දම්සක් පැවතුම් සුතුර ඇසුරු කොට
දුකින් මිදීමේ මඟට පිවිසෙමු
ගෞරව ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය
බැරගම ශ්‍රී රාහුල හිමි
සත්වයා, පුද්ගලයා, මම යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස් වන සුළු
මානසික ශක්තීන්ගේ එකතුවකි. එය පංචස්ඛන්ධය යනුවෙන් හැඳින්වේ
ථෙරවාද ත්‍රිපිටකය හැදෑරීමේ දී බොහෝ සූත්‍රවල සාරාංශය කැටි කර ගත් විට දුක
පිළිබඳවත්, ඉන් මිදීමේ මාර්ගය පෙන්වා දෙන ආකාරයත් පැහැදිලි වේ.
දුක යන්නෙහි අර්ථ රාශියක් මූලාශ්‍ර අධ්‍යනයේ දී අපට හමුවේ. සාමාන්‍ය කථා ව්‍යවහාරයේ
එන දුක යන්නට වඩා ගැඹුරු, පැතිරුණු අර්ථයක් එහි ගැබ් වෙයි. සාමාන්‍ය දුක යන්නෙහි
කරදරය, විපත වැනි අර්ථයන් ඇත. දාර්ශනික ව ගතහොත් පාලනය කරගත නොහැකි බව, හිස් බව,
අසාර බව යන ගැඹුරු අර්ථ කිහිපයක් සඳහන් කිරීමට හැකියාව ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ
දී බුදුන් වහන්සේ දුක පිළිබඳ මෙසේ වදාළහ.
“ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි
දුක්‍ඛා, මරණම්පි දුක්ඛං,අප්පියෙහි විප්පයොගො දුක්ඛො, පියෙහි සම්පයොගො දුක්ඛො,
යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්ඛා.”
මෙහි සඳහන් ආකාරයට දුක යනු ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩට පත්වීම, මරණයට පත්වීම,
අප්‍රියයන් හා සමඟ එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම හා තමා කැමැති දේ නොලැබීමයි.
ජාතිපි දුක්ඛ
ජාති යන වචනයෙහි අර්ථ රාශියක් ඇත. මෙයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම
යන අර්ථය යි. එය දුක් වනුයේ නොයෙක් දුක්වලට හේතු වන බැවිනි. දුක වනාහි
දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, ප්‍රතිච්ඡන්න
දුක්ඛතා,අප්‍රතිච්ඡන්න දුක්ඛතා, පර්යාය දුක්ඛතා, නිෂ්පර්යාය දුක්ඛතා ය.
දුක්ඛ දුක්ඛතා යනු හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම යනා දී ශරීරයෙහි හටගන්නා වු
වේදනාවන් හා ප්‍රිය වස්තු විනාශාදියෙන් සිතෙහි හටගන්නා වූ වේදනාවෝ දුක්ඛ දුක්ඛතා
නම් වේ.
සුඛ වේදනාව සිත කය දෙක්හි හට ගන්නා සුවය නැති වී යාමෙන් දුක් වන බැවින් විපරිනාම
දුක්ඛ නම් වේ.
උපේක්‍ෂා වේදනාව හා අවශේෂ තෛ‍්‍රභූමික සංස්කාරයන් උදයව්‍යය දෙකින් පීඩිත බැවින්
සංස්කාර දුක්ඛ නම් වේ.
කන් කැක්කුම, දත් කැක්කුම, රාගය නිසා වන තැවීම්, ද්වේශය නිසා වන සිත් තැවීම් ආදිය
නොකියා, නොදත හැකි බැවින්, උපක්‍රමයක් ද නොපෙනෙන බැවින් ප්‍රතිච්ඡන්න දුක්ඛ නම් වේ.
වැසී පවත්නා දුක යනු එහි තේරුමයි.
දඬු මුගුරුවලින් ගැසීම්, පිහියෙන් ඇනීම්, කඩු ආදියෙන් ගැසීමෙන් වන දුක නොකියාම දත
හැකි බැවින් ද, උපක්‍රමය ප්‍රකට බැවින් ද අප්‍රතිච්ඡන්ද දුක්ඛ නම් වේ. ප්‍රකට දුක
යනු එහි අර්ථයයි.
දුක්ඛ දුක්ඛතා හැර සත්‍ය විභංගයෙහි දැක්වෙන ජාත්‍යාදි සියල්ල ඒ ඒ දුක්ඛ වස්තු වන
බැවින් පර්යාය දුක්ඛ නම් වේ. දුක්ඛ දුක්ඛය නිෂ්පර්යාය දුක්ඛ නම් වේ.
