[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වෙහෙරක් වගේ දෙවොලක් වගේ නුඹයි අපෙ අම්මා

වෙහෙරක් වගේ දෙවොලක් වගේ නුඹයි අපෙ අම්මා

සීමාවක්, පරක්-තෙරක් හෝ මිම්මක් හෝ මැනීමක් හෝ නොමැති යන අරුත ඇති’මා’ යන ශබ්ද මූලයෙන් නිපන් ‘අම්මා’ යන අකුරු තුනෙන් සුසැදි පදය සිහල බසින් ලොවට බිහිවූ සොඳුරුතම වචනය යි.

ජීවියකු නොවන කළලයක් අපරිමිත දාරක ප්‍රේමයෙන්, රන් කරඬුවක් මෙන් සිය කුස මත හොවා එය සුජාත ජීවියකු බවට පත්කිරීමේ විශ්වකර්ම කාර්යය ලොව වෙසෙන අම්මාවරු සිදුකරති. ඒ දේ කිරීමට අම්මා හැර සමත් දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ එබඳු වෙනත් උතුම් සත්ත්වයෙකු මෙම විශ්වයෙහි කිසිතැනෙක නොමැති හෙයින් ඇය දෙවියන්ට ද, බඹුන්ට ද වඩා ශ්‍රේෂ්ඨ ය. කළල අවස්ථාවේ සිට ම තම කුසින් බිහිවන දරුවා කෙරෙහි අසීමිත ආදරයක් හා සෙනෙහසක් ඇය තුළ පවතී. එහි ස්වභාවය පැවසීමට ලොව තුළ කිසිදු බසක වදන්වැල් නොමැත. දයාව, කරුණාව, දුක, සෝ සුසුම,ඉවසීම, දරාගැනීම යනාදි කිසිවක් කෙරෙහි සීමාවක්, මිම්මක් හෝ මැනීමක් හෝ ඇයට නොමැති හෙයින් ම ඇය ‘අම්මා’ නම් වේ.

පෙරදිග පඬිවරුන් පිළිගත් මතය අනුව අම්මා දරුවන් කුසෙහි දරන්නී ය. එහෙයින් ඇය ‘ධාත්‍රී’ නම් වේ. ඇයගෙන් පුතුගේ සිරුර පෝෂණය වේ. එහෙයින් ඇය ‘අම්බා’ හෙවත් ‘අම්මා’ නම් වේ.

එසේම ඇය වීර පුත්‍රයන් බිහි කරන්නී ය. එහෙයින් ම ඇය ‘වීරස’ නම් වේ. තවද මාතා, ජනනී, ජනිකා, ජනෙත්තී යනාදී වශයෙන් බෞද්ධ පොත පතෙහි ද මව්ගුණ අළලා සැදුණු පද රාශියකි. එසේ වන්නේ ඇයගේ ගුණ සමුදාය පැවසීමට බසක බල මදි නිසා ය. එපමණ ම අම්මාගේ චර්යාව, ගතිලක්ෂණ නම් සිතීමටවත් බැරි තරම් ය. ඇය තම දෑසේ නිදිමත දරුවාගේ දෙනෙතට දී ඔහු නිදි කරවයි. තමා නිදිවරා පුතු නිදි කරවයි. පුතුගේ බර තම දෑතට ගනී. පුතු සවිමත් කොට සිරුරෙන් ඇය වැහැරෙයි. ඇයගේ මුළු දිවිය ම මෙසේ දරුවන් වෙනුවෙන් පිදේ.

