[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රඥාලෝකයෙන් ලබන ධාර්මික පෞරුෂය

ප්‍රඥාලෝකයෙන් ලබන ධාර්මික පෞරුෂය

මෝහාන්ධකාරයෙන් වැසී සිටි ලෝකයට ප්‍රඥාවේ ආලෝකය ලබා දුන් දිනය ලෙස ඇසළ පෝය හැඳින්විය හැකි ය. ඒ බුද්ධත්වය අවබෝධ කොටගෙන, ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව මඟින් ලෝකයට ඉදිරිපත් කළ චතුරාර්ය සත්‍ය දේශනාව නිසා ය.

එතරම් විශිෂ්ට දේශනාවකින් වුව ද දුක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ලෝ වැසි බහුතරයකට නොහැකි වූයේ විශ්වාසයකින් ධර්ම මාර්ගයට, ප්‍රතිපදාවට නොඑළඹීම නිසා ය.

බුදුදහම මඟින් ඉතිහාසය තුළ ලෝකවාසී සත්ත්වයිනට සිදුකළ බලපෑම, සමාජ පරිවර්තනය පිළිබඳ අල්ප මාත්‍ර දැනුමක් ඇත්තකු වුව ද ධර්ම මාර්ගයට අනුගත වනු ඇත. එබඳු දැනුමක්, අවබෝධයක් නොමැති නිසා ම බහුතරයක් ජීවිතයේ අර්ථයක්, යහපතක්, අභිවෘද්ධියක් නොමැතිව ම, ආධ්‍යාත්මික ආස්වාදයක් නො ලබා ම සසර සැරිසරනු පෙනේ.

සමාජයේ අවම සදාචාරය වූ පඤ්චසීල ප්‍රතිපදාව තුළ පිහිටා කටයුතු කිරීමට බොහෝ දෙනාට නොහැකි වී ඇත්තේ ඒ අඳ බාල බව නිසා ම ය. පඤ්ච දුශ්චරිතයෙහි යෙදීමෙන් ස්වකීය ආත්මය, චරිතය කිලිටි වන බවත්, අවශේෂ ලෝකයාට පීඩාවක්, හිංසාවක් ඇති කරන බවත් වටහා ගන්නේ නම්, එය ම සුචරිත මාර්ගයට, ධර්ම මාර්ගයට ප්‍රවේශයක් වනු නොඅනුමාන ය. එබඳු දුරාචාර පැවැත්මක ආදීනවය, තමා ජීවත්වන පරිසරයේ පුද්ගල ක්‍රියාකාරකම් මඟින් වටහාගත හැකි ය. එහෙත් ආත්මාර්ථයට ගොදුරු වූ ලෝකයට, ලාභයට ගිජු වූ ලෝකයට එබඳු දුරාචාර සමාජ භවිතාවක් තුළින් ජීවිතාභිවෘද්ධියට අදාළ ආදර්ශයන් ලබා ගත නොහැකි ය. කරුණාව, මෛත්‍රී ආදී ගුණයන් ආධ්‍යාත්මයෙහි දියුණු වී නැති බැවිනි.

යමකු තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්නේ නම්, ඔහුට තම සන්තානගත පවිත්‍ර අපවිත්‍රතාවන් හඳුනාගත හැකි ය.

පස්පවෙහි යෙදෙන, ආධ්‍යාත්මය පිරිහීමට පත්කරගත්, අධර්මය ජීවිතයෙන් ක්‍රියාත්මක කරන, සමාජයේ අපවාදයට, දෝෂදර්ශනයට ලක් වූ චරිතයක් සහිත අයකු ද, එසේ නොමැති ව සුචරිතය තම ජීවිත භාවිතාව කර ගත්, දියුණු ආධ්‍යාත්මික ශක්තියක් සහිත පිරිසුදු කාය කර්ම, වචීකර්ම, මනෝ කර්ම ආදියෙන් යුක්ත, සමාජයේ ප්‍රශංසාවට, කීර්තියට භාජනය වූ චරිතයක් සහිත අයකු ද යන්න තමන් නිතර මෙනෙහි කළ යුතු ය. එවිට තම ජීවිතය අර්ථ විරහිත, සමාජ පීඩක ජීවිතයක් ලෙස හෝ අර්ථ සම්පන්න සමාජ යහපත ඇති කරන ජීවිතයක් ලෙස හෝ හඳුනාගත හැකි වනු ඇත.

