පුර පෑළවිය
සඳ
20 කොටස
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි. මේ අතර සිරිල් මාමා රෝගී වේ.
“ ඔයා හරි කතාවක්නේ කාංචනා කියන්නේ. අප්පච්චිට මේ ඉන්න තියෙන විදිහත් නැති කරන්න
ඔයා හදන්නේ.
අනික අප්පච්චිට බිම ඉන්න හොඳද ? ගෙදරට ම තියෙන්නෙ අපේ ඇඳ විතරයි.
අපේ ගෙවල් වගේ නෙමෙයිනේ පන්සලේ ඕනතරම් ඉඩකඩ තියෙනවනෙ. බලාගන්න මිනිස්සු ඉන්නව. එහෙ
තියෙන සැප අපිට දෙන්න බෑනේ කාංචනා. අප්පච්චි ඉන්න විදිහට උන්නාවෙ. අපි පුළුපුළුවන්
වෙලාවක ඇවිල්ල තාත්තව බලල යමුකො...”
‘ ඒ උනාට මගේ දුවේ අනන්තවත් උඹට බඩ පිරෙන්න කන්න දීලා, මං වතුර බීලා බඩගින්නෙ ඉඳලා
ඇති. ‘ සිරිමල් තම සිතිවිලි වචන බවට පත් නොකළේ ය.
දියණිය තමා බලන්නට ආවේ ද එම වතාවේ පමණි. නැවත ඒමක් ගැන විශ්වාසයක් තබන්නට ද නොහැකි
ය. දරු දුක නම් කිනම් දෙයක් දැයි සිරිමල්ට හොඳ හැටිම දැනෙන්නට පටන් ගන්නේ වියපත් වූ
පසුව ම ය. උන් උස්මහත් නොවීම සිටියා නම් කෙතරම් හොඳ දැයි දැන් සිරිමල් මාමාට සිතේ.
ධම්මාලංකාර හාමුදුරුවෝ පන්සලට වැඩම කරන විට දමිත සාමණේරයන් සිටියේ සිරිමල් මාමාගේ
පරණ ගොමස්කඩ සරම් ටික සෝදමිනි. ධම්මාලංකාර හාමුදුරුවෝ යනු ලොකු ස්වාමින් වහන්සේගේ
පළමු ගෝලනම ය. උන්වහන්සේ මහණ වූ පන්සලෙන් බැහැර වූයේ ‘ මේ පන්සල්වල ආදායම් හොඳටම
මදි’ය කියා ය. දැන් නැවතත් පන්සලට එන්නේ කුමක් නිසා දැයි කිසිවෙක් නොදනිති.
“ ඔහේටත් පිස්සුනේ. තමුන් මොනවද ඔය කරන්නේ? ගිහියන්ගේ ඇඳුම් හෝද හෝද “
ධම්මාලංකාර හිමි එසේ ඇසුවත් දමිත සාමණේරයන් පුදුමයෙන් මූන බලා සිටියා මිස කිසිවක්
කියන්නට නොගියේ ය. කිසිදාක ධම්මාලංකාර හිමියන් ව දමිත සාමණේරයන් දැක තිබුණේ ද නැත.
හදිසියේ ම එතැනට පැමිණියේ නන්ද හාමුදුරුවන් ය.
“අවසර අපේ හාමුදුරුවනේ,... බොහෝම කාලෙකින්නෙ දැක්කේ. වැඩම කරන්න, වැඩම කරන්න”
නන්ද හිමියන් පැවසූයේ ධම්මාලංකාර හිමියන්ට වන්දනා කරමින් ම ය.
හවස් වේලාවේ පන්සලේ බණමඩුවේ රැස්වීමක් යොදාගෙන තිබිණි. ඒ සිරිමල් මාමා පිළිබඳ ව
කතාබහ කරන්නට ය. දායක සභාවේ ප්‍රබල දායකයකු වූ මුදලාලි මහත්තයාවත්, ලියන මහත්තයාවත්
මේ රැස්වීමට නම් පැමිණ නොතිබිණි.
“ සමාවෙන්න අපේ හාමුදුරුවනේ, මේක බොහෝම දුප්පත් දායක සභාවක්. ඇබිත්තියට ගෙවල්
දොරවල් තියෙනවා. දූදරුවෝ ඉන්නවනේ අපේ හාමුදුරුවනේ. ඒ තැනකට එන්න කියලා පංගාත්තු කළා
නම් හරි නේද ?”
එසේ කීවේ කට මුඛරී ඩොටී උපාසිකාව ය.
“ ඒක නේන්නං දැන් මෙතන වෙලා තියෙන ගැටලුව. ඒ ඇත්තෝ සිරිමල් උපාසක තැන ව භාරගන්න
බැහැ කියනවනේ..”
ලොකු ස්වාමීන් වහන්සේ වදාරන්නේ සන්සුන්ව ය.
“ එහෙම කියල කොහොමෙයි ලොකු හාමුදුරුවනේ, හැදුව නම්, බිහි කළා නම් උන් එපැයි තාත්තට
සලකන්න. එහෙම බාරගන්න බැහැයි කියන වනම් අපි පොලිසියේ පැමිණිල්ලක් දාමු ලොකු
හාමුදුරුවනේ.”
ඩොටී උපාසිකාව පවසන්නේ වටපිටත් කැරකි කැරකී බලමින් ය.
අපේම මිනිසකු අසරණ වී සිටී. දැන් මෙතන නීති රීති කතා කිරීමක් නොවේ සිදුවිය යුත්තේ.
නන්ද හිමියන්ට නම් මිනිසා නැමැති සතා පිළිබඳ ව ඇතිවූයේ දැඩි කළකිරීමකි.
මතු සම්බන්ධයි |