එසේ වුවත් ලොව අම්මාවරුන්ගේ කතාව නම් පුදුමාකාර වන්නකි. ඇය විසින් එක් මනුෂ්‍ය ආත්මභාවයක දී දියණියක, බිරිඳක හා මවක මෙන් ම මිත්තණියක ලෙස ද මුහුණ දෙන අත්දැකීම්, දරාගැනීම් හා ක්‍රියාකාරකම් කියා නිම කළ නොහැකි ය. මඩගොහොරුවක් වන් ලෝකයේ දරු සෙනෙහස නිසා ම ඇය වරෙක සුජාතාවක් වන්නී ය. වරෙක පටාචාරාවක් වන්නී ය. දරුවකු බිහි කිරීමේ දී මාරාන්තික දුක් කන්දරාවකින් කඳුළු වගුරුවන අම්මා බිහිවූ දරුවා දෙස බලා සැණෙකින් සතුටු කඳුළු වගුරුවන්නේ කෙසේ ද? පා ඇඟිල්ලකින්වත් ස්පර්ශ නො කරනු කැමැති සෙම්, සොටු, මළමූත්‍රා ආදිය දරුවා වැඩෙන තුරුම ඇය සතුටින් ස්පර්ශ කරනුයේ කෙසේ ද? තම කයෙහි දිවෙන රතු පැහැති රුධිරය සුදු පැහැති කිරි බවට පත් කරනුයේ කෙසේ ද? විලාප කියන දරුවන්ගේ බඩගින්න ඉදිරියේ මුනිවතින් නිසල වන ඇය අකම්පිත ව තම බඩගින්න යටපත් කර ගන්නේ කෙසේ ද? මෙබඳු ප්‍රශ්න දහසක් මවකගේ උදාර ගතිලක්ෂණ ඇසුරෙන් මනසට නැඟෙනුයේ නිරායාසයෙනි. පුරුෂ ශක්තියෙන්, පුරුෂ ජවයෙන් හෝ පුරුෂ බලයෙන් හෝ කිසිවකුට කළ නො හැකි මෙම උත්තුංග කාර්යය නිසල ව සිදුකරන ඇය අම්මා ය.

බෞද්ධ ග්‍රන්ථවල දැක්වෙන පරිදි මවකගේ සෙනෙහස ආත්මයක්, ආත්මයක් පාසා බැඳී පවතින්නකි. ආත්ම ගණනාවකට පෙර බුද්ධත්වයට විවරණ දුන්නේ බෝසතුන්ගේ අම්මා ය. මිය ගොස් තුසිත දෙව්ලොව උපන් මායාදේවී තොමෝ සිදුහත් බෝසතාණන් වහන්සේ උග්‍ර දුෂ්කර ක්‍රියාවෙන් කායික ව දුර්වලත්වයට පත්වී සිටිනු දැක,

“පුතණුවෙනි, නුඹ අගනා චක්‍රවර්ති සම්පත් ද භුක්ති නොවින්දෙහි ය. බුද්ධත්වයටත් නො පැමිණ වනයෙහි දී ම මරණයට පත් වන්නෙහි දැ”යි දැඩි සේ වැළපුණා ය.

එය දුටු බෝසත්හු, “කෙස් විසුරුවමින්, ශෝභා රහිත ව, මිහිමත වැටෙමින්, පුතු ගැන වැළපෙමින් හඬන ඔබ කවුරුන් දැ”යි ඇයගෙන් විමසීය. එවිට මායාදේවී තොමෝ

“පුතණුවනි, දසමසක් පුරා දියමන්තියක් මෙන් නුඹ ව කුසේ දරා සිටි අම්මා මම වෙමි” යැයි පැවසුවා ය. සෙනෙහසින් ඇය කී එම වදන් අසා බෝසත්හු, “මෑණියෙනි, මහපොළොව කැඩී විසීරී ගියත්, මැණික්වලින් සැදි මහමෙර ජලයේ ගිලී ගියත්, සඳ හිරු තාරකා පොළොව මත පතිත වුවත් මම පුහුදුන් කෙනෙකු ලෙස නො මියෙමි. නොබෝ කලකින් මම බුදුබවට පත් වන්නෙමි. ඔබ ඒ ගැන බිය නො වන්නැ”යි කීහ.

