අභිමානවත් හෙළ සංස්කෘතියේ සමාරම්භය

අභිමානවත් හෙළ සංස්කෘතියේ සමාරම්භය

දුමින්දාගමනයෙන් දායාද වූ කලා ශිල්ප ඇතුළු බොහෝ නිමැවුම් සමඟින් අපේ රට කො තරම් දියුණු තත්ත්වයක පැවතියේ ද යන්නට අනුරාධපුර, පොලොන්නරු ආදී බොහෝ කාලවකවානු මනාව සාක්ෂි සපයයි

අප තථාගත බුදුරජාණන් වහන්සේගේ නිර්මල ථේරවාදී බුදුදහමේ පණිවුඩය ශ්‍රී ලංකා ද්වීපයට ලැබෙන්නේ උතුම් පොසොන් පුන් පොහෝ දිනක බව අපි හොඳින් දනිමු. නව සංස්කෘතික උදාව ලෙස සැලකෙන මහින්දාගමනය තුළින් අප රට නව මාවතකට යොමු වූ අතර, රටේ පාලකයාගේ පටන් රටවැසියෝ ද මෙම නව දහම වැළඳ ගනිමින් ක්‍රියා කළහ.

එහි ප්‍රතිඵල අතීතයෙහි ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය යන ගෞරව නාමයන්ගෙන් හඳුන්වනු ලැබූහ. අද ද මහින්දාගමනයෙන් ලද පන්නරය ආදර්ශයට ගෙන ක්‍රියා කිරීම තුළින් අප ලක් මාතාව ඉහළට ඔසවා තැබීමේ හැකියාව පවතින බව නම් නොඅනුමාන ය.

තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස නව රට සසුන් පිහිට වූ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම “තම්බපණ්ණිය” යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ ලංකා ද්වීපයට වැඩම කිරීමේ හැකියාව ලැබුණි. ධර්මාශෝක මහ නිරිඳුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ගමන ඉතා සංවිධිත ලෙස සිදු කිරීමට පියවර ගත් මිහිඳු මාහිමියන් වේදිසාවේ සිට මෙරට භාෂාව හා සංස්කෘතික ලක්ෂණ පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගනිමින් ක්‍රියා කරන්නට වූහ. ඒ අනුව උතුම් පොසොන් පුන් පොහෝ දින ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස සමඟ සෘද්ධියෙන් මිහින්තලාවේ අම්බස්තලයට වැඩම කළහ. ඒ වන විට දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස මුව දඩයමේ ගොස් සිටි අතර, මහ රජතුමා මුවකු පසු පස ලුහුබඳිමින් සිටියේ ය. “තිස්ස තිස්ස” යන ආමන්ත්‍රණයෙන් තිගැස්සී වටපිට බැලූ රජුට දැක ගත හැකි වූයේ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම යි.

“සමණා මයං මහා රාජ - ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා”

මෙම ගාථා පාඨය සමඟින් තමන් ඇතුළු පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස ඒ මඟ ම ගමන් කරන්නට වූහ. “චුල්ලහත්ථි පදෝපම” සූත්‍රයෙන් ඇරඹුණු ධර්ම දේශනා කිරීම “පේත වත්ථු - විමාන වත්ථු” ලෙස විවිධ ස්වරූපයෙන් සිදු වූ අතර, ඒ නිසා ම බොහෝ පිරිසක් දිනෙන් දින බුදු දහමට අනුගත වූ බව දැක්වේ. මෙලෙස ශීඝ්‍ර ව ව්‍යාප්ත වූ බුදු දහම මෙරට ප්‍රතිෂ්ඨාපනය වූයේ භණ්ඩුක උපාසකගේ පැවිද්දෙන් හා සුමන සාමණේරයන්ගේ උපසම්පදාවෙනි. ක්‍රි.ව.3 වැනි ශතවර්ෂයේ දී මෙරටට බුදුදහමෙහි පණිවුඩය ලැබීමෙන් අනතුරුව සියලු අංශයන් ඔස්සේ නව මාවතකට යොමු වූ බව පැහැදිලි වන්නකි.

බුදු දහමේ පන්නරය ලැබීමෙන් පසුව නව සංස්කෘතික ලක්ෂණ සමඟින් ශ්‍රී ලංකාද්වීපය ඉදිරියට ගමන් කරන්නට යෙදුණු බව දීපවංශය, මහාවංශය වැනි හෙළ සාහිත්‍යය දෙස බැලීමෙන් පැහැදිලි වනු ඇත. විශේෂයෙන් විවිධ ඇදහිලි හා විශ්වාස පසුපස යමින් සිටි මෙරට ජනතාව බුදුදහම වැළඳ ගැනීමෙන් පසු ව ශිෂ්ට සම්පන්න අයුරින් ක්‍රියා කරන නිවැරැදි දැක්මකින් ඉදිරියට ගිය ජාතියක් බවට පත්වූහ.

