ඉතිහාසයේ අභිමානය කියන කඳුරුගොඩ වෙහෙර වරුණ

ඉතිහාසයේ අභිමානය කියන කඳුරුගොඩ වෙහෙර වරුණ

යාපනය ප්‍රදේශයේ ඉතාමත් වැදගත් පෞරාණික පුදබිමක් ලෙසින් කඳුරුගොඩ විහාරය හඳුන්වා දිය හැකි ය. මෙම විහාරය පිහිටියේ චුන්නාකම්, මානිපායි පාරේ චුන්නාකම්හි සිට කිලෝමීටර් තුනක් පමණ දුරකිනි.

යාපනය ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම මානව ජනාවාසයක් ලෙස පිළිගැනීමක් තිබී ඇතැයි විශ්වාසයක් පවතී. එහෙයින් වර්තමාන යාපනය ප්‍රදේශයේ වැදගත් ම පුරාවිද්‍යා භූමියකි. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කරන ලද්දේ ද යාපනය ප්‍රදේශයට යි. ශ්‍රී ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් නැවත පැතිර යද්දී යාපනයේ ද බෞද්ධ සංස්කෘතික පිබිදීමක් ඇති වූ බව ද සඳහන් ය. ඒ අනුව කඳුරුගොඩ විහාරයේ ඉතිහාසය ද අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා ම දිව යන බැව් විශ්වාසයක් පවතී. ඒ වගේ ම මෙම විහාරය මහනුවර රාජධානි සමය වන තුරු ද ඉතා ප්‍රකට ම යාපන දිස්ත්‍රික්කයේ තිබූ පුදබිමක් බව ද සැලකේ. මහාවංශයට අනුව දේවානම්පියතිස්ස රජු විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිට වූ බවත්, ඉන් එක් ස්ථානයක් මෙම කඳුරුගොඩ විහාරය බවත් සඳහන් වෙයි.

අනුරාධපුර යුගයේ හතරවැනි කාශ්‍යප රජු විසින් කරවන ලද අත්තානි කණු ලිපියක ද මෙම විහාරස්ථානය පිළිබඳ තොරතුරු දක්වා තිබේ. රජු විසින් කඳුරුගොඩ විහාරයට ලබා දෙන ලද ප්‍රදානයක් පිළිබඳව ද විස්තරයක් සඳහන් කොට ඇත. මෙම ශිලා ලේඛන සාක්ෂිය අනුව කඳුරුගොඩ විහාරය, එකල හතරවැනි කාශ්‍යප රජුගේ පාලනයේ පැවති ප්‍රදේශයට අයත් ස්ථානයක් බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මීට අමතර ව පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදි රජවරු ද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බව ද පැවසේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශි‍්‍ර මහා බෝධි අංකුරය වැඩම කරද්දී වැඩම කළ බව සඳහන් වන රහතන් වහන්සේ හැට නමක් වැඩ සිට අපවත් වූ බව සඳහන් වන විහාරයක් යාපනයේ යැයි ද සඳහන් ය. ඒ කඳුරුගොඩ විහාරය යි.

මෙම භූමියේ විශේෂත්වය වන්නේ ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක දක්නට නොමැති ආකාරයෙන් එකම ආකෘතියට විවිධ ප්‍රමාණයේ කුඩා දාගැබ් රාශියක් එක ළඟ ගොඩනඟා තිබීමයි. එහි දාගැබ් හැටක් යැයි ද සඳහන් ය.

මෙම භුමියේ වැඩ සිටි රහතන් වහන්සේට දානයට පිරිනැමූ යම් වෑංජනයක් විෂවීමෙන් හැට නම වහන්සේ අපවත් වූ බවට ද ජනප්‍රවාදයක් පවතී. අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ධාතු නිදන් කොට තැනු දාගැබ් බැව් ද විශ්වාසයක් පවතී.

මෙම භූමියේ කළ කැනීම්වල දී අඩි 23ක පමණ විෂ්කම්භය ඇති දාගැබක්, අඩි 6 - 12 පමණ විෂ්කම්භය ඇති විවිධ ප්‍රමාණයේ දාගැබ් හා දාගැබ් හි පාදම් රාශියක් සොයා ගත් බව ද සඳහන් ය. මෙහි ඇති විශාල දාගැබ වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්නට ඇති බවත්, අනෙක් කුඩා දාගැබ් රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව දාගැබ්වල ප්‍රමාණය තීරණය කරන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. උතුරු අර්ධද්වීපයේ “පුවන්ගු දිවයින” හෙවත් පුන්කුඩුතිව් දූපතේ වැඩ සිටි රහතන් වහන්සේ්ගේ ධාතුන් වහන්සේ තැම්පත් කොට ඇති බවට ද විශ්වාස පවතී.

කඳුුරුගොඩ විහාරයේ කළ කැණීම්වල දි විහාර ගෙයක නටබුන්, බුදුපිළිමයන් හි කුඩා කොටස් ද පැරැණි කාසි වර්ග රැසක්, ද හමු වී ඇත. මේ අතරේ ඉතා අලංකාර නිර්මාණයක් වූ බුදු පිළිම ශීර්ෂයක් ද තවත් බුදුපිළිම කීපයක කොටස් ද හමු වී ඇත. මෙම පිළිම අවශේෂ දැනට යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මීට අමතරව තවත් නොයෙක් දේ නටබුන් වශයෙන් ලැබී ඇත.

විහාරයට දෙන ලද ප්‍රදානයක් ගැන සඳහන් කර ඇති ක්‍රිස්තු වර්ෂ නව වන සියවසට අයත් වන ටැම් ශිලා ලිපියක කොටසක් ද කඳුරුගොඩ විාහර පරිශ්‍රයෙන් හමුවී ඇත. ක්‍රිස්තු වර්ෂ නව වැනි සියවසට අයත් සිංහල අකුරින් ලියන ලද එම ශිලා ලිපිය හතරවැනි කාශ්‍යප රජුගේ ප්‍රදානයක් ලෙස ද සැලකේ. ඒ අනුව මෙම කඳුරුගොඩ විහාරය ක්‍රි.ව. දසවන සියවස වන තුරු ඉතා දියුණු තත්ත්වයක් තිබුණු බව ද සඳහන් ය.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් දුර්වල තැනකට පත්ව යාපනය ප්‍රදේශය බෞද්ධ නොවන පාලකයන් අතට පත්වීමෙන් පසු යාපනය පාලනය කරමින් සිටි දෙවන සංගිලි නමැති පාලකයා කඳුරුගොඩ විහාරය විනාශ කළ බව ද සඳහන් ය. පසුව මෙම ප්‍රදේශය පෘතුගීසින් අතට පත්වීම නිසා විහාරය නටබුන් බවට පත් වූ බව කියැවේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ දී උන්වහන්සේ මෙම විහාරස්ථානයට වැඩම කොට සමවත් සුවයෙන් ගත කළ බව ද ජනප්‍රවාදයක් පවතී.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]