පිරිසුදු සිතින් දෙන දානයේ
මහත්ඵල මහානිශංස
ගෞතම සම්බුද්ධ ශාසනයෙහි දෙවියන්ට පි‍්‍රයමනාප පුද්ගලයින් අතර අග්‍රස්ථානය ලැබුවේ
පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් දවස හංසවතී නගරයෙහි
බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපදුණි. පදුමුත්තර බුදුරදුන්ගේ පියාණන් වූ ආනන්ද රජු
ඔහුගේ මිත්‍රයකු වුණි. ආනන්ද රජු වෙනත් කිසිවකුට අවකාශ නොදෙමින් බුදුරදුන් ප්‍රමුඛ
මහා සංඝරත්නයට තමන් ම උපස්ථාන කරනු දුටු ඔහු මීට පෙර කිසිවකු නුදුන් පරිදි මහා
දානයක් දෙමි’යි සිතා ඊට සුදුසු වාතාවරණයක් නිර්මාණය කර ගත්තේ ය. දින ගණනක් පුරා
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එම මහා දානය පිදීමෙන් අනතුරුව පදුමුත්තර
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට සර්වපරිෂ්කාර
දානය දුන් මේ පුරුෂයා සසර බොහෝ සැප සම්පත් ලබන බව ය.
එසේ, සසර සැප සම්පත් ලැබ කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ
සසුනෙහි පිළින්දවච්ඡ නම් ශ්‍රාවකයෙක් ව, දෙවියන්ට පි‍්‍රය මනාප පුද්ගලයන් අතුරෙන්
අග්‍රස්ථානය ලබන බවයි. ගෞතම බුදුරදුන් කල මේ පිලින්දවච්ඡ මහරහතන් වහන්සේ තමන්
වහන්සේ විසින් අතීතයේ දී සිදු කරනු ලැබූ මහා දානයෙහි මහානිශංස වෙන වෙන ම දේශනා කරනු
ලැබූහ. මේ එම දානිශංසයන්ගෙන් ස්වල්පයකි.
වස්ත්‍ර පූජාවෙන් -
රන්වන් සිරුරක් හිමි වේ, ශරීරයේ දුහුවිලි නොරඳයි, රැස් විහිදෙන සිරුරකට හිමිකම්
කියයි, ප්‍රතාපවත් පෙනුම ඇත්තෙක් වෙයි, සිනිඳු සිරුරු ඇති වෙයි, සසර ගමන පුරා සිරස
මත්තෙහි සුදු, කහ, රතු පැහැති ලක්ෂ ගණනින් වස්ත්‍ර දරයි.
පාත්‍ර පුජාවෙන් -
රන්, මැණික්, රිදී, රන් මැණික් තලි හැම කල්හි ම පරිභෝග කරන්නට ලැබේ, උපද්‍රව නැති
වෙයි, අනතුරු නැත්තේ වෙයි, හැම කල්හි ගරු බුහුමන් ලබන්නේ වෙයි, ආහාර පාන, වස්ත්‍ර,
සයනාසන ලබයි, තමන්ගේ භෝග නො නැසෙයි, ස්ථිර සිත් ඇති වෙයි, හැම කල්හි ම ධර්මයට
පි‍්‍රය කරයි, මඳ කෙලෙස් ඇත්තෙක් වෙයි, ආශ්‍රව රහිත වෙයි.
මෙම අනුසස් දිව්‍ය ලෝකයේ දී ද මනුෂ්‍ය ලෝකයේ දී ද ලබයි. වෘක්ෂය හැර නොයන ඡායාව සේ
හැම කල්හි ම තමා නො හරින්නේ ය.
පවන් අතු පිදීමෙන් -
ශීතයෙන් හා උෂ්ණයෙන් පීඩා නො ලබන්නෙක් වේ, ශරීර දාහය නැත්තෙක් වේ, සිත දවන දාහය
නැත්තෙක් වෙයි, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මාන්නයෙන් නිවේ, සන්සුන් කෙලෙස් ඇත්තේ
වෙයි. කෙලෙස්වලින් මිදී වාසය කරයි,
දිය පිස්නා පුජා කිරීමෙන් -
රන්වන් පැහැ ඇති වෙයි, රජස් නැත්තෙක් වෙයි, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙක් වෙයි,
ප්‍රතාප ඇත්තෙක් වෙයි, සිනිඳු සිරුරක් ලැබෙයි, සිරුරෙහි කුණු නො රැඳෙයි.
