අරිය පරියෙසනයෙහි අග්‍ර ඵලය
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
ඇසළ පුරපසළොස්වක පොහොය දිනය කියන කොට ම අපේ සිහියට නැගෙන බුදුසිරිතේ අසිරිමත්
සිදුවිම් අතර පළමු තැනට පත්වන්නේ උන්වහන්සේ අවබෝධ කර ගත් උතුම් දහම කැටිකොට ප්‍රකාශ
වන දම්සක් පැවතුම් දෙසුම යි.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව යි. අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප
ලක්ෂයක් මුළුල්ලේ ලද විවිධාකාර අත්දැකීම් ඇසුරු කරගෙන කරන ලද අරිය පරියෙසනයෙහි
ප්‍රතිඵලය ලෙස නැතිනම්, සොයා ගත් නවමු දහම ප්‍රකාශයට පත් වූ අවස්ථාව ලෙස යි මෙම
සූත්‍ර දේශානව හඳුන්වා දිය හැක්කේ. එය වඩාත් ප්‍රකට වන්නේ උන්වහන්සේ විසින් මෙම
දේශනාවෙහි යොදා ගෙන ඇති පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු යන පාඨයෙනි යි.
උන්වහන්සේ විසින් ලබා ගත් සර්වඥතා ඥනය යනුවෙන් මෙම දේශනාවෙහි දක්වා ඇත්තේ මෙම
දුක්ඛාර්ය සත්‍යයත්, එය අවබෝධ කළ යුතුයි යන්නත්, එය අවබෝධ කර ගත්තා යන්නත්, එය
අවබෝධ කරගත් මාර්ගය යන්නත් මෙතෙක් නො ඇසූ නවමු දහමකි. මේ ආකාරයෙන් ම දුක්ඛසමුදයාර්ථ
(දුකහට ගැනීමත්),දුක්ඛ නිරෝධාර්ථ (එය නැති කිරිමත්) දුක්ඛනිරෝධගාමිණි පටිපදා(එය
නැති කිරීමේ මාර්ගයත්) යන මේ සත්‍යය සතර ම තුන් ආකාරයෙන් ම අවබෝධ කර ගැනීම යි.
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූයේ ක්‍රි.පූ.6 වැනි ශතවර්ෂයේ දී දඹදිව ඉන්දියාවේ
දෙසැටක් මිත්‍යාදෘෂ්ටික මතවාද කැපී පෙනුණා. මේ අතර ප්‍රකට වශයෙන් නිඝණ්ඨනාථපුත්ත
හෙවත් ජෛන මහාවීරයන් ප්‍රධාන කොටගත් ආගමික නායකවරුන් හය දෙනෙක් කැපී පෙනුණා. මේ හය
දෙනා ඉතිහාසයේ ෂට්ශාස්තාවරුන් ලෙස නම් කෙරුණා.
මේ ශාස්තෘවරුන් ඇතුළු විවිධ ආගමික නායකයන්ගේ ඉගැන්වීම්, මතවාද දෙකක් ඔස්සේ
ගොනුවෙමින් පැවතුණා. එක් මතවාදයක් වූයේ ස්‍යස්තවාදය යි. අනෙක උච්ඡේදවාදය යි. සස්සත
හෙවත් ශාස්වත වාදයෙන් පෙන්වා දුන්නේ මරණින් පසු විනාශ වෙන මේ ශරීරයෙන් පස්සේ නැවත
හටගැන්මක් නැති අධිභෞතික ලෝකයක මේ ආත්මය සදා කල් පවත්නා බවයි. අනෙක් වාදය වූ
උච්ඡේදවාදයෙන් කියා සිටියේ මිනිසාගේ මරණයෙන් පසු නැවත ආත්මයක්, පැවැත්මක් ඇති බව
යි.
මෙවැනි මතවාදවලින් පිරුණු දඹදිව මධ්‍ය දේශයෙහි පහළ වූ ග්‍රේෂ්ඨ ශාස්තෘවරයා වූයේ අපේ
භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ යි.