එය ඇසූ සුරලියක් වූ මායාදේවිය ප්‍රහර්ෂයට පත් ව සතුටු කඳුළු වැගිරුවා ය. මවකගේ හා පුතෙකුගේ මෙබඳු අනුවේදනීය වදන් ලලිත විස්තරය නම් ග්‍රන්ථයෙහි ලලිතවත් ලෙස සටහන් කොට ඇත.

බුදු වූ අත්බැව්හි සුළු මව වූ මහාප්‍රජාපතී දේවිය ද බුදුන් ඉදිරියෙහි පැවසූ දේ අම්මා කෙනෙකුගේ අචින්ත්‍ය වූ ගුණ සමුදාය තේරුම් ගැනීමට උපකාර වේ. මහාප්‍රජාපතී ගෝතමී තෙරණිය පිරිනිවන් පෑමට අවසර ඉල්ලීම සඳහා පැමිණ බුදුන් වහන්සේට මෙසේ කීවා ය.

“වීරයන් වහන්ස, මා ඔබට පෙව්වේ මොහොතක් තණ්හාව සමනය කරන කිරි ය. එහෙත් ඔබ වහන්සේ මට අත්‍යන්තයෙන් තණ්හාව නැති කරන දහම් නමැති කිරි පෙවූ හ, රජෙකුගේ මෙහෙසිය යන නාමයක් ලැබීම ගැහැනියකට අපහසු නැත, එහෙත් 'බුද්ධ මාතාව’ යන යම්, නමක් වේ නම් එය ලැබීම පරම දුර්ලභ ය. මෙසේ නොයෙක් අනුවේදනීය දේ පැවසූ ඇය මවක වශයෙන් ලද සතුට පළකොට පිරිනිවීමට අවසර ඉල්ලුවා ය. එසේම නෙලුම් පතකිනුදු සිය කුසින් උපන් දරුවාට හානියක් වනු නො දකිනු කැමැති අම්මා දරුවාගේ උපතේ සිට මරණය දක්වා අසීමිත සෙනෙහසකින් හා බැ¼දීමකින් පුතු දෙස නෙත් යොමා බලා සිටී. මෙය බෝසත් මවගේ පමණක් නොව ලොව සියලු අම්මාවරුන්ගේ සැබෑ ආත්මීය බැදීම ප්‍රකට කරවන්නකි. ඉතා සුළු සිත් රිදීමකින් ලොව එකිනෙකා අතර පවතින මිතුදම්, සොයුරුදම් හා සෙනෙහෙදම් මෙන් ම හිතවත්කම්, නෑදෑකම් හා ගුරුගෝලකම් ආදිය ද සදහට ම බිඳී යා හැකි ය. එහෙත් අම්මා තුළ දරුවන් කෙරෙහි පවතින  සෙනෙහසේ බැඳීම කිසි ලෙසකත් බිඳී නො යයි. එය සදාතනික බැඳීමකි. යම් දරුවෙකු මවක හා විරසක ව ඇගෙන් දුරස් වී සිටියහොත් එය අම්මාගේ හදවතට යහුලෙන් අනින්නාක් මෙන් මෙහොතක් පාසා වද දෙන්නක් වේ.

දරුණු අංගුලිමාලයන්ගේ අම්මා තම පණටත් වඩා පුතුට ආදරය කළා ය. සිය පුතු මැරීමට රජු භටයන් යැවූ කල්හි අංගුලිමාලයන්ගේ මව පුතු සොයා තනි ව ම මහ වනයට ගියා ය. මව මරා හෝ ඇඟිලි එකතු කිරීමට අදහස් කළත් ඇය එය ද නොතකා දෝරේ ගලා ගිය ආදරයෙන් ඔහු සොයා ගියේ නොනිමි ආදරයකිනි. මව් සෙනෙහස නො සිතිය හැකි තරම් අපූර්ව වූවක් වන්නේ එලෙසිනි.