“විජ්ජා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකො උදපාදි” යනුවෙන් ධම්මචක්ක පවත්තන සූත්‍රයෙහි සඳහන් වන්නේ ඒ අවබෝධය යි. ඒ අවබෝධය ලත් තැනැත්තා තම ජීවිතය තමන්ටත්, අනුන්ටත්, දෙපිරිසටමත් යහපතක්, සැපතක්, සැනසීමක් ඇති වන ආකාරයට මෙහෙයවනු ඇත. තමාට හිමි ව ඇති තාවකාලික ජීවිතය, මේ භවය තුළ දී ම ප්‍රයෝජනවත් ලෙස, අර්ථවත් ලෙස ගත කළ හැකි වන්නේ, තම දිවි පැවැත්මේ නිවැරැදි බව, අර්ථවත් බව පිළිබඳ ව සතුටු විය හැකි නම් පමණ ය. ඒ ආකාරයෙන් තම ජීවිතයේ සාර්ථකත්වයට වෙනසක් සඳහා ආරම්භයක් ගැනීමට ඉතාම වටිනා දිනයක් ලෙස ඇසළ පෝය දිනය හැඳින්විය හැකි ය.

ධර්මය නැවත නැවත සිහිපත් කොට, ප්‍රත්‍යවේක්ෂා කොට ජීවිතය නිසි මඟට ගන්නට සෑම සත්පුරුෂයකු, ඥානවන්තයකු, බුදුමඟ අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයකු ක්‍රියා කළ යුතු ම ය. පුද්ගල ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගත යුත්තේ ඒ ආකාරයෙනි. එසේ යමකුට ධර්මානුගත ව තම දිවිපැවැත්ම වෙනස් කළ නොහැක්කේ නම්, මනුෂ්‍ය ජීවිතයක් ලැබීමේ වටිනා ප්‍රතිඵලය ඔහුට අහිමි වනු ඇත.

“ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවෝ” යනුවෙන් දක්වා ඇත්තේ එම කාරණාව ය. ධර්මයට කැමැති, ධර්මය අනුගමනය කරන පුද්ගලයා දියුණු වන මනුෂ්‍යත්වයේ ප්‍රතිඵලය උරුම කර ගන්නා අතර, ධර්මයට ද්වේෂ කරන, ධර්ම විරෝධී ව කටයුතු කරන පුද්ගලයා පරිහානියට පත් වන්නේ ය. දියුණුවක්, අභිවෘද්ධියක් නොලබන්නේ ය යනු එහි අදහස යි.

තමන් ජීවත්වන සමාජය, රට සුවපත් කර ගනු කැමැති සාමාජිකයන් පුරවැසියන් විසින් ඒ සඳහා සක්‍රිය ව දායක විය යුතු ය. තම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර, අනෙක් අය සඳහා ද යහපත්, නිවැරැදි බලපෑමක් කළ යුතු ය. සමාජයක්, රටක් සුවපත් කරගත හැක්කේ ඒ පුද්ගල චරිත සංවර්ධනය තුළින් හා සමාජ ධාර්මිකත්වය පිණිස කල්‍යාණ මිත්‍රත්වයෙන් සිදු කරන බලපෑම තුළිනි.

ගිහි සමාජයට, සමාජ නායකත්වයේ ආදර්ශය බලපාන අතර, පැවිදි සමාජයට පැවිදි නායකත්වයේ ආදර්ශය බලපාන බව කිවයුතු ය. සමාජය තුළ කිසියම් නායකත්වයක් ආයතනීය ප්‍රධානත්වයක් දරන සෑම කෙනකු තුළ ම ඒ සදාචාරවත් බව, නීතිගරුක, විනය ගරුක බව, අත්දැකීම් බහුල බව, හා ප්‍රඥාවන්තභාවය, ගුණසම්පන්න භාවය පිහිටා තිබිය යුතු ය. එම ගුණාංග හරහා ගොඩනැඟෙන ආදර්ශවත් පෞරුෂය, සමාජයට සිදුකරන බලපෑම ඉතා විශාල ය.

