බැඳීම
බැඳ දමමු
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
රාග ද්වේශ, මෝහ මද මානයන්ගෙන් ගිනි ගත් මිනිසුන් තම බලය, ධනය උදෙසා යුද්ධයෙන් ලොව
විනාශ කරයි. මේ සඳහා මූලික හේතුව වන්නේ ගිනි නිවන මඟ ලෝකයා නොදන්නාකම යි. ගිනි නිවන
මඟ ඇත්තේ ධර්මය තුළ යි. විශේෂයෙන් ම බුදු දහම තුළ මේ ගිනි නිවන මඟ වෙයි.
උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති.
තණ්‌හාපච්‌චයා උපාදානං. උපාදානපච්‌චයා භවෝ. භවපච්‌චයා ජාති. ජාතිපච්‌චයා ජරාමරණං
සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස
දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.
මහණෙනි,
බැඳීියාම ඇතිවෙන දේ ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනකුට තණ්හාවයි වැඩෙන්නේ.
තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. බැඳීයාම හේතු කොටගෙන භවය ඇති වෙනවා. භවය
හේතු කොටගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික
දුක්, සුසුම් හෙළීම් ඇතිවෙනවා. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැස ම හටගන්නවා.
ලොව පවතින පොදු ගැටලුව නම් දුක යි.සත්ත්ව ආත්ම භවයක් ලබන්නා ස්වභාව ධර්මය තුළ
සිදුවන දේට අකැමැති වෙයි. හට ගැනීම, දිරාපත් වීම, මරණය, ව්‍යාධිය, ලෙඩ වීම, හැඬීම,
වැළපීම, කායික දුක්, මානසික දුක්වලට අකැමැති වෙයි. නමුත් ඒ දේ ඒ අයුරින් සිදු වෙයි.
මේ ස්වභාව ධර්ම සංසිද්ධිය හා සිතේ ස්වභාවය එකිනෙකට වෙනස් වූ නිසා එකිනෙකට
ප්‍රතිවිරුද්ධ වෙයි. ප්‍රතිවිරුද්ධ දෙයක් එකට එක් වූ කල එතැන ගැටුමකි. එම ගැටුම දුක
නම් වෙයි.
අප හැම දෙනාගේ අවශ්‍යතාව සතුටයි. දුක නැති කිරීමයි. ඒ දුක නැති කරන්නට නම් දුක හට
ගත් තැන දැන ගත යුතුයි. අපගේ සතුට පැහැර ගත්තේ මේ දුක හට ගත්තේ අපගේ සිත තුළ
ආස්වාදනීය ධර්ම කෙරෙහි ඇති වු දැඩි ලෝලත්වය, දැඩි බැඳීම, දැඩිව ආස්වාදනය කර ගැනීම,
දැඩිව අල්ලා ගැනීම නිසා ය.
රෙදි කඩක වැටෙන පාට දියරයක් එම රෙදි කඩ අතනොහැර එහි ම පැල්ලමක් සේ දකින්නට තිබෙනවා
සේ, බත් මුට්ටියක බතෙහි පිච්චුන කොටස දංකුඩය මුට්ටියෙහි පත්ල අල්ලා ගන්නා සේ මේ
දැඩිව අල්ලා ගැනීම අප සිත්හි පවතී. ඒ පවතින චිත්ත ස්වභාවය උපාදානය නම් වෙයි.
දැඩිව අල්ලා ගත් දේ අපට අයිති කර ගැන්මට සත්වයා ගන්නා උත්සාහය පදනම් කොටගෙන ඔහු
අතින් පව්, අපරාධ, නරක දේ සිදු වෙයි. සතුන් මරයි. සොරකම් කරයි. වැරැදි අයුරින් කම්
සැප විඳියි. බොරු, කේළාම්, පරුෂ වචන, හිස් වචන කියයි. මෙය පුද්ගලයාට දුකකි. සමාජයට
දුකකි. මේ දුක හට ගත්ත මූලය උපාදානය යි. දැඩිව අල්ලා ගැනීමයි. අධ්‍යයනයේ පහසුව සදහා
උපාදානය කාණ්ඩ හතරකට බෙදා දේශනා කරයි. ඒ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සිලබ්බත
උපාදාන, අත්තවාද උපාදාන ආදි වූ සතර ආකාරයයි.
