මනුදම් රකින
කෘතගුණය
දර්ශනපති
කනංකේ විජිතනන්ද හිමි
අප තථාගත බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ලෝකයට පෙන්වා
දුන් පළමු ගුණාංගය වූයේ කෘතගුණ සැලකීම යි.
එය ආදර්ශයෙන් ම උන්වහන්සේ ලෝකයට පෙන්වා වදාළහ. තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමෙහි
ලා බොහෝ සෙයින් උපකාරී වූ ඇසතු වෘක්ෂය දෙස දෙවැනි සතිය තුළ සතියක් ඇසිපිය නො හෙළා
බලා සිට අනිමිස ලෝචන පූජාව පැවැත්වූහ.
එම ක්‍රියාව මඟින් ආදර්ශවත් ශාස්තෘවරයෙක් ලෙස තථාගතයන් වහන්සේ හිත්පිත් නැති ගසකට
පවා කළෙහිගුණ සැලකූහ. එයින් නො නැවතුණු උන්වහන්සේ තමන් වහන්සේගේ බොහෝ දේශනා තුළ
විවිධ ස්වරූපයෙන් මෙකී උතුම් ගුණාංගය පිළිබඳ දේශනා කොට වදාළහ. ඒ අතර අංගුත්තර
නිකායේ තික නිපාතයෙහි කරුණු තුනක් තුළින් මෙම ගුණය පිළිබඳ පෙන්වා ඇත.
එනම්, ජල ලේඛී - (ජලයෙහි ඇඳි ඉර) පඨවි ලේඛී - (පොළොවෙහි ඇඳි ඉර) , සිලා ලේඛී -
(ගලෙහි ඇඳි ඉර) ලෙස ය.
ඉහත කරුණු අතර ජලලේඛී මඟින් කියැවෙන්නේ ජලයෙහි ඇඳි ඉර ඉතා ඉක්මණින් මැකී යන්නාක්
මෙන් ඇතැම් පුද්ගලයන්ට කො තරම් උදව් උපකාර සිදු කළ ද ඒවා සියල්ල ඉතා අඩුම කාලයක්
තුළ අමතක වී යන බවයි.
පඨවි ලේඛී යනු පොළොවෙහි ඇඳි ඉර ටික වේලාවක් තිබෙන්නාක් මෙන් ඇතැම් පුද්ගලයන්ට යම්
උපකාරයක් සිදු කළ ද, එය මතක තිබෙන්නේ සුළු කාලයකට පමණි. මෙම කොටස් දෙක ම බුදු සමය
විසින් බැහැර කරන අතර ඔවුන් හඳුන්වා ඇත්තේ අකෘතඥ අය ලෙස ය.
සිලා ලේඛී යනුවෙන් හඳුන්වා ඇත්තේ ගලෙහි ඇඳි ඉර මැකී නො යන්නා සේ සත්පුරුෂයාට යම්
සුළු හෝ උපකාරයක් සිදු කළ ද එය අමතක නො කොට අවස්ථාව පැමිණි කල කළෙහි ගුණ දක්වන
බවයි. එවැනි පුද්ගලයන් සමාජයෙහි බොහෝ දුර්ලභ ය. බහුතරයක් මිනිසුන් අකෘතඥ අය වෙති.
මෙම කරුණු තුළින් නූතන සමාජ පරිහානිය තවදුරටත් විග්‍රහ කිරීමට අවශ්‍ය නොවේ.
බුදුදහමට අනුව ගිහි පැවිදි සියලු දෙනා ම කළෙහිගුණ සලකන සත්පුරුෂයන් විය යුතු ය.
බෞද්ධ සමාජය තුළ බොහෝ කාලයක් පටන් පැවත එන මෙම උතුම් ගුණාංගය අතීත මිනිසුන්ට බහුල
වශයෙන් පැවතී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජීවත්වන කාලයේ දී පමණක් නොව මිය ගිය
පසුව ද ඔවුන්ගේ ගුණ සිහිකිරීම ඉතා ගෞරවයෙන් සිදු කරති. එහෙත් අද සමාජයෙහි සියල්ල
කෙටි කලකින් අමතක කර දමන තත්ත්වයට පත් වීම අතිශය කනගාටුවට කරුණකි.
පරමාදර්ශී ශාස්තෘවරයෙක් වශයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ තම චරිතය තුළින් බොහෝ
අවස්ථාවන්හි කෘතගුණ සැලකීම උතුම් කොට පෙන්වා ඇත. ඒ අතර තම පියාට දහම් දෙසා මාර්ගඵල
අවබෝධ කිරීම, දෙව්ලොවට වැඩ ම කොට තම මවට දහම් දෙසීම, සුළු මව වූ මහා ප්‍රජාපතී
ගෝතමියට මෙහෙණි සසුන ලබා දී නිවන් මඟ සලස්වා දීම, පුතු රාහුල කුමරුට ශාසන දායාදය
ලබා දී රහත්වීමට මඟ පෙන්වීම මෙන්ම ගිහි කල තම බිසව වූ යශෝධරාවට චන්දකින්නර ජාතකය
දේශනා කොට ඇයගේ ගුණ වර්ණනා කිරීම හා පසුව මෙහෙණි සසුනෙහි පැවිදි ව රහත්වීමට අවස්ථාව
සැලසීම වැනි බොහෝ අවස්ථා තුළින් අපට පෙන්වා දෙන වටිනාම ආදර්ශය වන්නේ කෘතගුණ සැලකීමේ
ගුණය යි.
“කතඤ්ඤු කතවේදී පුග්ගලෝ - දුල්ලභෝ ලෝකස්මිං”
යනුවෙන් බුද්ධ දේශනාව තුළ හඳුන්වන්නේ කළෙහි ගුණ දන්නා හඳුනන පුද්ගලයන් ලෝකයෙහි බොහෝ
සෙයින් දුර්ලභ බවයි. තමන්ට සෙවණක් වූ ගසකට පවා කෘතගුණ දැක්විය යුතු ය. |