ප්‍රත්‍යුපකාර කරන සත්පුරුෂයෙක් වන්න

ප්‍රත්‍යුපකාර කරන සත්පුරුෂයෙක් වන්න

අතීතයේ ලංකාව කොටස් තුනකට බෙදී තිබුණා. ඒ එක් එක් කොටස් පාලනය කරන්නත් රජවරු හිටියා. එක රාජ්‍යයක් රජරට, දෙවන රාජ්‍යය මලය දේශය, තුන්වන රාජ්‍යය රුහුණු රට. මේ රටවල් තුනම ස්වයංපෝෂිත ව තිබුණා. මිනිස්සු සමඟියෙන් ජීවත් වුණා.

රජරට වගේ ම රුහුණුූ රටත් වැව් ජලයෙන් පිරී තිබුණා. බොහෝම සරුවට කෙත්වතු වැවුණා. එක් කාලයක දී ලංකාවට ම නියං සමයක් උදා වෙලා ආහාර හිඟයක් ඇති වුණා. පෙර තිබුණූ කෙත්වතු විනාශ වුණා. ඒ වගේ ම අනෙකුත් අවශ්‍යතාවලත් ඌනතා ඇති වුණා. මිනිසුන් බොහෝම අපහසුවෙන් තමයි මේ කාලයේ ජීවත් වුණේ.

මෙහෙම රට පවතින කාලයේ රුහුණුූ රටේ මාගම කියන නුවර හිටියා කපුටු යුවළක්. කපුටාගේ උපන් ගම වුණේ තිසාවැව. ජීවත් වුණෙත් තිසා වැව අසල තියෙන විශාල කපුටු බෝ ගහක. දවසක් මේ කපුටට හමුවුණා කැවිඩියක්. ඇගේ ගම මණිනාග දිවයින. ඉතින් දෙන්නා පෙමින් වෙලිලා එක වහලක් යටට ආවා. අඹුසැමියන් ලෙස ආදරයෙන් මෙහෙම ජීවත් වෙන්න පටන් ගත්තා. කපුටා තමන්ගේ බිරිඳට කෑම බීමවලින් කිසිම අඩුවක් කළේ නෑ. හොඳට සැලකිලි සංග්‍රහ කළා. හැබැයි මෙයාගේ එක දුර්වලකමක් තිබුණා. තමන්ගේ බිරිඳ ඉන්දැද්දී වෙනත් කැවිඩියන් සමඟ පේ‍්‍රමයෙන් වෙළෙනවා. දවසක් මේ හොර වැඩේ තමන්ගේ බිරිඳට අහුවෙලා දෙන්නා බොහෝම තදට බහින් බස් වුණා. කැවිඩිය බොහෝම කේන්තියෙන් කපුටා අත්හැර දාලා උපන් ගම වුණු මණිනාග දිවයිනට යන්න ගියා. කපුටාත් දවස් දෙකක් විතර යනකම් කේන්තියෙන් ඇය ගැන හොයා බැලුවේ නෑ. හැබැයි දවස් දෙක තුනක් ගියාට පස්සේ එයාට දැනුණා. තමන්ගේ බිරිඳ තමන්ට කළ උපකාර, ඇගේ ගුණ එහෙමත් මතක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ කපුටාට බොහෝ ම සිත් වේදනයි. ඒ වගේම ශෝකයෙන් පිරී ඉතිරී ගියා. කොහොම හරි ඇය ආයෙත් ගෙන්නා ගෙන එන්න ඕන කියලා සිතා ගෙන ගමනට පිටත් වුණා.

පියාසර කරමින් යන කොට බොහෝ ම තදින් කුසගින්න දැනුණා. ගස්වැල්වල කෑමට යමක් හොයා ගන්න බැරි තරම් විනාශයට පත්වෙලා. ඉතින් තවත් ටිකක් අපහසුවෙන් ම පියාඹලා යන කොට දකින්න ලැබුණා පුංචි විහාරයක්. සංඝයා වහන්සේ දහවල් දානය වළඳලා දාන ශාලාවේ වතාවත් කරන හැටිත් දකින්න ලැබුණා. මේ කපුටා කල්පනා කළා මේ විහාරයේ ඉන්න අයට ඇහෙන්න මගේ කුසගින්න ගැන කියන්න ඕන කියා තීරණය කරලා කියා සිටියා.

තමන් ව වියළන්නට ශෝකය තරම් බලවත් දෙයක් ලෝකයේ තවත් ඇත්තේ නෑ. ගමන තරම් ආපදා ගෙන දෙන තවත් යමක් නෑ. තෘෂ්ණාව තරම් ලජ්ජා නැති දෙයක් තවත් නෑ. බඩගින්නට වඩා දුකක් තවත් ඇත්තේ නෑ. මේ සියල්ලට ම මම පත් වුණා. ස්වාමීනි, මම බඩගින්නෙන් පෙළෙමි. නුඹ වහන්සේ දානයේ විපාක දන්නවා. ඒ නිසායි මෙතැනට ආවේ’යි කිව්වා.

මේ විහාරයේ නායක හාමුදුරුවන්ට කපුටන්ගේ බහ තේරෙනවා. කියන ඔක්කොම හොඳින් අහගෙන ඉඳලා ‘විහාරයේ සාමණේර හිමිනමකට කතා කරලා තිර රෙදි කැබැල්ලක් ගෙන ගිතෙල්වල පොඟවලා, ගිනි රස්නයෙන් මදක් රත් කරලා කපුටාට කන්න දුන්නා. උගේ කුසගින්න එයින් ම නිවී ගියා. සතුටට පත් කපුටා තමන් යන ගමන ගැනත්, සිදුවී ඇති සියලු දෙයත් තෙරුන් වහන්සේට පැවසුවා. අවසානයේ ගමනට සූදානම් වෙලා කියනවා.

