[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තෙරුවන් පැනැවූ දිනය අදයි

තෙරුවන් පැනැවූ දිනය අදයි

ගිහිගෙය අතහැර ගිය සිදුහත් බෝසතාණන් වහන්සේ පැවිදි ව අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කොට වෙසක් පුන් පෝ දා ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්විය. තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය පළමුව දේශනා කළ යුත්තේ කාහටදැයි සොයා බැලූහ.

මුලින් තමන්ට උපකාර වූ ආලාරකාලාම, උද්ධකරාමපුත්ත දෙදෙනා සුදුසු යැයි සිතූහ. දෙදෙනා ම ජීවතුන් අතර නැති බව වටහාගත් බුදුහිමි පස්වග තවුසන් තමන් වහන්සේට ළඟින් ම සිට උපස්ථාන කළ නිසා පස්වග තවුසන් සොයා ඉසිපතනාරාමේ මිගදායට වැඩම කොට තමන් විසින් අවබෝධ කරගත් ඉතා ගැඹුරු බුදුදහමේ මූලික හරය ඇතුළත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග තවුසන්ට දේශනා කළහ. දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ප්‍රථමයෙන් රහත් බවට පත්විය.

බුද්ධ රත්නයේ ගුණ නවයක් ද, ධර්ම රත්නයේ ගුණ හයක් ද, සංඝ රත්නයේ ගුණ නවයක් ද ඇතුළත් බැවින් තෙරුවන් ගුණ විසි හතරක් වේ. මූලික වශයෙන් මේ ගුණ විසි හතර පිළිබඳ ව අවබෝධයක් ලබා කටයුතු කරන තැනැත්තා තෙරුවන් සරණ ගිය බෞද්ධයකු බවට පත්වෙනවා. ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා. තුනුරුවන් සොයා ගොස් කුසල් කිරීමෙන් කවුරුත් පිය කරන පුණ්‍යවන්තයෙක් වෙනවා.

දුර්ලභ වූ මනුෂ්‍යත්වය ලැබූ අපි වාසනාවන්තයෝ වෙමු. ඒ උතුම් වූ තුනුරුවන් අප මාතෘභූමියේ ජීවමාන ව දකින්නට, වඳින්නට, පුදන්නට ලැබීම ඒ ලද වාසනාවයි. එවන් තුනුරුවන්ගේ විශේෂත්වය සත්ත්වයා සතර අපායට වැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමයි. පස් පව්, දස අකුසල්, දස කුසල් ගැනත් ජාති, ජරා, මරණ ගැනත්, ශ්‍රද්ධාව හා අශ්‍රද්ධාව ගැනත්, පින් පව් ගැනත් කියා දෙමින් සත්වයා ආරක්ෂා කර දෙන නිසා මෙලොවටත්, පරලොවටත් පිහිටවන නිසා වැදගත් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ හැකි වන්නේ එවැනි ම බුදුරජාණන් වහන්සේ නමකට පමණි. සාමාන්‍ය කෙනෙකුටවත්, රහතුන් නමකටවත් එය කළ නොහැක්කක් බව සඳහන් වෙනවා. එවන් අනන්ත ගුණ ඇති බුදුහිමියන්ට වන්දනාමාන කිරීමෙන් අනන්ත වූ ආනිශංස ලබා ගත හැකි වෙනවා.

සියලු දානයන්ට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි. ධර්මය හැර සත්ත්වයාට මවක් පියෙක් නැත. ඒ ධර්මය සත්ත්වයාට ආරක්ෂාවයි. සරණයි, ප්‍රතිෂ්ඨාවයි. එබැවින් අපි අන් සියලු වැඩ නවත්වා ඒ දහම ඇසිය යුතුයි. ධාරණය කර ගත යුතුයි. එපමණක් නොව ධර්මයට අනුව ජීවිත හැඩගස්වා ගත යුතුයි.

කුඹුරක් වැපිරූ ගොවියාට එහි අස්වැන්න ලබා ගැනීමට කලක් ගතවෙයි. ශිල්ප ඉගෙන ගත් තැනැත්තාට එහි ප්‍රතිඵල ලැබෙන්නේ කලක් ගිය පසුවයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය අකාලිකයි. කල්ගත නොවී ඒ වෙලේ ම ප්‍රතිඵල ලබා ගත හැකියි.

සිත නිකෙලෙස් වූ සැණින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර ඵලයට පැමිණිය හැකි බැවින් ධර්මය අකාලික ගුණයෙන් යුක්ත වෙනවා.

බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සංඝරත්නය ලෙස හඳුන්වනු ලබනවා. පස්වග තවුසන්ගෙන් ආරම්භ වූ සංඝ සංස්ථාව වර්තමානය තෙක් වැඩ සිටීම දක්නට ලැබීම භාග්‍යයක්. කොතෙක් වෙහෙර විහාර, පන්සල් හැදුවත් සංඝරත්නය නොමැති නම් ශාසනයේ පැවැත්මක් නැත.

යුගයෙන් යුගය විවිධ කරදර කම්කටොලුවලට මුහුණ දෙමින් ශාසනයත්, ජාතියත් රැක ගැනීමට අපේ මහ සඟ රුවන ජීවිත පරදුවට තබා කටයුතු කර ඇත. වාරියපොළ සුමංගල හිමි, කුඩාපොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි වැනි උතුමෝ ශාසනයේ පැවැත්මට කටයුතු කර ඇත. කටපාඩමෙන් ගෙනා ත්‍රිපිටකය මාතලේ අළුවිහාරයේ ග්‍රන්ථාරූඪ කළේ මහා සංඝරත්නය යි. මේ නිසා උන්වහන්සේ ජාතියේ මුර දේවතාවන් වෙනවා.

සැරියුත් මුගලන් පරපුරෙන් පැවත එන ආර්ය මහා සංඝරත්නය, සුන්දර ප්‍රතිපත්ති පුරන, නිවැරැදි මාර්ගයේ ගමන් කරන, තුන් දොර හික්මවා කටයුතු කරන, සත්ත්වයා කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කරන කෙනකු දුර සිට හෝ පැමිණ සිවුපසය පුදා වන්දනාමාන කිරීමට සුදුසු උත්තමයාණන් වහන්සේ යි. ගොවියා සරු කෙතක ධාන්‍ය වපුරා සරු අස්වැන්නක් ලබා ගන්නා සේ, පින්වත්හු සරු කෙතක් වූ පුණ්‍ය ක්ෂේත්‍ර වූ මහා සංඝ රත්නයට සිව්පසය පුදා බොහෝ පින්කර ගනිති.

සසර කෙළවරක් දැකිය නොහැක. සත්ත්වයා මේ බියකරු සසර ඉපදෙමින්, ලෙඩ වෙමින්, මැරෙමින් විවිධ දුක් දෙමින් ගමන් කරනු ලබයි. මේ සියලු දුකට හේතුව ඉපදීමයි. ඉපදීම නැති කර නිවන කරා යා හැකි වන්නේ තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් තබා ඒ අනුව කටයුතු කිරීමෙන් පමණි. තුනුරුවන් පළමුව පහළ වූ මේ උතුම් පොහෝ දිනයේ ඒ ගැන සිතා කටයුතු කර ගනිමින් ශාන්ත වූ නිවන ලබ ගැනීමට උත්සාහවන්ත වෙමු.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]