දරුවකු බිහි කිරීමේ දී ඇතිවන විලිරුදාවේ සිට මිහිමත වැළලෙන තුරු අම්මා දරුවන් වෙනුවෙන් විඳීනා වේදනා, ඉවසීම් හා කැපකිරීම් මෙන්ම ලොවට පුදනා ආදරයේ මහිමය ලොව බිහි වූ දා සිට මිනිස් හදවත්වලට වැටහිණි.

බුදුදහමේ බලගතු මඟ පෙන්වීමෙන් කුළුගැන්වුණු බොදුනුවන් අම්මා හඳුනා ගත්තේ දෙවැනි බුදුවරයෙක්, දෙවඟනක් මෙන් ම උත්තුංග ගුණ සපිරි උත්තමාවියක ලෙස ය.

කෙතෙක් දරුවන් සිටිය ද ඒ සියලු දෙනා කෙරෙහි මවගේ මෙත් සිත සම ව පැතිරේ. එහෙයින් ම ලක්දිව බුදුපුත් තෙරවරු නිබඳ මව්ගුණ අළලා බණ කී හ. කවියෝ කවි ලියූ හ. ගීපද රචකයෝ ගී පබැඳුම් කළ හ. සාහිත්‍යධරයෝ පොතපත ලියූ හ. සිතුවම්කරුවෝ සිතුවම් ඇන්ද හ. සිනමාකරුවෝ චලන රූ නිමැවූ හ. එහෙත් අදටත් එම ගුණ කඳ ළිඳක උල්පතක් මෙන් කලා ඇසට නව සිතිවිලි උපදවයි. හෙළ බිමෙහි නන් අයුරින් පැවසුණු අම්මාගේ ගුණවරුණ නිසා හෙළදිව දරුවෝ මව්ගුණ මැනැවින් දැන ගත්හ. ඔවුහු තම දියුණුව මෙන් ම දුක සතුට ද අම්මාට නො වළහා කී හ. ඇයගේ උපදෙස් පැතූ හ. එසේම මවගේ සතුට දැක සතුටු වූහ. ඇයගේ දුක, ශෝකය අබියස කම්පිත වූ හ. දිව රෑ දෙක්හි හද පතුලින් ම නැඟෙන ගුණ සමරා “මාතුපාදං නමාමි” යැයි මවගේ පායුගල නැමැදූ හ.

වැලක බර වැලට බර නැතුවාක් මෙන් මවකට ද දරුවන් කීදෙනෙක් සිටියත් වැඩි නැත. ඇය ඒ සියලු බර කිසිදු දොම්නසකින් තොරව දරන්නී ය. එය සැබෑ මව්වරුන්ගේ සදාතනික ගුණයකි.

සත්වසරක් ගැබක් දරා සිටි මවක් බුදුන් දවස වූවා ය. ඇය නමින් සුප්පාවාසා ය. වරක් බුදුරජාණන් වහන්සේ, “තවත් පුතුන් ලබන්නට ඔබ කැමැති දැ”යි ඇගෙන් විමසූ සේක. “ස්වාමීනි, එබඳු පුතුන් එක්කෙනෙකු නොව තවත් සත්දෙනෙකු වුවත් ලබන්නට කැමති යැ”යි ඇය කීවා ය. අම්මාවරුන් තුළ දරුවන් පිළිබඳ ව ඇත්තේ එබඳු සිතිවිල්ලකි. එය මාතෘත්වය හා සොබාදහම සමඟ සබැඳී ධර්මතාවකි.