කාම උපාදාන යනු ඇස, කන, නාසය, දිව, ශරීරය, ඉල්ලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, දැඩි
ව අල්ලා ගැනීමයි. පස්කම් සැප දැඩිව අල්ලා ගත් උදවිය ඒ සඳහා මිල මුදල්, රත්තරන්,
මුතු , මැණික්, තිබුණොත් පහසු යැයි සිතයි. ඒ සඳහා තනතුරු නිලතල තිබුණොත් හොඳ යැයි
සිතයි. ඒවා ලබන්නට අරගල කරයි. මිච්ඡා වචන කථා කරයි. බොරු කේළාම් පරුෂ වචන කියයි.
මිච්ඡා කම්මන්ත, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරයෙහි යෙදෙයි. මිච්ඡා ආජීවය
තමාට, සමාජයට, ධර්මයට අනර්ථයක් කොට ඉපයීම් කරයි. මිනිසුන් මිනිසුන්ට විනාශය ගෙනෙන
මත්වතුර, මත්ද්‍රව්‍ය විකුණන්නේ, පරිහරණය කරන්නේ. මිනිසුන්, මිනිසුන් ගහ මරා ගන්නේ.
මිනිසුන් හොරකම් කරන්නේ, කාම උපාදානය පදනම් කර ගෙනයි. මේ නිසා මෙලොව සතුට නැති
වෙයි. අසතුටු සිතින් මිය ගොස් තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල, සතර අපායවල ඉපිද දුක
බහුල කර ගනියි.
සමහරු පව් බැහැර කොට පින්කම් කරති. එහි අරමුණත් කම් සැප විඳීමයි. ඔවුන් මිනිස් දෙව්
ආදි ලෝකවල ඉපිද දුක් විඳියි. කාම උපාදානය නිසා සුගතියක සිටිය ද, දුගතියක සිටිය ද
දුක පවතී. කාම උපාදානය මිනිසුන්, මිනිස් සමාජය විනාශ කරන අවස්ථාවකි.
මහා සුතසෝම ජාතකයෙහි එන බ්‍රහ්මදත්ත රජු මිනී මස් කෑමේ ආශාව නිසා ස්වකීය රාජ්‍යය හා
රජකම අතහැර පෝරිසාදයකු වන්නේ ය. මිනිසුන් මරන්නේ කාම උපාදානය පදනම් කරගෙනයි. ඒ කාම
උපාදනයෙහි භයානකකමයි. පුද්ගලයන් පුද්ගලයන් මරා ගන්නේ, ගම් ගම් අතර කලකෝලහල හට
ගන්නේ, රටවල් රටවල් අතර යුද්ධ ඇති වන්නේ මෙම කාම උපාදානය පදනම් කර ගෙනයි.
දිට්ඨි උපාදානය යනු දෘෂ්ටිගත වීමයි. කසිනා දී භාවනාවල යෙදෙන උදවිය රූපාචර, අරූපාවචර
ධ්‍යාන ලබයි. චිත්ත ශක්තිය දියුණු කරයි. ඒ ධ්‍යාන කෙරෙහි උපාදානය ඇති කොට ගෙන එහි
වෙසෙයි. ඔහු හතළිස් දහසක් අතීතය දකියි. හතළිස් දහසක් අනාගතය දකියි. ඔහු මේ භවය
මෙපමණකයි. සසර ගමනක් නැතැයි කියයි. යළි උපතක් නැතැයි කියයි. ශාස්වත දෘෂ්ටි ගනියි.
උච්ඡේද දෘෂ්ටි ගනියි.
දුන් දෙයෙහි විපාක නැත,
මහායාගාදියෙහි ඵල නැත,
ආමන්ත්‍රණය කොට දීමෙහි ද, ආගන්තුක වශයෙන් පැමිණිය වුනට දීමෙහි ද, මංගල ක්‍රියා
පිළිබඳ වූ දීමනාවෙහි ද විපාක නැත.
දස කුසල කර්‍මපථ, අකුසල කර්‍මපථ වශයෙන් පැවැති සූකෘත, දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක
නැත.
(මේසේම පෙරැ කී දානාදීන්හි ද, ආනිසංස ඵල හා විපාක ඵල නැතැයි කීවා වේ.)
පරලොව සිටියනට මෙලොව නැත.
මෙ ලොව සිටියනට පරලොව නැත.
(එහිම උච්ඡේද වන හෙයින් පරලොව සිටියහුට මෙ ලොව ඊමෙක් නැත.)
මව්පියනට කළ මනා, නො කළ මනා උවටැන් හා පීඩා ආදියෙහි ඵල නැත.
පළමු භවයෙන් චුතවැ දෙ වන භවයෙහි උපදනා සත්ත්‍ව කෙනෙක් නැත.
