බෝසත් කුමරු
මව් කුස පිළිසිඳ ගැනීමේ ආශ්චර්යය
මල්වතු මහාවිහාරයේ
කාරක සංඝ සභික
වැලිවිට සෝරත නා හිමි
සෑම බුදුරජාණන් වහන්සේ නමක් ම පහළ වන්නේ ජම්බුද්වීපයේ ය. එය බුද්ධ විෂයයකි. එබැවින්
දීපය සෙවීම ද කළ යුතු ය. දේශය වශයෙන් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය වන අතර, එය හිමාල
පර්වතයට පහළ නැඟෙනහිර ප්‍රදේශයේ ලුම්බිණි, සැවැත්නුවර, බුද්ධගයාව, බරණැස වැනි
ප්‍රදේශයන් ය
බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරයාගේ උපත, සිදුහත්
කුමාරයාගේ මහා අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වයට පත්වු බුදුරජාණන් වහන්සේ බරණැස
ඉසිපතනාරාමයේ දී පළමු ධර්ම දේශනාව පැවැත්වීම, ප්‍රථම රහත් සැටනම අමතා
චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං
ආදී වශයෙන් චාරිකාවෙහි යෙදිය යුතු බව දැක්වීම, උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේට
වස්විසීම නියම කිරීම, කිත්සිරිමෙවන් රජු දවස පටන් ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආදි
සුවිශේෂී ශාසනික සිදුවීම් රාශියක් සිදුවූයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.
මේ සියල්ල අතරින් පළමුවෙන් සඳහන් කළ මව්කුස තුළ පිළිසිඳ ගැනීම අතිශයින් ම වැදගත්
වේ. එසේ වන්නේ අනෙකුත් සියලු ශාසනික සිදුවීම්වලට ප්‍රධාන හේතුව වූයේ එම කාරණය
මුල්කරගෙන බැවිනි.
බුද්ධත්වය සඳහා පාරමිතා පූරණය කරන සෑම බෝධිසත්ත්වයෙක් ම මනුලොවට පැමිණීමට පෙර
අවසානයේ පහළ වන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. අපගේ බෝසතාණන් වහන්සේ ද සන්තුසිත යන
නාමයෙන් තුසිත දෙව්ලොව පහළ වී සිටියහ. එහි දෙවියන් විසින් පිරිවරාගෙන සිටින
බෝසතාණන් වහන්සේ දස දහසක් සක්වල සිටින සියලු දෙවිවරුන්ගේ ම ආරාධනයෙන් මනුලොවට
පැමිණෙති.
කාලොයං තෙ මහාවීර
උප්පජ්ජ මාතු කුච්ජියං
සදෙවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතං පදං
මහා වීරයාණෙනි,
දෙවියන් සහිත වූ මිනිසුන් සසරින් එතෙර කිරීමට බුද්ධත්වය අවබෝධ කිරීම සඳහා මව්කුස
ඉපදීමට දැන් කාලයයි යනුවෙන් දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ. සියලු දෙවියන්ගේ එම
ආරාධනාව සිදුකිරීමත් සමඟ බෝසතාණන් වහන්සේ
කාලං දීපඤ්ච දෙසංච කුලං
මාතර මෙච්ච
එතෙ පඤ්ච විලෝකෙත්වා
උප්පජ්ජන්ති තථාගතා
යනුවෙන් දැක්වෙන පරිදි කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහ බැලුම් බලා මව්කුස
තුළ ඉපදීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. සියලු බෝසත්වරු මෙම කරුණු පහ බැලීම
අනිවාර්යයෙන් සිදු කරති. සත්‍ය සොයන මිනිසුන් සිටීම, බුද්ධිමත් මිනිසුන් සිටීම,
පරමායුෂ සියයට අඩුත් නොවන ලක්ෂයට වැඩිත් නොවන කාලයක් විය යුතු ය. එය සුදුසු කාලය
බැලීමයි.
සෑම බුදුරජාණන් වහන්සේ නමක් ම පහළ වන්නේ ජම්බුද්වීපයේ ය. එය බුද්ධ විෂයයකි. එබැවින්
දීපය සෙවීම ද කළ යුතු ය. දේශය වශයෙන් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය වන අතර, එය හිමාල
පර්වතයට පහළ නැඟෙනහිර ප්‍රදේශයේ ලුම්බිණි, සැවැත්නුවර, බුද්ධගයාව, බරණැස වැනි
ප්‍රදේශයන් ය. සියලු ම බුදුරජාණන් වහන්සේ පහළ වන්නේ කුල දෙකක පමණි. එනම් බ්‍රාහ්මණ
හා ක්ෂත්‍රිය කුල දෙකයි. කුලය වශයෙන් ක්ෂත්‍රීය කුලය තෝරාගත් අතර, සුදුසු මවක්
වශයෙන් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමෙන් පසු මාස 10ක් දින හතක් ගිය තැනේ දි
කළුරිය කරන කෝලිය පරපුරේ අංජන රජුගේ වැඩිමහල් දියණිය වූ මහාමායා දේවිය තෝරා ගන්නා
ලදී.
පස්මහ බැලුම්වලින් පසු තුසිත දෙව්ලොවින් චුත වී ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී
මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම සිදුවූ අතර, එම අවස්ථාවේ ඇය විස්මිත
සිහිනයක් ද දුටුවා ය.