ජරාපි දුක්ඛ
උපන් සත්ත්වයාගේ ස්ඛන්ධය දිරීම ජරා නම් වේ. පුද්ගලයා වැඩිවියට පත්වන විට දත්
සැලෙන්නේ ය. ඇඟ සම රැලි වැටෙන්නේ ය. ඇස් පෙනීම අඩු වන්නේ ය. ශරීර ශක්තිය අතිශයින්
හීන වන්නේ ය. නුවණ මද වන්නේ ය. අත් පා ආදිය වෙව්ලන්නේ ය. මේ සියලු දුක්ඛ වේදනාවන්ට
හේතුව ජරාව බැවින් ජරාව මහත් දුකක් වන්නේ ය.
මරණම්පි දුක්ඛ
මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යැයි දෙ වැදෑරුම් වේ. ක්‍ෂණයක් පාසා සිදුවන නාම
රූපයන්ගේ බිඳීම ක්‍ෂණික මරණය වේ. පරම්පරා වශයෙන් පැවත එන ස්ඛන්ධ සමූහයක හෙවත්
සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රිය සිඳී යෑම සංවෘත මරණය නම් වේ. නමුත් මෙයින් අදහස්
කෙරෙනුයේ සංවෘත මරණය යි.
ශෝක දුක්ඛ
රන් රිදී, මුතු මැණික්, මිල මුදල්, ගේ දොර, වතු කුඹුරු ආදී ප්‍රිය වස්තූනගේ
විනාශයෙන් ද, අන්‍යන් විසින් පැහැර ගැනීමෙන් ද, අඹු දරු ආදී ප්‍රිය පුද්ගලයන්ගේ
විනාශයෙන් ද, ඔවුනට වූ හානිවලින් ද, තමාට වන රෝගවලින් ද සිත දැවීම ශෝක නම් වේ.
පරිදේව දුක්ඛ
ඤාති ව්‍යසන ආදිය සිදු වූ කල්හි ශෝකයෙන් නුඹ කොහි ද? අප සිටින්නේ කොහි ද? යනා දී
වශයෙන් සුසුම් හෙළීම කදුළු හෙළීම, ආදී වශයෙන් ශබ්ද පැවැත්වීම පරිදේව නම් වේ. හැඬීම
යනු ද මෙයට නමකි. හැඩීම දුකක් නොවුන ද ඒ තුළින් බිම පෙරළෙමින් කණුවල හිස ගසා
දැමීමෙන් බොහෝ දුක්ඛ වේදනා වන බැවින් පරිදේවය දුකක් ලෙස බුදුන් වහන්සේ වදාළහ.
දුක්ඛ දුක්ඛ
ශරීරයේ හටගන්නා වූ නොයෙක් වූ රිදුම්, දැවීම් ආදී වූ දුක්, දුක්ඛ දුක්ඛ නම් වේ.
ජාත්‍යාදි දුක්ඛයෝ යැයි කියන ලද්දේ ඒවා දුකට හෙවත් රිදීමට හේතුවක් බැවිනි. කයෙහි හට
ගන්නා දුක්ඛ වේදනා වනාහි තවත් කායික මානසික දුක්ඛ වේදනාවන්ට හේතු වේ. එබැවින් එය
දුක්ඛ දුක්ඛ යැයි කියනු ලැබේ.
දෝමනස්ස
සිතෙහි හටගන්නා දුක දොමනස්‍ය නම් වේ. තමා විසින් බෙහෝ දුකින් පෝෂණය කරන ලද දරුවන්
අකීකරු වීම, මහලු කල්හි දරුවන් විසින් නොසැලකීම ආදී කරුණු නිසා පුද්ගලයා දොම්නසට
පත් වන්නේ ය. ඒ ජාතියක දී එක් පුද්ගලයකුට ඇතිවන දුක් දොම්නස්වල ප්‍රමාණයක් නැත්තේ
ය. මේ සඳහා දුප්පත් පොහොසත් භේදයක් නැත.
උපායාස
ඤාති ව්‍යසන ආදිය නිසා සිතට වන්නා වූ බලවත් වෙහෙස උපායාස නම් වේ. උපායාසයෙන් යුක්ත
වූ පුද්ගලයා තමාගේ කටයුතු නොකර සිටියි. කෑම් බීම් ආදිය ප්‍රතික්‍ෂේප කරයි. සමහර විට
ළය වියළී මරණයට ද පැමිණේ. මෙය කායික මානසික දුක්ඛයන්ට හේතුවන බැවින් උපායාසය දුකක්
ලෙස වදාළහ.
අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ
අප්‍රිය වස්තූන් හා අප්‍රිය පුද්ගලයින් මුණ ගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ නම්
වේ. අප්‍රිය පුද්ගලයෝ තමා හට සතුරු වූ, සතුරු නොවූවත් තමා කැමති නෙවන කථා හා
ක්‍රියා ඇත්තා වූ පුද්ගලයෝ ය. එබදු පුද්ගලයන් හා එක්ව වාසය කිරීම හා වැඩ කිරීමට
සිදු වීම අප්‍රිය සම්පයෝග දුක්ඛ නම් වේ.
ප්‍රිය විප්පයෝග දුක්ඛ
ආදරයෙන් රැස් කොට ආරක්‍ෂා කර ගෙන සිටින ධනයෙන් හා දූ දරු භාර්යාදී පුද්ගලයන්ගෙන්
වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි. ප්‍රිය විප්‍රයෝගය සසර සැරිසරන පුද්ගලයාට
ජාතියක් ජාතියක් පාසා සිදු වන්නකි. එය බොහෝ කායික මානසික දුක්ඛයන්ට හේතුවන්නකි.
යම්පිච්ඡං න ලභති දුක්ඛං
සත්වයින් විසින් කැමැති වන්නා වූ, ලැබීමට බලාපොරොත්තු වන්නා වූ දේ බොහෝ ය.
දුප්පතුන් පොහොසතුන් වීමටත්, ලෙඩුන් නිරෝගී වීමටත්, තනතුරු නැත්තෝ තනතුරු ලැබීමටත්
ආදී වශයෙන් බොහෝ දෑ කැමැති වෙයි. නමුත් ඉන් බොහෝ දෙයක් නොලැබී යයි. මෙය කැමැති දෙය
නොලැබීම නිසා වන්නා වූ දුක ය. මේ නිසා පුද්ගලයා කායික මානසික වශයෙන් බොහෝ දුක්වලට
මුහුණ පායි.
පඤ්චෝපාදානස්ඛන්ධ දුක්ඛ
ජාති, ජරා, මරණා දී මේ දුක් සමූහය ඇතිවනුයේ අන් තැනක නොව උපාදානස්ඛන්ධ පඤ්චකයෙහි ය.
උපාදානස්ඛන්ධ පඤ්චකය සියලු ම දුක්වල උත්පත්ති ස්ථානයයි. එබැවින් උපාදානස්ඛන්ධය
පඤ්චකය ද දුක යැයි බුදුන් වහන්සේ වදාළ හ. බෞද්ධ දර්ශනය භාරතීය දර්ශන ක්‍ෂේත්‍රයෙහි
ශ්‍රේෂ්ඨ ස්ථානයකට පත්වීමට විවිධ හේතු කාරණා විය. ඉන් දුක පිළිබඳ විග්‍රහය
ප්‍රමුඛස්ථානයක් ලබා ගනී. බෞද්ධ දර්ශනයෙහි මූලික අරමුණු දුක්ඛ පරිඥානය හා දුක්ඛ
ප්‍රහාණය බව විවිධ සූත්‍රයන්හි බහුල ව දක්වා ඇත. බුදුන් වහන්සේගේ පළමුවැනි දම්
දෙසුමේ සිට අවසන් දම් දෙසුම දක්වා තිබෙන සුවිසල් දහමෙහි මූලික සාරය ලෙස ගත්විට ඒ
සියල්ල දුක්ඛ පරිඥානය හා දුක්ඛ ප්‍රහාණය නිරවශේෂ වශයෙන් අවධාරණය කරනු ලබන බව නිගමනය
කළ හැකි ය.
විමුක්ති මාර්ගය සඳහා පෙළ දහමෙහි භාවිත කොට ඇත්තේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා
යන්නයි. මෙයින් දුක පිළිබඳ බෞද්ධයන් අතර වූ අවධිකම කෙබඳු දැයි පැහැදිලි ය. මෙම
දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා යන වචනය දුටු පමණින් විමුක්තියෙහි ඉලක්කය කවරෙක් දැයි
හඳුනාගත හැකි ය.
විශ්වය තුළ සදාකාලිකව ම දුක පවතින බව බුදුදහම පෙන්වා දෙයි. ස්වභාවයෙන් ම සත්ත්වයා
සැප කැමැති වේ. “සුඛකාමානි භූතානි” ඔහු සැප ගවේෂණයෙහි යෙදෙයි. දුක පිටුදැකීමට
උත්සාහ කරයි. මේ නිසා සියලු සත්ත්වයෝ අතෘප්තිකර මානසික අසහනයකින් පීඩා විඳී.