පටි පූජා කිරීමෙන් -
සමාධීන්හි කම්පා නො වෙයි, සමාධියෙහි වශී බව ඇති වෙයි. (හුරුපුරුදු බව), නො බිඳෙන
පිරිස් ඇත්තේ වෙයි, හැම කල්හි අනුන් පිළිගන්නා වචන ඇත්තෙක් වෙයි, එළඹ සිටි සිහි
ඇත්තෙක් වෙයි. කිසි කලෙක බියක් ඇති නොවේ.
සැරයටි පිදීමෙන් -
බොහෝ පුතුන් ලබයි, තැති ගැනීමක් ඇති නොවෙයි, හැම කල්හි අනුන්ගෙන් පීඩා නොලැබේ,
සකලාරක්ෂාවෙන් ආරක්ෂාව ලබයි, වැරැදි නොකරයි, සිත නො පෙළෙයි,
ඡත්‍ර පූජා කළේ නම් -
ශීත, උෂ්ණ දෙකින් පීඩා නොලබයි, ශරීරයේ කුණු නො රැඳෙයි, උපද්‍රව නැත්තෙක් වෙයි,
අන්තරාය නැත්තෙක් වෙයි, හැම කල්හි අන්‍යයන්ගේ ගරු බුහුමන් ලබන්නෙක් වෙයි, සියුම්
සමක් ඇත්තේ වෙයි, සිත පිරිසුදු වෙයි.
මෙම ආනිසංසයෙන් සසර සැරි සරන්නා වූ මේ ජාතියෙත්, අන්‍ය ජාතියේත් සර්වාලංකාරයෙන් ම
යුක්ත වූ කුඩ ලක්ෂයක් දරන්නේ වෙයි.
ආහාර පාන පූජා කිරීමෙන් -
බොහෝ ආයු ලබන්නේ වෙයි, බලවත් වෙයි, ධෛර්යය ඇති වෙයි, වර්ණය ලබයි, යසස් ඇත්තේ වෙයි,
සුව ඇත්තෙක් වෙයි, ආහාර පාන ලබයි, ශූර ඇත්තෙක් වෙයි, නුවණ ඇත්තෙක් වෙයි.
කොට්ට පූජා කිරීමෙන් -
ලොමින් කරන ලද වූ ද, පද්මාකාර වූ ද, ලෝහිත චන්දනයෙන් කරන ලද කොට්ටයන් හි සැම කල්
හිස තැබීමට ලැබීම, උත්තම වූ අෂ්ටාංගික මාර්ගයෙහි ද සතරක් වූ ශ්‍රාමණ්‍ය ඵලයෙහි ද යන
මේ ධර්මයන්හි ඥානය ලබා සෑම කල්හි වෙසෙන්නට ලැබේ, ඉන්ද්‍රිය දමනය වේ, සිත සමාධිගත
වේ, සෑම කල්හි ඥානය ලබයි. ගුණයෙහි ද, ප්‍රතිපත්තියෙහි ද, ආචාර ක්‍රියාවන්හි ද සෑම
කල් ඥානය ලබයි, සක්මනෙහි ද, සම්‍යක් ප්‍රධානයෙහි ද, වීර්යයෙහි ද, බෝධිපාක්ෂික
ධර්මයෙහි ද රිසි සේ ඥානය ලබයි, ශීලය, සමාධිය, ප්‍රඥාව, අනුත්තර විමුක්තිය යන
ධර්මයන්හි සුව සේ ඥානය ලබයි.
ආසන පූජා කිරීමෙන් -
උසස් කුලයක උපත ලබයි, වගා භෝග ලබයි, සියල්ලෝ ම ගරු කරන්නේ වෙයි, දීමේ ඇලෙන්නේ වෙයි,
කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අනුසස් ලබන්නේ වෙයි.