“ගමයි පන්සලයි - වැවයි දාගැබයි
කහ සිවුරයි - කෙත් යායයි”

යන උදාර සංකල්පය ඔස්සේ රාජ්‍ය පාලකයාගේ පටන් සියලු පාලකයින් සංස්කෘතික වශයෙන් නව මාවතකට, කාලයකට පියවර තැබීමෙන් පැහැදිලි වන්නේ එදා අපේ රටේ පැවති ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක් තුළම පැවති ප්‍රබල දියුණුවයි. කෘෂිකර්මාන්තය මුල් කර ගත් නව ආර්ථිකයකට උරුමකම් කියූ අප ලක් මාතාව පෙරදිග ධාන්‍යාගාරය වූයේ මේ නිසාවෙනි.

මිහිඳු මාහිමියන් වැඩම කිරීමෙන් පසු තවදුරටත් ශාසනික වශයෙන් පසුකාලීන ව දුමින්දාගමනය ද සිදු විය. ඒ තුළින් බෝධි වන්දනාව ප්‍රචලිත වූ අතර, ශ්‍රී ලංකාව ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට ද පත්වූයේ මේ නිසා බව අපි හොඳින් දනිමු. එපමණක් නොව සාහිත්‍ය අතින් ද විශාල දියුණුවක් ලැබීය.

මහා අට්ඨ කතා, මහාපච්චරිය අට්ඨ කතා, කුරුන්දි අට්ඨ කතා, සංඛේප අට්ඨ කතා, අන්ද අට්ඨ කතා ආදී සිංහල (හෙළ) භාෂාව මුල් කර ගත් අටුවා ලියූ මිහිඳු මාහිමියන් සෑම ක්ෂේත්‍රයක් ම බුදු දහමේ පන්නරය ඔස්සේ ඉදිරියට ගෙන ගිය අතර, දුමින්දාගමනයත් සමඟින් කලා ශිල්ප ආදී බොහෝ නිර්මාණ සමගින් අපේ රට කො තරම් දියුණු තත්ත්වයක පැවතියේ ද යන්න අනුරාධපුර, පොලොන්නරු ආදී බොහෝ කාලවකවානු මනාව සාක්ෂි සපයයි.

අතීතය මෙලෙස පැවතිය ද නූතනය වනවිට මේ උපන් මව්බිම පිළිබඳ රටවැසි අප හට ආඩම්බරයෙන් කතා කිරීමට නොහැකිවීම අවාසනාවකි. එයට බොහෝ හේතුසාධක පවතින අතර, විශේෂයෙන් නිදහසින් පසු මෙරට පාලනය කළ සියලු දෙනා මෙයට වගකිව යුතු ය. ලෝකයට ම කන්න දෙන්න තරම් ශක්තියක් වූ අපේ රට අද වන විට ලෝකයාගෙන් සිඟමන් අයදින තත්ත්වයට පත්වීම කොතරම් අවාසනාවක් ද? එයින් අදටත් දුක්ගැහැට විඳින්නේ ශ්‍රී ලාංකේය ජනතාව යි.

මෙම නිසා මහින්දාගමනය එක්දිනකට පමණක් සීමා නොකොට මිහිඳු මාහිමියන් පෙන්වා දුන් නිවැරැදි චින්තනය ඔස්සේ ගමන් ඇරඹීමේ කාලය උදා වී ඇති බව නොඅනුමාන ය. තෙවරක් බුදුරදුන්ගේ පහස ලද, කිහිප අවස්ථාවක් සම්බුදු සසුනට පූජා කළ මේ ලක් දෙරණ සැබැවින් ම සෞභාග්‍යයේ දේශයයි.

මේ නිසා බුදුදහමින් පෙන්වා දෙන පන්නරය ඔස්සේ නිවැරදි චින්තනය අනුව යමින් මහින්දාගමනය යන්න ගැඹුරින් අධ්‍යයනය කිරීම අතිශයින් ම වැදගත් වනු ඇත. මිහිඳු චින්තනය, බෞද්ධ සංස්කෘතිය ඔස්සේ තථාගත බුදුරදුන්ගේ දහම තුළින් ඔපවත්වීමටත් දිනෙන් දින පිරිහෙමින් පවතින අපගේ සංස්කෘතිය නිවැරැදි මඟකට යොමු කරවීමත්, ආර්ථික වශයෙන් අගාධයට ඇදවැටී ඇති මේ ලක් දෙරණ සෑම අංශයකින් ම ශක්තිමත්භාවයට පත් කිරීමේ හැකියාව මහින්දාගමනය සමරන අප හැම දෙනාම ඒ ඔස්සේ මිහිඳු චින්තනය අර්ථගැන්වීම සඳහා ක්‍රියා කිරීම අතිශයින් වැදගත් සාධකයක් වනු ඇත.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]