පුද්ගලයා බාහිර වස්තූන්ට අරමුණුවලට විවධ ඇගයුම් දී ඒවා ළඟා කර ගැනීමට උත්සාහ දරයි.
එහෙත් එය ලබා ගැනීමෙන් පසු එයින් ලබන සැපය පිළිවෙලින් හීන වී යයි. සැපය ඔහුට දුකක්
ලෙස ම පවතී. ඊළගට ඊටත් වඩා වූ සැපවත් තවත් දෙයක් කෙරෙහි ඔහුගේ සිත ඇදී යයි. එය ලබා
ගැනීමට උත්සාහ දරයි. මේ ආදී වශයෙන් බලන විට මිනිසා තුළ සදාකාලිකව ම දුකට පත්වන
කාරණා බොහෝ ය. මෙම තත්වය මනාව පසක් කළ බුදුන් වහන්සේ “දුක්ඛමේව උප්පජ්ජමානං
උප්පජ්ජති දුක්ඛමේව නිරුජ්ඣමානං නිරුජ්ඣතීති” යනුවෙන් වදාළ හ.
දුක පිළිබඳ විග්‍රහයේ දී බුද්ධිය ප්‍රමුඛ වන බව බුදුදහමෙහි විවරණය වෙයි. අශුභ දේ
ශුභ ලෙසත්, දුක්ඛ දේ සුඛ ලෙසත්, අනිත්‍ය දේ නිත්‍ය ලෙසත්, අනාත්ම දේ ආත්ම ලෙසත්
මනාව තේරුම් ගැනීම බුද්ධිය මඟින් සිදුවේ. අපගේ බුද්ධිය නිරතුරුව අනිත්‍ය දේ නිත්‍ය
ලෙස ගැනීමට පෙළඹෙයි.
ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන තුරු ලෞකික පෘථග්ජනයෝ බාහිර ඉන්ද්‍රිය නිත්‍ය, සුබ, සුඛ හා
ආත්ම ලෙස හඳුනාගැනීමට නැඹුරු වෙති. බුද්ධිය අනවශ්‍ය ලෙස ඉන්ද්‍රියයන් ග්‍රහණය
කිරීමෙන් ඒවා ලබා ගැනීමට උත්සාහ කරයි. ඒ මඟින් පුද්ගලයා තුළ අතෘප්තිකර මානසික
අසහනයක් හටගනී. එය දුකක් මිස සැපතක් නොවේ. සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවය තමාට හමුවන
ඉන්ද්‍රියයන් “සුතේ සුතමත්තං” ආදී වශයෙන් ගැනීම නොව ඔහුගේ සිරිත විෂයය ලෝකයෙහි
පවත්නා දෑ යථාර්ථ ලෙස පවතී යැයි ගැනීම ය. බුදුන් වහන්සේ විසින් මෙවැනි දෙයට හේතු වන
කරුණු දෙකක් සඳහන් කර ඇත. එනම් තණ්හාව සහ අවිද්‍යාවයි. තෘෂ්ණාව නිසා බාහිර වස්තු
බදා ගැනීමට, තමා සන්තක කර ගැනීමට පුද්ගලයා උත්සාහ කරයි. එය සිදු වනුයේ අවිද්‍යාව
නිසා ය. අවිද්‍යාව නිසා වස්තුවෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට පුද්ගලයා උත්සාහ
නොකරයි. එම නිසා අනවශ්‍ය ආකාරයෙන් දුක් විඳීමට පුද්ගලයාට සිදු වේ.
ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් මෙම දුක තුන් ආකාරයකි.
දුක්ඛ දුක්ඛතා, විපරිනාම දුක්ඛතා හා සංස්කාර දුක්ඛතා යනුවෙනි.
දුක්ඛ දුක්ඛතා යනු අමිහිරි අත්දැකීම්වලින් ඇතිවන සාමාන්‍ය දුකයි. ජීවිතය හා ලෝකයේ
ස්වභාවය සලකා බලන විට එහි මූලික අවස්ථා තුනක් දක්නට ලැබෙයි. එනම් ඇතිවීම, පැවතීම හා
විනාශය යි. ජීවත් වන්නා වූ සෑම කෙනකුට ම මෙම අවස්ථා ඔස්සේ විවිධ කායික මානසික
දුක්වලට මුහුණ පෑමට සිදුවෙයි. මීට අමතරව වස්තු විනාශය, ප්‍රියයන්ගේ විනාශය, තමන්ට
වන රෝග පීඩා ආදියෙන් සිත් දැවීම, අනුන්ගේ අවමාන විඳින්නට සිදුවීම යනාදියෙන් ඇතිවන
කායික, මානසික බලවත් වෙහෙස උපායාසය යන මේ සියල්ල දුක්ඛ දුක්ඛතා හෙවත් සාමාන්‍ය දුක්
ලෙස හැඳින්වේ. ජීවිතයේ එකදු සැපතක් හෝ සතුටක් හෝ වෙනස් නොවී හැමවිට ම එක් ආකාරයකින්
නොපවතියි.