අනුලෝම ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් හෙයින් සම්‍යක්ගත වූ, සම්‍යක්,
ප්‍රතිපන්න වූ, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත. නාස්තික වාදී දෘෂ්ටි ගනියි.
අහේතුක වාදී දෘෂ්ටි ගනියි. අකිරිය වාදී දෘෂ්ටි ගනියි. ආත්මවාදී දෘෂ්ටි ගනියි. මෙසේ
දෘෂ්ටිගත වීම නිසා පව්කම්වල නිරත වෙයි.
දුන් දෙයෙහි විපාක නැත කියූ සැනින් ඔහු දානයෙන් වැළකේ. මෙලොව පරලොව නැතැයි කියූ කල
පිනට ලැදි නොවෙයි. පව්කම් කිරීමේ ලජ්ජා නොවෙයි. බිය නොවෙයි. වර්තමානය තුළත් දිව්‍ය
ලෝක නැත. අපාය නැත. දන් දීමෙන් නිවන් දැකි ය නොහැක. ආදී ලෙස මිථ්‍යාව දෙසන්නන්
වෙයි. ඔහු තම භව ගමන විනාශ කර ගන්නා සේ ම සමාජය ද පවට යොමු කරයි. ඉන්න කාලේ කාල
බීලා සතුටින් ඉන්න ඕන කියා වැරැදි අයුරින් ජීවත් වන්නේ මෙම දෘෂ්ටිවාදය පදනම් කර
ගෙනයි.
සීලබ්බත උපාදානය යනු ඊළග උපාදානය යි. විමුක්තිය උදෙසා විවිධ වෘත සමාදන් වීම මෙයින්
අදහස් කරයි. මෙයින් ශුද්ධිය වේ යැයි සිතා, ශීල ව්‍රත, ගෝ ව්‍රත, අජ ව්‍රත ආදිය
අනුගමනය කිරීම, සීලබ්බත උපාදාන නම් වෙයි. එකී ව්‍රත අනුගමනය කිරීමෙන් මේ ලෝකයෙහි හෝ
වෙනත් රූප හෝ අරූප භවයක සැප ලැබේ යැයි සිතයි. මෙම ව්‍රතයන්ට අනුව දිවි ගෙවයි. එයින්
ඇතිවන විමුක්තියක් නැත. පවෙහි ගිලෙයි. සසර දුක දියුණු කර ගනියි.
අත්තවාද උපාදානය නම් ආත්මයක් ඇතැයි සිතීම, භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් ඇතැයි සිතා
ඒ කෙරෙහි උපාදානයෙන් යුතු ව කටයුතු කිරීම මම, මගේ, මගේ ආත්මය ආදි වශයෙන් ගෙන කටයුතු
කිරීමයි. ආත්මවාදය ඇති වූ විට ද පුද්ගලයා, සමාජය පව් කරයි. මේ උපාදානය පෝෂණය කරන්න
කරන්න වැඩෙයි. ගැල් දහයක, විස්සක, තිහක හතළිහක දර දැමූ මහා ගිනි ජාලාවක් වෙයි. යම්
පුද්ගලයෙක් ඒ ගින්නට විටින් විට තණ කොළ, ගොම රිටි, දර දමයි නම්, ඒ ගින්න නොනිමී
ඇවිලෙයි. මෙම උපාදානය ද එලෙසයි. එය පෝෂණය කරන්න කරන්න එය නැති නොවෙයි. දිගින් දිගට
ම පවතියි.
බීජයක් හිටවා ජලය, බෙහෙත්, පොහොර දැමූ කල එම බීජය පැළ වී ටිකින් ටික හැදී වැඩී මහා
වනස්පතියක් වන්නා සේ උපාදානය වැඩී යයි. උපාදානය දැඩි ව අල්ලා ගැනීම නිසා සසර ගමන
නිමා නොවෙයි. උපාදානය නිසා භව ප්‍රාර්ථනා කරයි. කාම භවවල ඉපදීම අල්ලා ගනියි. රූප,
අරූප භවවල ඉපදීම අල්වා ගනියි. මේ නිසා විවිධ වූ දුකට පත් වෙයි.
උපාදානය හට ගන්නා ආකාරය පටිච්ඡ සමුප්පාද ක්‍රියාවලිය තුළ දක්වයි. චතුරාර්ය සත්‍යය,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය පිළිබඳ ව ඇති නොදැනීම, නො වැටහීම, අනවබෝධය නිසා
පුද්ගලයා රැස් කරයි. රැස් කරන්නේ පරිභෝජනය සඳහායි. පරිභෝජනය කරන්නට නම් ජීවයක්
අවශ්‍ය වෙයි.
