[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වැරදුණු දුනුදිය

වැරදුණු දුනුදිය

තමන් මරන්න ආවත්, තමන්ට කොතරම් නින්දා අපහාස කළත් ඒ අයට මෛත්‍රිය ම, කරුණාව ම දක්වන්න. එය ඔබේ සිත සතුටින්, ප්‍රීතියෙන් පුරවනු ඇත

අතීතයේ දඹදිව ‘චන්ද්‍රභාගා‘ කියන ගංගාව ළඟ ‘හෝම‘ කියලා ගමක් තිබුණා. මේ ගමේ හිටියා ගොඩාක් ප්‍රසිද්ධියට පත් මරුත්ත කියලා වෙළෙඳ තරුණයෙක්. මේ මුදලාලි වෙළඳාමෙන් ඉහළට ම ගිහින් රූමත් තරුණියක් විවාහ කර ගත්තා.

ඒත් ඇයට දරුවෙක් පිළිසිඳ ගත්තේ නෑ. ඒ නිසා දෙන්නා ම හිටියේ කනස්සල්ලෙන්. මේ අතරේ බමුණු තරුණයා වෙළෙදාමේත් යෙදුණා. දවසක් තක්සලා නුවරට ගිහින් වෙළඳාම් කරගෙන එන අතරේ බොහෝම වෙහෙස දැනිලා අම්බලමක නැවතිලා විවේක ගත්තා.

එතැන වැටිලා හිටියා දරුණු කුෂ්ඨ රෝගයකින් පීඩා විඳින, මරණය පෙනි පෙනී ඉන්න සුනඛයෙක්. ඉතිං බමුණු තරුණයාගේ හිත උණුවෙලා කරුණාවක් පහළ වුණා. ඒ මොහොතේ අත් බෙහෙතක් විදිහට ‘ගෝනිල්වැලක් අරගෙන ගලේ අඹරලා යුෂ අරගෙන ඇඹුල්මෝරුත් එක්ක කළවං කරලා අර සුනඛයාට පෙව්වා. සේවකයන් ද මේ බමුණු තරුණයාට උදව් වුණා. පැය ගණනක් යන කොට හැම දෙනාගේ ම නෙතට සැනසිල්ලක් ගෙනෙමින් සුනඛයා හිස ඔසවන්න පටන් ගත්තා.

බමුණු තරුණයාට මේ සුනඛයාත් තනි කරලා එන්න දුකයි. ඒ නිසා සේවකයන්ට කතා කරලා කිව්වා ගමට ගෙනියන්න කටයුතු සූදානම් කරන්න කියලා. ඒ විදිහට සැතපුම් ගණනක් මඟ ගෙවාගෙන අර කුෂ්ඨරෝගී සුනඛයාත් අරගෙන ගමට ආවා. ගෙදරට ගෙනල්ලා ඌට කෑම බීම දෙමින් බෙහෙත් කළා. ටික කාලයකින් නීරෝගී වුණා.

බමුණු තරුණයා විවාහ වෙලා දරුවන් බලාපොරොත්තුවෙන් හිටියත් කාලයක් යනකම්ම දරුවන් ලබන්න බැරිවුණානේ. ඒ නිසා ම දෙන්නා ආගම දහමට යොමු වුණා. පුද පූජා පවත්වමින් සිත් සොම්නසට පත් කරගෙන ජීවත් වෙනකොට බිරිඳ කුස දරුවකු

පිළිසිඳ ගත්තා. තරුණ බමුණා ප්‍රීතියෙන් ඉපිලී ගියා. බිරිඳට ඕන කියන හැම කෑම බීමක් ම ගෙනත් දීලා ගැබ ආරක්ෂා කරගෙන බිරිඳ ව පෝෂණය කළා. මේ අතරේ දරුවා කුසෙහි මෝරනවාත් එක්කම දෙන්නගේ ම අවාසනාවට දරු පැටියා මිය ගියා.

