[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින් පුරන පින් වැඩෙන අසිරිමත් වස්සානය

පින් පුරන පින් වැඩෙන අසිරිමත් වස්සානය

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ, අබෞද්ධ හැම දෙනාට ම අතිශය වැදගත් පොහොය දිනයකි.

බෞද්ධයන්ට බුදු සිරිත හා බෞද්ධ සංස්කෘතිය සම්බන්ධ සිදුවීම් නිසා මෙම පොහොය වැදගත් වන අතර බෞද්ධ, අබෞද්ධ, දේව බැතිමතුන්ට විවිධ දෙවිවරුන් (තම තමන් අදහන) සම්බන්ධ පෙරහර උත්සව පවත්වන කාල පරිච්ඡේදයක් නිසා ඇසළ පෝය සහ ඇසළ මාසය උත්කර්ෂවත් වකවානුවක් බවට පත්ව තිබේ.

මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසුව ලක්දිව සඟ සසුන ආරම්භ වූ අතර, මිහිඳු හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ හැටදෙනමක් මිහින්තලා පුදබිමේ දී පළමුවෙන් වස් එළඹුණු පොහොය දිනය වූයේ ද ඇසළ පොහෝ දිනය යි.

මේ හැරෙන්නට දෙවියන් සම්බන්ධයෙන් බුද්ධ කාලයට පෙර පටන් ම භාරතයේ ඇසළ මාසය තුළ විවිධ උත්සව, අභිචාර පුද පූජාවන් පැවැත්වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. වර්තමානයේ ද ලංකාවේ සෑම දේවාලයක ම පාහේ දෙවියන් උදෙසා පෙරහර, පුද පූජා, සැණකෙළි මේ ඇසළ මාසය පුරා පැවැත්වේ. මේ අනුව බොහෝ දෙනකුගේ අවධානය යොමුවන උත්සව හා සැණකෙළි පැවැත්වෙන, පිනට දහමට යොමුවන කාල පරිච්ඡේදයකි.

ඉහත දැක්වූ වැදගත් සිදුවීම් අතර බෞද්ධයන්ට බොහෝ වැදගත් වන කරුණක් නම් ඇසළ පොහොයෙන් ආරම්භ වන වස් සමයයි.

බුද්ධත්වයෙන් පසුව එළඹෙන පළමු වස් කාලය තුළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළහ. නමුත් භික්ෂූන් වහන්සේට එවැනි නියමනයක් ලැබුණේ නැත. භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පළමු අවවාදය වූ “‍චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය”‍ (බොහෝ දෙනාගේ හිත හිතසුව සඳහා දහම් චාරිකාවෙහි හැසිරෙන්න) අනුව දහම් දෙසමින් ගම් නියම්ගම් සහ නගරවල වර්ෂය පුරාම සංචාරය කළහ. ඇසළ මාසයෙන් ආරම්භ ව වස් මාසය දක්වා ම පැතිරෙන වැසි සමය තුළ ද බුදු හිමියන්ගේ ශ්‍රාවකයෝ සංචාරයෙහි යෙදුණහ. මේ පිළිවෙත එදා භාරතීය සමාජයට නුපුරුදු දෙයක් වූ බව පෙනේ. වැසි සමය මිනිසා පමණක් නොව සතා සීපාවා ද, පක්ෂීන් ද තම තමන්ගේ නිවෙස්වලට, වාසස්ථානවලට වී සිටියහ. මේ නිසා බෞද්ධ භික්ෂූන්ගේ චාරිකාවෙහි යෙදීම අන්‍ය ආගමිකයන්ගේත්, පොදු ජනයාගේත් දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඔවුන්ගේ අදහස වූයේ බෞද්ධ ශ්‍රාවකයන් වැසි කාලය තුළ පොළොවෙන් මතුවන තෘණ පැලැටි, නව දලු, කෘමි සතුන් පාගමින්, මඩිමින් ඇවිදින බව ය. එය පාපයක් බව ඔවුහු ප්‍රකාශ කළහ. මෙම මහජන විරෝධතාවලට සවන්දුන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වස් ශික්‍ෂා පදය පැනවූහ. ‍“අනුජානාමී භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං”‍ "මහණෙනි, මම වස් කාලය තුළ වස් වසා වැඩ වෙසෙන ලෙස අනුදකිමි" එතැන් සිට උපසම්පන්න භික්ෂූන් වහන්සේ වස් කාලය තුළ වස් ශික්ෂා ශික්ෂාපද ද සමාදන් ව සෙනසුනක ස්ථිර වාසය ආරම්භ කළහ. සංචාරක ජීවිතය වස් කාලය තුළ නතර විය.

ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වූයේ වස් කාලය භික්ෂූන් වහන්සේ සහ ගිහි දායක දායිකාවන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ගත කළ යුතු ය යන කාරණාව පිළිබඳ ව ය. වස් කාලය නිකරුණේ ගත නොවිය යුතු ය. මෙම කාලය ආධ්‍යාත්මික දියුණුව සඳහා යොදාගත යුතු ය. භික්ෂූන් වහන්සේට මෙම කාලය තුළ දී බණ භාවනා වඩමින් මඟඵල ලබා ගැනීම සඳහා උත්සාහ කළ යුතු බව බුදුන් වහන්සේගේ අනුශාසනාව විය. ඒ අනුව ඇසළ පොහොය උදාවත් ම බුදුන් වහන්සේ හමුවට එන භික්ෂූහු තම තමන්ගේ චරිත්‍රානුකූල ව භාවනා වැඩීමට කමටහන් ගෙන ඈත වනගත ප්‍රදේශ කරා වැඩමවූහ. ඈත පිටිසරබද පළාත්වල වනාන්තර, ආරණ්‍ය සෙනසුන්, ශුන්‍යාගාර මේ භික්ෂූන්ගේ සෙනසුන් බවට පත්විය. එදා බුදුන් දවස වර්ෂා කාලය එළඹෙත් ම මගධයේ මං මාවත් කසාවතින් බැබළුන බව පොතපතෙහි සඳහන් වේ. ඒ බණ භාවනා වැඩීම සඳහා සෙනසුන් බලා වැඩමවන භික්ෂූන්ගේ දර්ශනයෙනි.

මෙසේ වඩින භික්‍ෂූන් වහන්සේට ඒ ඒ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය පහසුකම් සලසා දීමට මහත් කැමැත්තෙන් පෙළගැසී සිටියහ. තම ගම් බිම්වලට සමීප වනාන්තර, ආරණ්‍ය වැනි විවේක ස්ථානයන්හි ආරාම, සෙනසුන් පිළියෙළ කර භික්ෂූන් වහන්සේට වාසස්ථාන සපයා දුන්හ. එමෙන් ම දන් පැන් පිළිගැන්වූහ. මෙසේ භාවනායෝගී භික්ෂූන් වහන්සේට අවශ්‍ය සිව්පසය ලබා දීමෙන් මේ ජනතාව බොහෝ පින් රැස් කර ගත්හ.

භික්‍ෂූන් වහන්සේ ද වැසි සාර මාසය තුළ තම තමන් ලබා ගත් භාවනා උපදෙස් අනුව භාවනා වඩා මාර්ගඵල අවබෝධයෙන් තම ආධ්‍යාත්ම දියුණුව සාක්ෂාත් කර ගත්හ. මේ අනුව වස් සමය පැවිදි ගිහි දෙපාර්ශවයට ම පින් කුසල් වඩා තමන්ගේ ජීවිත ආධ්‍යාත්මික වශයෙන් සාර්ථක කර ගැනීම සඳහා උදව් වන කාල පරිච්ඡේදයක් බවට පත්විය.

වර්තමානය වන විට අතිශය සංකීර්ණ සමාජ පරිසරයක් නිර්මාණය වී තිබේ. ගිහි පැවිදි දෙපාර්ශ්වය ම අතිශය කාර්යබහුල ය. අපේක්ෂාවන් බහුල ජීවිත ගත කරති. බොහෝ අපේක්ෂාවන් ලෞකික ය. බොහෝ විට ජීවිතයට අනවශ්‍ය දේ අවශ්‍යතාවන් බවටත්, අවශ්‍ය දේ අත්‍යවශ්‍යතාවන් බවටත් පත්ව තිබේ. මේ වන විට වෙළඳපොළ ආර්ථිකය දැඩි ලෙස ජීවිත ආක්‍රමණය කරමින් සිටී. බලපෑම් එල්ල කරමින් සිටී. මෙම අසහනකාරී ජීවිත

රටාවෙන් ගැලවීමට නොහැකි ව බොහෝ දෙනා අතෘප්තිමත්, අසහනකාරී ජීවිත ගත කරති.

මෙම ව්‍යසනයෙන් මිදීමට නම් අනිවාර්යයෙන් ම ධර්මානුකූල දිවිපැවැත්ම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. කරණීය මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි සරල සැහැල්ලු‍ දිවිපෙවෙත ඉතා වැදගත් ය. අපේක්ෂාවන් අඩු, පහසුවෙන් පෝෂණය කළ හැකි ජීවිතවල සතුට නිරතුරුව ම රඳා පවතින්නේ ය.

එළඹෙන වස් කාලය මෙම පරිවර්තනය සඳහා සුදුසු ම කාලයයි . වස් කාලය යනු වසරේ පුණ්‍ය කාලය යි. දහමේ දැක්වෙන අටමහා පින්කම්වල නිරත විය හැකි කාලය වස් කාලය යි. මේ වකවානුව තුළ දිවයිනේ බොහෝ විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය වේ. බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා, දාන පින්කම්, සීල භාවනා වැඩසටහන් ආදී වශයෙනි. වෙන දිනවල නිරතවන දෛනික කටයුතු නවතා මේ කාලය තුළ තම තමන්ගේ විහාරස්ථානවලට සම්බන්ධ වී ආගමික ජීවිතය සපුරා ගැනීමට සෑම දෙනා ම උනන්දු විය යුතු ය.

මේ අතර භික්ෂූන් වහන්සේට ද බණ භාවනා වඩා මේ කාලය තුළ දී තම ආධ්‍යාත්ම ගවේෂණය සපුරා ගත හැකි වනු ඇත. එමඟින් මානසික දියුණුව උදා කර ගැනීමේ අවස්ථාව උදා වේ.

“අජ්ජේව කිච්චං ආතප්පං”‍ අද කළ යුතු දේ අද ම කරන්න යන බුදු වදන සිහියට නඟාගෙන කටයුතු කළහොත් වස් සමය කාගේත් ජීවිතවල අතිශය වටිනාම කාල පරිච්ඡේදය බවට පත්වනු ඇත.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]