ජීවයක් ලබන්නේ විඤ්ඤාණය, සිත තුළිනි. මේ නිසා රැස්කිරීම හේතු කොට ගෙන විඤ්ඤාණය පහළ
වෙයි. මේ සිතට ළගින්නට තැනැක් අවශ්‍ය වෙයි. ඒ නිසා නාම රූප හටගනියි. නාම රූප නිසා
ආයතන හට ගනියි. මේ ආයතනවල ක්‍රියාකාරිත්වය ස්පර්ෂය යි. ඒ නිසා වේදනාවක් විඳීමක් හට
ගනියි. ඒ විඳීමට ඇති කර ගන්නා කැමැත්ත තෘෂ්ණාවයි. මෙය මට, මගේ, යැයි බැඳීමක් සකස්
කර ගැනීම උපාදානය යි. අන්න ඒ උපාදානය නිසා භව ප්‍රාර්ථනා කරයි. ඒ නිසා උපදියි. උපන්
නිසා විවිධ වු දුකට පත් වෙයි. මේ නිසා මැරෙමින් ඉපදෙමින් නොනිමි ගමනක් සසර ගමන්
කරයි. මෙය දුකට හේතුයි. දුකෙහි ඇලී ගැලී සිටින්නා සොයන්නේ සතුටයි. අඳුරෙහි සිටින්නා
සොයන්නේ ආලෝකය යි. සතුට ලබන්නට නම් මේ සම්ප්‍රදායික ක්‍රියාවලිය වෙනස් කළ යුතු ය.
දහයක, විස්සක, තිහක, හතළිහක ගැල්වල දරවලින් නැඟෙන ගින්නකට කවුරුන් හෝ තණකොළ,
ගොමරිටි, දර යළි යළිත් නොදමයි නම් ඒ ගින්න නිවී යයි. අන්න ඒ අයුරින් උපාදානය පෝෂණය
නොකරයි නම් භව ප්‍රාර්ථනා නොකරයි. එසේ වූ කලට ජාති ජරා ආදී දුක් හට නොගනී. සදාතනික
සතුට උතුම් සතුට නිවනින් සැනසෙයි.
මහණෙනි, බැඳීයාම ඇතිවෙන දේ ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාව නිරුද්ධ
වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙයි. බැඳීයාම නිරුද්ධ වීමෙන් භවය
නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන්
ජරාමරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙයි. ඔය
ආකාරයට මේ මුළු මහත් දුක් රැස ම නිරුද්ධ වෙයි.
මේ බැඳීම, දැඩි ව අල්ලා ගැනීම නැති කරන්නට නම් අප තුළ පළමුව හට ගත යුත්තේ ශ්‍රද්ධාව
යි. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව විශ්වාසය නිසා බුදු ගුණ
පිළිපදියි. දහම් ගුණ දිවියට එක් කර ගනියි. සඟ ගුණ එක් කර ගනියි. දානමානාදී වු
පින්කම් කරයි. කර්ම, කර්මඵල විශ්වාසය ඇති කර ගනියි. චතුරාර්ය සත්‍ය දකියි. අවබෝධ කර
ගනියි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ යමින් ශීල, සමාධි, ප්‍රඥා යන ශික්ෂණය ගොඩනඟා
ගනියි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් ලෝක යථාර්ථය දකියි. ලොව නිවැරැදි ව දකින්නා
උපාදානය බැහැර කරයි. උපාදානය හෙවත් බැඳීම මේ අයුරින් බැඳ දැමූ කල ගිනිගත් පුද්ගල
හදවත් නිවී සැනසෙයි. එසේ නිවුණු මිනිසුන් ගම්දනව්වල, රටවල සිටි කල ඒ රටවල් තුළ
දැවෙන ගිනි නිවී යයි. නිවුණු රටවල් තුළ අභ්‍යන්තර කළකෝළහල නැත. රටවල් රටවල් නිවී
සැනසී ගිය කල රටවල් රටවල් අතර ඇවිළෙන යුද ගිනි දැල් නිවී යයි.
දැඩිව කාම, රූප, අරූප භව අල්ලා ගැනීම නවතමු. මෙලොව සතුට ලබමු. පරලොව සතුට ලබමු.
දැවෙන ගිනි නිවා නිවනින් සැනසෙමු. |