සුවඳ දුම් පිදීමෙන්
සුවඳ විහිදෙන සිරුරක් හිමි වේ, යසස් ඇත්තෙක් වෙයි. වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වේ,
කීර්තිය ලබයි, තියුණු නුවණක් ලබයි. ගම්භීර ප්‍රඥාව ඇත්තෙක් වෙයි. පැතිරුණා වූ
ප්‍රඥාව ඇත්තෙක් වෙයි. ජවන ප්‍රඥාව ඇත්තෙක් වෙයි. මේ කුසලයන්ගේ හේතුවෙන් ශාන්ත සුවය
වූ නිවනට පැමිණෙන්නෙක් බවට පත්වෙයි.
මුව පිරිසුදු කරන දෑ පිදීමෙන් -
පිරිසුදු උගුරක් ලබයි. මිහිරි හඬ ඇත්තෙක් වෙයි, මුවෙන් හැම කල්හි ම මානෙල් මල් සුවඳ
හමයි.
පහන් පූජාවෙන් -
උසස් කුලයක උප්පත්ති ලබයි. අංග සම්පූර්ණ ශරීර ඇත්තෙක් වෙයි, නුවණැත්තෙක් යැයි
සම්මතයෙන් ම පිළිගැනීමක් ඇති වෙයි.
බෙහෙත් අඳුන් පිදීමෙන්
(ඇස් බෙහෙත්)
මහත් නෙත් ලබයි. ඇසෙහි සුදු, කහ, රතු පැහැය මනා කොට ලබයි. නො කැඩුණා වූ පහන් වූ ඇස්
ඇත්තෙක් වෙයි. සියලු රෝගයෙන් බැහැර වෙයි. දිවැස ලබයි. අනුත්තර ප්‍රඥාචක්ෂුස ලබයි.
බෙහෙත් පිදීමෙන් -
ආයු, බල, වීර්යය, වර්ණය, යසස්, සැප ලබයි, උපද්‍රව, අන්තරාය නැත්තෙක් වෙයි. හැම
කල්හි ගරු කරන අයෙක් වෙයි. පි‍්‍රය විප්පයෝගයක් ද නැත්තෙක් වෙයි.
දැළිපිහියා පිදීමෙන් -
හැම කල්හි සූර වේ, නො විසිරි සිත් ඇත්තෙක් වෙයි, වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණෙයි,
ධෛර්යය ඇති වෙයි, වීර්යය ඇති වෙයි, ඔසවා ගන්නා ලද සිත් ඇති වෙයි.
හැම කල්හි ම කෙලෙස් සිඳින්නා වූ, සියුම් වූ, අසම වූ, ශුද්ධ වූ ඥානය කර්ම බලයෙන් ම
ලබයි.
ඉදිකටු පිදීමෙන් -
සැක නැත්තෙක් වෙයි, සැක සිඳින්නේ වෙයි. රූ ඇත්තෙක් වෙයි, භෝග ලබයි.
තියුණු නුවණ භවයෙහි හැසිරෙන්නා වූ හැම කල්හි ම ලබයි, ගම්භීර වූ ද, සියුම් වූ ද,
ස්ථාන වූ ද අර්ථයන් ඥානයෙන් දකී. මොහඳුර දුරු කරන්නා වූ වජ්‍රායුධාග්‍රහයට සම වූ
ඥානයක් ලබන්නේ වෙයි.
නිය කපන උපකරණ පිදීමෙන් -
බොහෝ වූ දාසි දාසයන් ලබයි, ගවයන්, අශ්වයෝ ද ආරක්ෂක මෙහෙකරුවන් ද ලබයි. කරනවෑමියන්
හැම කල්හි ම ලබයි.
පෙරහන්කඩ පූජාවෙන් -
හැම දෙනා ඉක්මවා දිව්‍යායුෂ ලබයි. සොර, සතුරන්ට හැම කල්හි හිංසා කිරීමට නො හැකි වේ.
ආයුධයෙන් පීඩා නොලබයි, විෂ වර්ගයන්ගෙන් හිංසාවක් නොවෙයි.
පෙරහන්කඩ පිදීමෙන් නිස්සන්දනයෙන් අතුරු මරණයක් නැත්තෙක් වේ.
අංසකඩ පූජාවෙන් -
පරසිත් දන්නා නුවණ ලබයි, දෙවන ජාතිය ද සිහි කරයි. මෙම කුසලයෙන් හැම කල්හි ම මනා
සිවි ඇත්තෙක් වෙයි.
- දීපා පෙරේරා |