ඉතිං දරුගැබ අයින් කරලා බිරිඳ බේරා ගන්න ඕන. ඒ නිසා දක්ෂ වෙදෙක් හොයාගෙන ගෙදරට ගෙන්වා ගෙන ආවා. ප්‍රතිකර්මත් ආරම්භ කළා. වෛද්‍යවරයා මළ දරු කළලය සැත්වලින් කඩ කඩා එළියට ගන්න පටන් ගත්තා. මේක දිහා බලාගෙන හිටිය තරුණ බමුණට මුළු ජීවිතය ම එපා වුණා. ජීවත් වීම ගැන කලකිරුණා. ජීවිතය පිළිකුල් වුණා. දුක්වලින් නිදහස් ව ජීවත් වෙන්න හිත යොමු වුණා. කම්සැප එපා වුණා. ඒ නිසා හිතට ශාන්තිය, සැනසීම ගෙන දෙන මඟක් හොයාගෙන වනගත වුණා.

තවුස් ජීවිතයකට ඇතුළු වෙලා වනඵල ආහාරයට ගනිමින් වනයේ ජීවත් වෙන්න පටන් ගත්තා. තරුණ බැමිණිය නිතර ම කනස්සල්ලට පත් වුණා තම සැමියා තවුස් ජීවිතයට යාම ගැන. ඒ විතරක් නෙවෙයි. නිතර නිතර ඔහුට දොස් පරොස් තබන්න පටන් ගත්තා.

ඊට ටික කලකට පස්සේ බමුණු තරුණිය අලුත් විවාහයක් කර ගත්තා. ඒත් හිටපු සැමියා ගැන වෛරයකිනුයි හිටියේ. දවසක් තමන්ගේ අලුත් සැමියා අමතලා කියනවා

‘ස්වාමිනි, අර තාපස පැවිද්දා කොහොම හරි මරල දාන්න ඕන. මට ඒ තාපසයා දකින්න ලැබෙන කොට ඔබත් එක්ක සතුටින් ඉන්න හිතෙන්නේ නෑ‘යි කියලා කිව්වා.

හැමදාම උදේ සවස වනයට ගිහින් තාපසයාගේ සුවදුක් බලල එන පුරුද්දක් අර හදාගත්ත සුනඛයාට තිබුණා. ඒ සුනඛයා මේ කතාව අහගෙන නිතරම අවධානෙන් හිටියා තාපසයා මරන්න යනවා ද කියලා.

දවස් ගණනක් ගියා අලුත විවාහ කරගත් සැමියා වෙතින් එය ඉටුවෙන බවක් පෙනුණේ නෑ. දෙවැනි වතාවටත් තදින් ම ඔහුටත් බැණවදිමින් ‘තාපසයා මරල දාන්න‘යි කිව්වා. ඒ වතාවේ දුන්නත්, ඊතලත් අරගෙන කැලේට ගිහින් තාපසයා වනපල හොයාගෙන එන මඟ හරස් කර ගෙන හැංගිලා හිටියා විදලා මරන්න. අර හදාගත්ත සුනඛයා මේ බව දැනගෙන ඔහු පස්සෙන් ම ගිහින් ඔහුගේ ප්‍රමාදයක් බලලා දුනුදිය කපලා හැංගුණා.

ඔහු දුන්න අතට ගන්නකොට දැක්කා සතෙක් දුනුදිය කපලා කියලා. ඒ වතාවේ තාපසයා මරන්නට නොහැකි ව ගෙදර ගියා. බිරිඳට සියලු ම තොරතුරු කියලා දුන්න හදා ගත්තා. දෙවැනි වතාවෙත් ඒ විදිහට ම දුන්නත්, ඊතලත් අරගෙන ගිහින් තාපසයා මරන්න හැංගිලා හිටියා.

