ත්වයාගේ වයස්ගතවීම ස්වභාවික ව සිදුවන්නකි. දිරා යාම ලෙස ද එය නම් කළ හැකි ය. කෙස් පැසීම, දත් වැටීම, ඇඟ රැළි වැටීම, ඇස්, කන් ආදී ඉඳුරන් දුබලවීම යනාදි වශයෙන් ශාරීරික වෙනස්කම් සිදුවන්නේ මෙම දිරායාමේ ප්‍රතිඵලයක් ලෙස යි. තරුණ වියේ මැනවින් දුව පැන ඇවිද ගිය ද වයසට යාමේ දී එම ශක්තිය ක්‍රමයෙන් හීන වී යයි. සැරයටි වාරුව මඟින්වත් ශරීරය පාලනය කර ගත නොහැකි වන අවස්ථාවන්ට ද ඇතැම්විට පත් වෙයි. ශාරීරික වශයෙන් එවැනි දුක්ඛිත තත්ත්වයන්ට පත්වීම මානසික වශයෙන් කෙ තරම් පීඩාවක් ගෙන දෙන්නක් ද යන වග අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

නිරෝගි සුව ගිලිහුන කල

සත්ත්වයාට මුහුණදීමට සිදුවන මහා දුකක් ලෙස ව්‍යාධිය හෙවත් රෝගී වීම ද පෙන්වාදිය හැකි ය. සත්ත්වයාට වැළඳෙන රෝග පීඩා රාශියක් ගැන බුදුරදුන් උගන්වා ඇත. අපට හිසරදය, අතපය රිදීම ආදි ඉතා සුලු අසනීපයක් වූ විට පවා ඉන් අත්විඳීමට සිදුවන වේදනාවන් අපමණ ය. බරපතළ රෝගාබාධයන්ට පත්වූවන් විඳින දුක අපට තේරුම් ගැන්මට පවා අපහසු ය. කායික සහ මානසික වශයෙන් ද ඇතිවන සියලු ම ලෙඩ රෝග මෙම ව්‍යාධි ගණයට අයත් වෙයි.

සතරාකාර මරණය

එක් භවයකට අයත් ජීවිතය සිඳී යාම මරණය යි. පඤ්චස්කන්ධය බිඳවැටීම නිසා සිරුර ඉවත දැමීමට සිදු වෙයි. බුදු දහමට අනුව සත්ත්වයාගේ මරණය සතර ආකාරයකට බෙදේ.

පළමුවැන්න ආයුක්ඛය මරණය යි. එය ආයුෂ ගෙවී යාමෙන් සිදු වෙයි. කම්මක්ඛය මරණය දෙවැන්න වන අතර, එය සිදුවන්නේ කර්ම ශක්තිය අවසන් වීමෙනි. ආයුෂත්, කර්ම ශක්තියත් යන දෙක ම අවසන්වීම උභයක්ඛය මරණය යි. ආයුෂත්, කර්ම ශක්තියත් දෙක ම ඉතිරි ව තිබිය දී හදිසි අනතුරු, ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීමෙන් සිදුවන මරණය උපච්ඡේදක මරණය යි. මරණයෙන් මෙලොව ජීවිතය අවසන් වුවත් සංසාර ජීවිතය අවසන් නොවේ. මරණය කිසිසේත් ම අප නො පතන දෙයක් වන බැවින් එය දුක පිණිස ම හේතු වෙයි.

අකැමැති හමුවීම්

අපහට අපි‍්‍රය වූ, අමනාප වූ පුද්ගලයන් හෝ වස්තූන් සමඟ එක්වීමට සිදුවීමත් දුකකි. අපි‍්‍රය පුද්ගලයකු හමුවීමට හෝ ඔහු සමඟ ජීවත්වීමට හෝ අපි කැමැති නො වෙමු. එසේ ම අකැමැති කිසියම් දෙයක් ලැබීම හෝ අකැමැති පරිසරයක ජීවත්වීමට ලැබීම හෝ කිසිසේත් රුචි නො කරමු. එය අපගේ බලවත් චිත්ත පීඩාව පිණිස ම හේතු වේ. එසේම පි‍්‍රයයන්ගෙන්, පි‍්‍රය කරන පරිසරයන්ගෙන් වෙන්වීමට, සිදුවීම ද එවැනිම වූ දුකකි.

වෑයම නොතිබෙනතාක්

බුද්ධ දේශනාවට අනුව සත්ත්වයා තුළ ඇතිවිය යුතු කැමැත්ත නම් සසර නො ඉපිද සිටීම යි. එහෙත් එය තමාගේ වෑයම නො තිබෙන තාක්කල් ඉටු නො වන දෙයකි. එසේම සත්ත්වයා මහලු නොවී සිටීමටත් කැමති ය. එයත් ඉටු නො වන දෙයකි. රෝග පීඩාවන්ට පත් නොවී සැමදා සුවයෙන් සිටීමට කැමැති වුවත් එය ද ඉටු නොවෙයි. එසේම නො මැරී ජීවත්වීමට සියලු සත්ත්වයන් කැමැති වුවත් එය ද ඉටු නො වන්නකි. මෙසේ නො ඉපදී, මහලු නොවී, ලෙඩ නොවී, නො මැරී සිටීමට කැමති වුවත් එය ඉටු නොවන තැන පත්වන්නේ බලවත් දුකකට යි.

ඉහත විස්තර වු දුක සේ ම දිවි පෙවෙත හා සබැඳි වෙනත් දුකක් පවතී නම් ඒ සියල්ලක් ම පංච උපාදානස්කන්ධයෙන් තොරව ඇතිවීමට ඉඩක් නැත. ඒ නිසා උපාදානස්කන්ධ පහම දුක් සහගත බව කියැවෙයි.

සත්ත්ව ශරීරය (රූප) සුඛ, දුක්ඛ, උපේක්ඛා යන වේදනාත්‍රය (වේදනා) අරමුණූ හඳුනා ගැනීම (සඤ්ඤා) මානසික ව කරන රැස්කර ගැනීම් ( සංඛාර) ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා ධර්මය අරමුණු කර ගෙන ඇතිවන දැනුම (විඤ්ඤාණ) යන ස්කන්ධ පහ ගැන ඇතිවන ආශාව ම පංච උපාදානය ලෙස හැඳින්වේ.

මගේ ය, මම වෙමි, මගේ ආත්මය යි. කියා සිතින් දැඩි ව අල්ලාගත් ස්කන්ධ පහ ම දුක් සහගත වෙයි. ඒ අනුව දුක් සහගත වන්නේ පංච උපාදානය මිස පංචස්කන්ධය නොවේ. ලොව පවත්නා මෙම සත්‍යය අපි මනාව වටහාගත යුතු වෙමු.

දුක උරුම ව ඇති අප වැනි සියලු සත්ත්ව වර්ගයාට දුකෙහි දී පිහිට විය යුතු ය. සත්ත්ව ඝාතන ආදියෙන් වැළකිය යුතු ය. දුක් වේදනාවන්ට අධිෂ්ඨානශීලි ව හා ධෛර්ය සම්පන්න ව මුහුණ දී බුදුදහම පෙන්වා දෙන දුකින් මිදීමේ ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු ය.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]