රජු ධාර්මිකවෙත් ම, නිලධාරීන් ද, ආරක්ෂකයෝ ද, ධාර්මිකත්වයට පත්වීමේ නැඹුරුතාවක් ඇතිවිය හැකි ය. 'රජුන් අදමිටුවන් - රටවැසියෝ ද එමඟින්' කී සෙයින්, රජු දැහැමිවත් ම රටවැසියෝ ද එයට අනුගත විය යුතු ය. ගිහි පැවිදි සමාජ භේදයක් නොමැති ව නායකත්වයේ ආදර්ශය පාලිතයන් කෙරෙහි ගලා යෑම අනිවාර්යයෙන් ම සිදුවන්නේ ය. එසේ නොමැති ව පැවැත්මක් නොමැත්තේ ය. ගිහි, පැවිදි උභය පාර්ශවයේ ම සදාචාරවත්භාවය අනුගාමිකයන් කෙරෙහි විශේෂ බලපෑමක් සිදු කරන බව පැහැදිලි ය. එහෙයින් නායකකාරකාදී කිසිවකුට තම සිතැඟි ලෙස, අත්තනෝමතික ව ක්‍රියා කළ නො හැකි ය. අනෙකා කෙරෙහි විශේෂ වගකීමක් නායකත්වයට පැවරෙයි. නායකත්ව පෞරුෂය ගොඩනැඟෙන්නේ ගැටලුවලට මුහුණ දෙන ආකාරයෙනි.

සිල්වත් බවින් තොර, දුරාචාර භාවිතාවකින් යුතු අයෙකුට ඒ පෞරුෂය ගොඩනඟාගත නොහැකි ය. ඔහුට විශාරද ව පිරිසක් වෙත එළඹිය නොහැකි වන්නේ චරිත දුර්වලතාව හේතුවෙනි. එහෙයින් අනුගාමිකයන්ගේ වැරැදි පෙන්වා අනුශාසනා කළ නොහැකි ය. තමන් ද ඒ වරදට ගොදුරු වී ඇති බැවිනි. එහෙයින් සාර්ථක නායක්තවයක් සඳහා සදාචාරමය පදනමක් අත්‍යවශ්‍ය වේ. චරිත පාරිශුද්ධියත්, අවංකභාවයත් නැති තැනෙක නායකත්වයක් දැරිය නොහැකි යැයි පවසන්නේ එහෙයිනි. පුද්ගලයකුට සමාජය සාධනීය ලෙස වෙනස් කොට, සාමාජිකයනට යහපත් පරිසරයක් තුළ ජීවත්වීමට අවස්ථාව සලසා දීමට අවශ්‍ය වන්නේ නම්, ධර්ම ම ය පෞරුෂයක් ගොඩනඟාගත යුතු ය. ධර්මයෙන් තොර, සදාචාරයෙන් තොර දුශ්ශීල භාවිතාවක් සහිත අයෙකුට කිසිසේත් සමාජ පරිවර්තන වෙනසක් කළ නොහැකි ය. ඒ, අනුගාමිකයන් පාලනය කළ නොහැකි හෙයිනි. ධර්මයෙන් පෝෂිත පෞරුෂයක් නොමැති අයකුට පවුල ද පාලනය කළ නොහැකි ය. ඕනෑම ආයතනයකට, සංස්ථාවකට මේ නියමය එපරිදි ම බලපාන බව පෙනේ. සෑම සංස්ථාවක් ම කඩා වැටීමට හේතු වී ඇත්තේ මේ තත්ත්වය ම බව පෙනේ. ඒවා ප්‍රකෘතිමත්, කොට සාර්ථකත්වය කරා මෙහෙයවිය හැක්කේ ධර්මය ශක්තිමත් කිරීමෙනි. ධර්මානුගත ජීවිත ප්‍රතිපදාවක් ගොඩනඟා ගැනීමෙනි. මේ ඒ සඳහා කාලය යි.

සියල්ලන් ම තම තමන්ගේ අඩුපාඩුකම්, දුර්වලකම් මඟහරවා ගෙන අඳුරින් ආලෝකය කරා ගමන් කිරීමට, ජීවිතයට සැනසුම උදා කර ගැනීමට, ඒ අනුසාරයෙන් සමාජය සුවපත් කිරීමට පෙරමුණ ගත යුතු ය.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]