එදත් අර හදාගත්ත සුනඛයා දුනුදිය රහසේ ම කපලා දැම්මා. එදත් ගෙදර ගිහින් බිරිඳට කතාව කිව්වා. තුන්වැනි දවසේ එහෙම නොවෙන්න අතේම දුන්න තබාගෙන තාපසයා මරලා එන්න ඕන කියලා බිරිඳගෙන් තදින් ම දොස් එක්කම උපදෙස් ලැබුණා.

එදා පෙර වතාවල වගේ ම ගස් අතර හැංගිලා තාපසයා එන මඟ රැකගෙන හිටියා තාපසයා මරන්න. හදාගත්ත සුනඛයාට අවස්ථාවක් එනකම් බලාගෙන හිටියත් දුනු දිය කපන්න මේ වතාවේ නම් අවස්ථාව ලැබුණේ නෑ. අර සුනඛයා හිතනවා ‘මම බොහෝ ම රෝගීව දුකින් ඉන්නකොට මට බෙහෙත්

කරලා, මාව ගෙදර අරගෙන ගිහින් මට කන්න බොන්න වගේම බෙ‍හෙත් කරලා මාව සනීප කළ මේ තාපස උතුමන් ව මරන්න දෙන්න බෑ. මේ පුරුෂයව වලක්වන්න ඕනැ‘යි හිතලා දුනු ඊතල අරගෙන විදින්න දුනුදිය අදිනකොට ම දුවගෙන ගිහින් පා දෙකට කඩාගෙන පැන්නා. ඒත් එක්කම ඔහු බිම ඇද වැටුණා.

එයින් නතර නොවුණ මේ සුනඛයා මූණ අත්-පා වගේම ඇඟ ද කා දමන්න පටන් ගත්තා. පුළුවන් හැම අතින් ම දුර්වල කරලා මහත් හඩින් බුරන්න පටන් ගත්තා. ඒ කලබලය අහගෙන හිටිය තාපසතුමා දුවගෙන ඇවිත් බලනකොට ලේ පෙරාගෙන මහත් වේදනාවෙන් පෙළෙන අර තරුණයා ව දැක ගන්න ලැබුණා.

මහත් කරුණාවක් උපදවා ගෙන තරුණයා අසපුවට අරගෙන ගිහින් තමන් දන්නා වෙදකම් කරමින් සුමාන ගණනක් බෙහෙත් කරලා සනීප කරලා ඔහුට මෛත්‍රියෙන් වගේම, කරුණාවෙන් සැලකුවා‘යි කතා පුවතක් අපේ සිංහල බණ කතා පොතක් වුණු සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා. බලන්න තාපසතුමාගේ ගුණයක තරම.

ඒවගේ ම තමන්ට උපකාර කළ නිසා කෘත ගුණ සැලකූ සුනඛයකුගේ ගුණය. තමන්ට ජීවිතයේ කිසියම් හෝ දවසක කෙනෙක් වචනයකින් හෝ යම් කුඩා වස්තුවකින් හෝ පුංචිම හරි බෙහෙතකින් හෝ වෙනයම් ඕනෑම දෙයකින් හෝ උපකාර කරලා තියෙනවා නම් කවදාවත් එවැනි උතුමන් අමතක කරන්න එපා.

ඒ වගේම තමන්ව මරන්න ආවත්, තමන්ට කොතරම් නින්දා අපහාස කළත් ඒ අයට මෛත්‍රීය ම, කරුණාව ම පතුරුවන්න. එය ඔබේ සිත සන්තෝසයෙන්, ප්‍රීතියෙන් පුරවාලනු ඇත.

අනුන් පරාජයට පත් කර මුළු ලෝකය ම අත්කර ගෙන ලබන සතුටටත් වඩා සතුටත් මෛත්‍රීය හා කරුණාව දැක්වීමෙන් ලබන ජයග්‍රහණයේ සතුටට පරාජය වනවා.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]