තම පුතු කෙරෙහි ඇති විශ්වාසය හා ආදරය නිසා පිය සුද්ධෝධන රජතුමා ඒ සියලු සම්පත් තම
පුත් සිදුහත් කුමරුට ලබා දෙමින් ශාක්‍ය වංශයේ මේ රජ තනතුර උරුම කර දීමටත්, ඒ කෙරෙහි
ලොල්බවක් ඇති කිරීමටත් ගත හැකි හැම පියවරක් ම ගත්තා. මේ නිසා කාමසුඛල්ලිකානුයෝගයේ
කියැවෙන ඉගැන්විම් අනුව පසිඳුරන් පිනවමින් දවස ගෙවන්නට අවශ්‍ය සියලු දේ සම්පූර්ණ කර
දීමට පිය රජතුමා පියවර ගත්තා. සියලු ශිල්ප ශාස්ත්‍ර ඉහළ මට්ටමෙන් ම ලබා දුන්නා.
මේ අනුව ආත්මය දිගින් දිගට ම පවත්වා ගෙන යාමට නම් ආත්මය සම්බන්ධයෙන් ශරීරයෙන්
සිදුවන බලපෑම නැති කරන්නට ඕනෑ යැයි සිතන ආත්මවාදී පිරිස ශරීරයට දුක් දිමටත්, ආත්මය
භවයෙන් භවයට සදාකාලිකයි යනුවෙන් ඉගැන්වූ පිරිස නිතර ම කල්පනා කළේ හැකිතාක් දුරට
ශරීරයට සැප ලබා දීමටත් ය. සුද්ධෝදන රජතුමා ද තම පුතු සම්බන්ධයෙන් අනුගමනය කළේ සැප
සම්පත් බහුල කර එහි ලොල් බවක් ඇති කිරීමේ පිළිවෙතක් බව කියන්නට පුළුවන්. රූමත්
කුමාරිකාවක් තම වංශයට ගැලපෙන ආකාරයෙන් තම අග මෙහෙසිය අයත් කෝළිය වංශයෙන් කැඳවා සිදු
කර දෙමින් යශෝධරාව විවාහ පත් කර දුන්නා. හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ප්‍රකට
දඹදිව ඉන්දියාවේ සෘතු තුනට සුදුසු වන ආකාරයෙන් රම්‍ය, සුරම්‍ය හා සුබ වශයෙන් මාළිගා
තුනක් ද තම පුතුට නිමවා දුන්නා.
වසර 29 ක් තිස්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ කම් සැප ඇති තරම් වින්දා. එදා ඇසළ
පුරපසළොස්වක පොහෝ දින සුපුරුදු නගර සංචාරය නිමවා මාළිගාවට ළඟා වීමට පෙර සතර පෙර
නිමිති දුටු උන්වහන්සේට එතෙක් තමන් අත්විඳී මේ ලෝකයෙහි තවත් දර්ශනයක් නිසා හැමදාමත්
මේ සැප මෙහෙම නොවෙයි. මෙහි තවත් අඳුරු පැත්තක් තිබෙන බවට යම් අත්දැකීමක් ලබා තවත්
ඉදිරියට එමින් සිටින විටයි කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසෙන්නේ.
මෙයින් සිතේ එතෙක් ගොඩනැඟුණු විපිළිසර බව මඳකට පහවුණා. එහෙම වුණත් එය තාවකාලික
සුවයක් ම වුණා. මේ බන්ධන සියල්ල ම තවදුරටත් තමන්ට ඉදිරි කාලෙක දී වධයක් ම බව දැනී
දැනී ඉදිරියට පියමන් කරන සිදුහත් රජුට වැටහුණේ මෙතෙක් තමන් දුටු සුන්දර ලෝකයෙහි
අසුන්දර පැත්තක් තිබෙන බව ම යි. උන්වහන්සේට ලැබුණු පණිවුඩය වූයේ යශෝධරාවන්ට පුත්
රුවනක් බිහි වූ බවයි. එහෙම නම් තමන් පියෙකු වී, තවත් බන්ධනයක් තමන් විසින් ම ඇති කර
ගත් බවයි දැන් දැන් එතුමාට වැටහෙන්නේ.
සවස් වී මාළිගාවට පිය නඟන උන්වහන්සේගේ ඇස කන පිනවමින් රැඟුම් පෑමට සුපුරුදු ලෙස
පැමිණි නිළියන්ගේ රංගනවලට හෝ ගීතයන්ට හෝ එදා සිත නොබැඳී තිබියදී නින්දට ගිය
උන්වහන්සේ මහ රෑ අවදි වී නිළියන්ගේ විකාර රූප දර්ශනයෙන් තවත් සිත අසතුටට පත් කර
ගත්තා.