ස්වාමීනි, නැවත එනකොට බැහැ දැකලා යන්න එන්නම්’ යි ආචාර කරලා නැවත පියාසර කරන්න පටන් ගත්තා. මණිනාග දිවයිනට ගිහින් කැවිඩිය සමඟ දවස් කිහිපයක් ගත කරලා ඇය කැඳවාගෙන ආයෙත් රුහුණු රට මාගමට එන්න පිටත් වුණා.

තමන්ට උපකාර කළ ‘තේලිය’ කියන ජනපදයේ ‘මාතුල’ විහාරයට ඇවිත් තමන් සහ කැවිඩිය පැමිණි බව දන්වා සිටියා. තෙරුන් වහන්සේ ඔවුන්ගේ පැමිණීමෙන් සතුටට පත්වෙලා පෙර දී වගේම ගිතෙලින් රත් කළ තිර රෙදි අනුභව කරන්න දුන්නා.

කපුටාත්, කැවිඩියත් බොහෝම සතුටට පත් වෙලා මෙහෙම කියනවා.

‘ස්වාමීනි, මේ විහාරයට පිණ්ඩපාතය බොහෝම අඩුවෙන් ලැබෙන බවක් තමයි පෙනෙන්නේ. හැම දෙනා වහන්සේ ම මෙතැන දුක සේ වාසය කරන්න ඕන නෑ. අප ඉන්නා ප්‍රදේශයේ ආහාරපාන සුලබයි. අප දෙදෙනා නුඹ වහන්සේ හැම දෙනාට ම උපස්ථාන කරන්නම්. අප සමඟ වඩින්න’යි ආරාධනා කළා. නායක තෙරුන් වහන්සේ කපුටාගේ ආරාධනාව විශ්වාසයෙන් භාරගෙන විහාරයේ වැඩ සිටිය විසිපස් නමක් සමඟ ගමනට පිටත් වුණා. මාතුල විහාරයේ ඉඳලා ‘මඤ්ජල’ නම් විහාරයට වැඩම කරන්න ඕන බවත්, ඒ අතර දුර ප්‍රමාණය යොදුන් හතළිස් හතරක් වන බවත් කියා සිටියා. ඉතින් මේ කපුටා සහ කැවිඩිය පෙර ගමන්කරුවන් විදිහට අහසින් ගම්වලට, වීථිවලට පියාඹලා ගිහින් ආහාරපාන සරු තැන්, දන් දෙන සත්පුරුෂයන් හඳුනාගෙන ඇවිත් කියනවා.

‘ස්වාමීනි, මේ මාර්ගයේ වඩින්න දානය වළඳන්න පුළුවන්’යි මේ විදිහට යොදුන් හතළිස් හතර ඉවර වෙනකම්ම පිණ්ඩපාතය පිළිගැන්වීමට කටයුතු කළා. ‘මඤ්ජන’ විහාරයට වැඩමවා ගෙන ගිහින් වස් තුන් මාසය වැඩවාසය කරවා ගත්තා. පෙර සේ ම හැමදාම පිණ්ඩපාතය ඇති නැති තැන් හොයලා බලලා පිණ්ඩාතය හැමදාම සම්පාදනය කළා.

වස් තුන් මාසය අවසානයේ නායක තෙරුන් කපුටා අමතලා කියනවා ‘කපුටාණෙනි, අප සියලු දෙනා නැවතත් මාතුළ විහාරයට වැඩම කරන්න ඕන. අනික අපගේ සමහර භික්ෂූන්ගේ සිවුරු බොහෝ ම පරණයි. භාවිතයට ගන්න බැරි තරම් දිරා ගිහින්.’යි කියා සිටියා. එතකොට කපුටා කියනවා ‘ස්වාමීනි, මහ මුහුද ළඟ පදිංචිවෙලා ඉන්නවා මහෝපාසිකාවක්. ඇය බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි. බොහෝ සිවුරු පිරිකර භික්ෂූන්ට දන් දෙනවා. භික්ෂූන් වැඩම කරන තෙක් ඇය බලා ඉන්නවා. අපි එතැනට යමු. මම මාර්ගය දක්වන්නම්’යි කියලා එතැනට වැඩමවා ගෙන ගියා. උපාසිකාවත් ශ්‍රද්ධාවෙන් පිරී ගිහින් හැම දෙනා වහන්සේට සිවුරු පිරිකර පූජා කර ගත්තා. නායක තෙරුන් ඇතුළු භික්ෂූන් හැම දෙනා වහන්සේ ම කපුටාටත්, කැවිඩියටත් ස්තුති කරලා තමන්ගේ ‘මාතුල’ විහාරයට වැඩිය බවත්, කපුටු යුවළ ආයු කෙළවර තිරිසන් ආත්මයෙන් මිදිලා තව්තිසා දෙව්ලොව උපන් බවත් සඳහන් වන කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

බලන්න පින්වත්නි, කපුටා තිරිසන් ආත්මයේ ඉපදිලා ඉඳලත් තමන්ට කළ සුළු උපකාරයට කෘතගුණ දක්වපු හැටි. තිරිසන් සතුන් පවා කෘතගුණ සැලකීම කරනවා. ප්‍රත්‍යුපකාර කරනවා. දෙමාපියන්, ගුරුවරුන්, තමන්ට අතහිත දුන්න. උදව් උපකාර කළ අය කිසිදාක අමතක කරන්න එපා. ප්‍රත්‍යුපකාර කරන්න. එවිට ඔබගේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයක් සමෘද්ධිමත් වෙනවා. ඒ වගේම ඔබගේ හිත සතුටින් හැම මොහොතක ම පිරී ඉතිරී යනවා.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]