මොහොතකට පෙර සතුටක් සේ දැනුන යමක් ඊළඟ මොහොතේ දුකක් වන්නට ඉඩ ඇත. පෙර දින සතුට ගෙන
දුන් යම් සිද්ධියක් හෝ වස්තුවක් අද දුකක් ගෙන දෙන දෙයක් වන්නට ඉඩ ඇත. ඊයේ නිරෝගී ව
සතුටින් සිටි පුද්ගලයාට අද රෝගී ව දුකින් සිටීමට සිදුවනු ඇත. මරණයට ද පත්වනු ඇත. මේ
ආකාරයට පුද්ගලයා හා සම්බන්ධ බාහිර වූ ද, ආධ්‍යාත්මික වූ ද සියල්ල මොහොතින් මොහොත
වෙනස් වෙයි. මෙය විපරිනාම දුක්ඛ යනුවෙන් හැඳින්වෙයි.
බුදුදහමට අනුව සත්වයා, පුද්ගලයා, මම යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස්
වන සුළු මානසික ශක්තින්ගේ එකතුවකි. එය පංචස්ඛන්ධය යනුවෙන් හැඳින්වේ. “සංඛිත්තෙන
පඤ්චුපාදානක්ඛන්ධා” කෙටියෙන් ම පඤ්ච උපාදානස්ඛන්ධය දුකක් යැයි සඳහන් වන්නේ ද මෙයයි.
මේ ආදී වශයෙන් දුක යන වචනයෙහි වචාර්ථය කොටස් තුනක් වශයෙන් විස්තර කළ හැක. බුද්ධ
දේශනාවට අනුව මෙම සියලු දුක් සඳහා හේතුව ආශාව, ඇල්ම රාගය ආදී නොයෙක් වචනවලින්
දැක්වෙන තෘෂ්ණාවයි. ඒ පිළිබඳ ධම්මපදයේ එන පහත සදහන් ගාථාවෙන් පැහැදිලි වේ.
“ න කහාපණ වස්සේන -
තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා ඉති
විඤ්ඤාය පණ්ඩිතො”
මිනිසාට කහවණු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. මෙම නිසා කාමයෝ සිහිනයෙන්
පානය කළ පැනක් මෙන් මඳ ආස්වාද ඇත්තේ ය. බොහෝ දුක් ඇත්තේ ය. පණ්ඩිතයා එය නුවණින් දැන
ගන්නේ ය. යනු ඉහත පාඨයේ අදහසයි. බුදුන් වහන්සේ දුක හටගන්නා ආකාරය සංයුත්ත නිකායේ
දුක්ඛ සූත්‍රයේ ඉතා සැකවින් මෙසේ දක්වා ඇත. “මහණෙනි, දුක් හටගැනීම කෙසේ ද, ඇසත්,
රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. මේ තුනේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන්
වේදනාව වේ. වේදනාව හේතුවෙන් තණ්හාව වේ.” මේ දුකෙහි හටගැන්ම ය. අංගුත්තර නිකායේ
තණ්හා සූත්‍රයේ දී හා ඉතිවුත්තක පාලියේ තණ්හුප්පාද සූත්‍රයේ දී ද තණ්හාව දුකෙහි
සම්භව හෙවත් දුක උපදවන දෙය හැටියටත් තණ්හාව දෙවැනි කොටගත් තැනැත්තාට සසරින් එතෙරවිය
නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කළහ.
මෙහි තණ්හා යනුවෙන් සඳහන් වනුයේ කාමය, බලය, ධනය ආදිය පිළිබඳ ආශාව පමණක් නොව දෘෂ්ඨි,
මතවාද, ආකල්ප විශ්වාස ආදිය ද තෘෂ්ණාවට ම අයත් ය. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව
පුද්ගල සන්තානයේ පවත්නා දුක් මෙන් ම ආර්ථික, සාමාජික හා දේශපාලන ම ය ආදී සියලු දුක්
කරදර, විපත් සියල්ල තෘෂ්ණාව මුල්කොට ගෙන ඇති වෙයි. |