උන්වහන්සේ යශෝධරාවට තුරුලු වී තමන් නිසා මෙලොව එළිය දුටු පුත් කුමරුට පියෙකු වශයෙන්
ඇති වූ සෙනෙහස නිසා ම එම දසුන ද ලබා මාළිගාවෙන් පිට වූයේ මෙතෙක් විඳී මේ ලෝකයේ ඉහළ
ම සම්පත්වල ද අතිර බව තේරුම් ගත් නිසා ම යි.
ඉන්පසු ඡන්න ඇමති සමඟ කන්ථක අසු පිට නැඟී නේරංජනා ගඟින් එතෙර ව, නා හිස මුඩු කර
තවුස් වෙස් ගත්තේ ඒ වනවිටත් ඒ මත යමින් විමුක්තියක් සොයමින් සිටි පිරිසක් එදා ගයා
ගං ශීර්ෂයෙහි විවිධ ව්‍රත සමාදන් වෙමින් සත්‍ය සොයා පරියේෂණයක යෙදෙමින් සිටිනු දැන
ගත් නිසා ය.
මෙන්න මේ සිදුවීම දක්වා ම උන්වහන්සේ කාමසුඛල්ලිකානුයෝගය අනුගමනය කරමින් ගත කළ
ජීවිතයේ නිසරු බවත්, සදාකාලික සුවයක් නොලැබෙන බවත් දුටු නිසා ඒ හීන, ග්‍රාම්‍ය,
අනාර්ය, අනර්ථය පිණිස පවතින එම පිළිවෙත අත්හැරියා. එය තම අත්දැකීමෙන් ම වටහා ගත්
දෙයක් වූ නිසා තවත් පිටස්තර ඉගැන්වීමක් උන්වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. මෙය බෝසතාණන්
වහන්සේගේ අරියපරියේසනයෙහි එක් පියවරක් විදිහට පෙන්වා දෙන්නට පුළුවනි. මේ
කාමසුඛල්ලිකානුයෝග දිවිපෙවෙතේ නිසරු බව පැහැදිලි ව අවබෝධ කර ගැනීම ඒ වනවිටත් පැවති
ශාස්වතවාදී ඉගැන්වීම් මුළුමනින් ම අත් හැර දැමීමක් වුණා.
ඊ ළඟට එහි විරුද්ධ මාර්ගය වූ ඒ වකවානුවේ, කටුක වේදනා විඳීමින්, කෙලෙස් තවා,
සදාකාලික සුවයක් සොයන පිරිසට එක් වී ගත කළ අවුරුදු 06 ක් වූ එම කටුක දිවි පැවැත්ම
තුළින් සදාකාලික සුවයක් ලැබේ දැයි විමසමින් උන්වහන්සේ ඒ අත්දැකීම ද අඩුවක් නැති ව
ලබන කොට එයින් ද සසර ගමනේ නිසරු බවට අවසාන විසඳුමක් නැති බව වටහා ගත්තා.
මේ අන්ත දෙකෙන් ම බැහැර වී මෙතෙක් කවරකු විසින් නොවිඳී මගක් ඇති බව පෙන්වා දෙමින්
එය මධ්‍යම ප්‍රතිපදාව බව පැහැදිලිව ම ප්‍රකාශ කළා. එය උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවේ
දී පැහැදිලි ව ප්‍රකාශ කරනවා.
එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම
උන්වහන්සේ අන්ත දෙක ම අත්හැර මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙමින්, විද්‍යාත්මක වචනයකින්
කියනවා නම් සම්පරීක්ෂණයක යෙදුණා. එයින් උන්වහන්සේ ලද ප්‍රතිඵලය වූයේ මධ්‍යම
ප්‍රතිපදාව තුළින් පමණක් දුක්ඛ නිරෝධය හෙවත් දුකට තිත තිබිය හැකි බව අවබෝධ කර ගැනීම
යි. එය තවත් වචනයකින් කිවහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීම යි. එය
අවබෝධ කර ගැනීමෙන් උන්වහන්සේට සර්වඥතා ඥානය පහළ වූවා.
එම අවස්ථාවෙහි උන්වහන්සේ සිංහ නාදයක් කරනවා පස්වග භික්ෂූන් අමතා ” යම් අවස්ථාවක
මහණෙනි, මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් ත්‍රිපරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයකින් යුක්ත
ඥානදර්ශනය පිරිසුදු වී නම් එකල්හි මම සම්‍යක් සම්බෝධිය ලදිමි.” යනුවෙන්. |