මනුෂ්‍ය ලෝකයේ පමණක් නොව ස්වභාව ධර්මයේ දායාද වන සතුන් තුළ ද මෙම මාතෘත්ව ලක්ෂණ දක්නට ලැබේ. පැරැණි ලංකාවේ මිනිස්සු සයමසක් කෑඳැත්තන් නො මැරූහ. කෑදැත්තිය ගස් බෙනයක් තුළ පැටවන් බිහිකිරීම සඳහා බිත්තර රැකීමට ගිය විට කෑඳැත්තා බෙනයෙහි සිදුර කෑම දීමට පමණක් ප්‍රමාණවත් වන සේ තබා කිසිවකුට ඇතුළට නො යා හැකි පරිදි තද ලාටු විශේෂයකින් බඳීයි. ඉන් අනතුරුව කෑඳත්තා එම කුඩා සිදුරෙන් කෑම සපයයි. කෑඳැත්තිය විසින් පැටවුන් බිහිකොට පෝෂණය කළ පසු කෑඳැත්තා විසින් ලාටු කඩා එළියට පැමිණීමට ඉඩ සලසනු ලැබේ. යම් ලෙසකින් යමෙකු විසින් එම කාලය තුළ කෑඳත්තා මරනු ලැබුවහොත් කෑදැත්තියට සහ පැටවුනට බෙනය තුළ දී ම මරණයට පත්වීමට සිදු වේ. එබැවින් ලක්දිව වැසියෝ එම කාලය තුළ කෑඳෑත්තන් නොමැරීමට වග බලා ගත්හ. සත්ත්ව ලෝකයේ පවා අම්මාවරු මෙසේ තම ප්‍රාණයෙන් පවා පුදුම කැපකිරීම් කරති.

පෙරුම් පුරනා බෝසතුන් ගැන අසා ඇති ඔබ මේ ගැනත් සිතන්න. සැමියා ඇතුළු දරුවන්ගේ කුසගිනි නිවන, රුහිරු කිරි කර දෙන අම්මා දාන පාරමිතාව සපුරන්නියක් නො වන්නී ද?

පතිභක්තියෙන් මෙන් ම දරුවන් කෙරෙහි ළබැඳීයාවෙන් වරදින් මිදී, කරුණා දියදහරින් සුජාත පුතුන් බිහි කරන අම්මාගේ සීලය, සීල පාරමිතාවක් නො වේ ද?

දරුවන් සිහි කොට නෙක නෙක ආශාවන් අත්හළ අම්මා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරුදු පුහුණු කරන්නියක මෙන් ම දරුවන්ගේ නැණගුණ වඩනා රිසියෙන් හරිමඟ දක්වන ඇය ප්‍රඥා පාරමිතාව පුරන්නියක යැයි කීමට බුදුබණ පමණ නො වේ ද? දුක් කන්දරාවන් ඉදිරියේ නො සැලී සිටිනා ඇය වීර්ය පාරමිතාව පුරන්නියක වන අතර, අවමන්, බැණුම්, ගැරහුම් හදවත ඇතුළතින් දරා කෝප නො වන, අම්මාගේ ක්ෂාන්ති පාරමිතාව දරුවාට නොවැටහෙන්නේ කුමක් නිසා ද?

නිබොරු බස් හා අව්‍යාජ සිනහවෙන් දරුවන් සිත් සනසනා ඇය සත්‍ය පාරමිතාවට හුරු වූ උත්තමාවියකි.

දරුවන් සිය සවියෙන් ගෙවන ජීවිතයට පා තබන තුරු මිය නො යනු රිසි ඇය අධිෂ්ඨාන පාරමිතාව පුරන්නියක් නො වේ ද?

මෙත් සිත් නිබඳ පතුරුවන ඇය මෛත්‍රී පාරමිතාව උරුම කොට ගත් තැනැත්තියක මෙන් ම තම දුක සැප දෙකෙහි අකම්ප්‍ය ව මැදහත් සිතින් සිටිනා ඇය උපේක්ෂා පාරමිතාව පුරන්නියක නො වේ ද?

මෙම සියලු විමති අම්මාගේ ගුණ කඳ සිතන කාහටත්, කවදත් මතුවන හැඟීම් වන බැවින් ‘අම්මා’ නම් නිවසකට බුදුවරයෙක් ම ය. එබැවින් සුජාත දරුවන් විසින් තම අම්මා දෙවොලක්, වෙහෙරක් සේ පූජනීයත්වයෙන් රැකීම පරම යුතුකම ය.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]