කිඹුල්වත්පුර වැසියෝ නැකැත් කෙළියෙහි යෙදෙන සතියක් පුරාවට පී‍්‍රතියෙන් ගත කළහ.
මහාමායා බිසවුන් වහන්සේ සුවඳ පැනින් හා පිවිතුරු වස්ත්‍ර හැඳගෙන ශ්‍රී යහන් ගබඩාවට
ගොස් සුව සේ නිදා සිටියහ. එම අවස්ථාවේ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ සිටි සතරවරම්
දෙවිවරු දේව ආභරණවලින් සැරසී අවුත් බිසවුන් වහන්සේ නිදා සිටි යහන හතර පැත්තෙන්
අල්ලාගෙන ගියහ. ඉන්පසු හිමාල ප්‍රදේශයේ රිදීවන් වූ පර්වතයක පසේ බුදුරජාණන් වහන්සේ
නිරන්තරයෙන් විවේකී ව වැඩ සිටින සුපිපි මලින් පිරීගිය, මංජුසක නම් ගස මුල ඇඳ තැබූහ.
ඉන්පසු එම දෙවිවරුන්ගේ දිව්‍ය අප්සරාවන් පැමිණ අනෝතප්තවිලට ගෙනගොස් දේවිය නහවා
දිව්‍ය සළුවලින් සරසා දිව්‍ය මල් පලඳවා නැවත යහනාවේ නිදිකරවිය. නැවතත් සතරවරම්
දෙවිවරු පැමිණ යහනාව ගෙන ගොස් රත්රන් පාට ගල් තලාවලක තැබූහ. මේ අවස්ථාවේ දේවිය
දකුණු ඇළයෙන් හාන්සි වී සිටියා ය. නිල් අහස් තලයෙන් සුදෝසුදු පැහැයෙන් යුතු ඇත්
පැටවෙක් සුදුපාට නෙළුම් මලක් හොෙඬන් රඳවාගෙන තුන්පාරක් දේවින් වහන්සේ සිටි ඇඳ වටා
පැදකුණු කොට දකුණු ඇලයෙන් කුස තුළට පිවිසියේ ය. ඒත් සමඟ මහාමායා දේවිය නින්දෙන්
ඇහැරුණා ය. සිහිනය පිළිබඳ මහරජුට දැන්වූ අවස්ථාවේ ස්වප්න ශාස්ත්‍ර දත්
බ්‍රාහ්මණයින්ගෙන් ඒ පිළිබඳ විමසා සිටියේ ය. ඔවුන් කියා සිටියේ මහාපුණ්‍යවන්ත පුත්
කුමරුවෙක් පිළිසිඳ ගත් බවත් ඔහු මහා පුරුෂයෝත්තම කෙනෙක් වන බවත් ය.
මෙසේ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගන්නා අවස්ථාවේ දුටු සිහිනය
සුබ සිද්ධියක පෙර නිමිත්තක් කියාපාන්නක් වන අතර, මේ සියලු සිද්ධිදාමය උදෙසා
දෙවිවරුන්ගේ ද, අප්සරාවන්ගේ ද සහභාගීත්වය විය. එය දේවිය දුටු සිහිනය සැබෑවක් වන බව
කියාපෑමකි. මෙම පිළිසිඳ ගැනීම අතිශය විස්මිත වන අතර, බෝසතාණන් වහන්සේගේ අසිරිමත්
සිදුවීම් පිළිබඳ දැක්වෙන අච්ඡරිය අබිභූතධම්ම සූත්‍රයෙහි කරුණු 21ක් දැක්වෙන අතර ඉන්
කරුණු 7ක් ම පවතින්නේ බෝසතාණන් වහන්සේ මව්කුස තුළ පිළිසිඳ ගැනීම ආශ්චර්ය ය.
දෙවි බඹුන් මරුන් සහිත වූ මුළු ලෝකය ඒකාලෝකවීම, ඝනාන්ධකාරයෙන් යුත් ලෝකාන්තරික නිරය
පවා ඒකාලෝක වී ඔවුනොවුන් හඳුනාගැනීම,
දස දහසක් ලෝකධාතුව කම්පාවී ඒකාලෝකවීමේ ආශ්චර්ය ය
බෝසත් මව සතරවරම් දෙවිවරු විසින් ආරක්ෂා කිරීමේ ආශ්චර්ය ය.
බෝසත් මව ප්‍රකෘතියෙන් සිල්වත් තැනැත්තියක් වීමේ ආශ්චර්ය ය
බෝසත් මව පුරුෂයන් කෙරෙහි කාමාදී කිසිදු සිතක් පහළ නොවීමේ ආශ්චර්ය ය
බෝසත් මව පස්කම් ගුණයෙන් යුක්තවීමේ ආශ්චර්ය ය
බෝසත් මව කිසිදු රෝගාබාධයක් නොවීමේ ආශ්චර්ය ය
මේ සියලු ආශ්චර්යයන් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීමත් සමඟ
ම ඇති වූ ඒවා ය. මේ සියල්ල දෙස බැලීමේ දී බෝසතාණන් වහන්සේ නමකගේ පිළිසිඳ ගැනීම
සාමාන්‍ය සිදුවීමක් නොවන අතර, එය අසිරිමත් සිදුවීමක් වන බව පැහැදිලි වේ.
හේමමාලා රන්දුනු |