 ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මා හිමි පුදමු
වැලිවිට සෝරත නා හිමි
ක්‍රි.පූ.3 වැනි ශත වර්ෂයේ මගධ දේශාධිපති ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් හා
මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්, භාරත දේශයේ පැවැති තුන්වන ධර්ම
සංගායනාවෙන් පසු අසල්වැසි රටවල් කරා බුදුදහම ප්‍රචාරය කිරීමේ කාර්යය සිදුවිය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මිහිඳු මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කරගත් ඉට්ඨිය, උත්ථිය,
සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස ක්‍රි.පූ. 236 වැන්නේ දී
ලක්දිව මිස්සක පව්වට වැඩම කොට එවකට රාජ්‍ය ගෙනගිය දෙවනපෑතිස් මහ රජතුමා බුදුසසුන
කෙරෙහි පහදවා ගෙන මෙරට ධර්මය ස්ථාපනය කිරීම ආරම්භ විය. මෙය පොසොන් පුර පසළොස්වක්
පොහෝ දිනයේ දී සිදුවිය. මහා මහින්දාගමනය යනුවෙන් වර්තමානයේ දී එය සිහිපත් කරන බෞද්ධ
ජනතාව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් ද කටයුතු කරන අයුරු
විශේෂයෙන් දැකගත හැකි ය. පොහොය දිනයේ දී ප්‍රතිපත්ති පූජාවට යොමු වී ඇති බොහෝ දෙනා
ආමිස පූජා ගනයට වැටෙන මිහිඳු පෙරහර පැවැත්වීම, දන්සල් දීම, කූඩු තැනීම, තොරණ ආදී
අලංකරණ කිරීම ආදී බොහෝ පුද පූජා කිරීම සිදුකරන අයුරු දැකගත හැකි ය.
බුදුදහම ලක්දිවට හඳුන්වාදුන් පොසොන් පොහොය දවසේ ඒ සඳහා මූලික වී කටයුතු කළ මිහිඳු
මා හිමිපාණන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිහිකර උතුම් පොසොන් පුර පසළොස්වක් පොහොය දිනය
ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම අප විසින් නිරන්තරයෙන් සිදුකළ යුතු වන්නේ ය.
ආමිස හා ප්‍රතිපත්ති පූජා යනුවෙන් දැක්වෙන පූජා දෙකම සම්බුද්ධ ශාසනයේ ඉගැන්වීම්
දෙකක් වශයෙන් පෙන්වා දීමට පුළුවන. එහෙත් මෙයින් වඩාත් අග්‍ර වන්නේ ප්‍රතිපත්ති
පූජාවයි. යම් අර්ථයක් හේතු කොට ගෙන තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවාද? එහි අර්ථය
සුළු වශයෙන් හෝ ශ්‍රාවකයාට අත්දකින්නට හැක්කේ ප්‍රතිපත්ති තුළින් පමණි. එසේම බුදු
දහම ප්‍රචාරය කිරීමේ මූලික පරමාර්ථය වූයේ ද, බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරගත් නිවන
සෑම දෙනාට ම ලබා දිය යුතු ය. යන්න පදනම් කරගෙන ය. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය
කරන්නට පෙර ඒ බව දැනගත් දෙවි බඹුන් විසින් මදාරා, පරසතු මල්, සඳුන්සුනු හා මිශ්‍ර
සංගීත තූර්යයන්ගෙන් මහා පූජා පවත්වනු අයුරු දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට
වදාළේ.
න ඛෝ ආනන්ද ඵත්තාවතා තථාගතෝ සක්කතෝ වා හෝති ගරු කකෝවා මානිතෝවා පූජිතෝ වා අපචිතෝ වා
යෝ ඛෝ භික්ඛු වා භික්ඛුනී වා උපාසකා වා උපාසිකාවා ධම්මානුධම්ම පටිපන්නෝ විහරති
සාමිචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානෙති පූජෙති පරමාය
පූජාය යනුවෙනි.
ආනන්දය, මෙතකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන
ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදී කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂු භික්ෂුණී,
උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසෙන් කෙනෙක් ලෝකෝත්තර ධම්මානුධම්ම ප්‍රතිපදාවේ
යෙදෙමින් වාසය කෙරේ නම්, එහි ම වාසය කෙරේ නම්, ඔහු තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ,
ගරු කරන ලද්දේ සිතින් ආදරය කරන ලද්දේ, අභිනන්දනය කරන ලද්දේ හෝ වෙයි. මෙහි
ධම්මානුධම්ම පටිපන්න යනු
යෝ පන තීසු සරණේසු පංචසු සීලේසු
දසසු සීලේසු පරිපුරකාරී හෝති මාසස්ස
අට්ඨ උප්‍යොථෙ කරෝති
යනුවෙන් පෙන්වා දෙන පරිදි යමෙක් තිසරණය, පංචශීලය, දස සීලය සම්පූර්ණ කෙරෙත් ද, මාසයේ
පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙයිද, ඔහු ධම්මානු ධම්ම පටිපන්න නම් වෙයි. බුදුරජාණන්
වහන්සේගේ අනුශාසනා වශයෙන් පවතින
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස
උපසම්පදා සචිත්ත පරියෝදපනං
යන පාඨ තුනෙහි අඩංගු වන්නේ ද එකී ප්‍රතිපත්ති පූජා සිදුකළ යුතු ආකාර යයි. සියලු පව්
නොකිරීම, කුසල් දහමිහි හැසිරීම, සිත පිරිසුදු කිරීම එකී ප්‍රතිපත්ති පූජාවයි.
වරක් වක්කලී තෙරුන් බුදුරජාණන් වහන්සේගේ සිරුර දෙස බලා සිටිමින් සිටි අවස්ථාවේ දී
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
කිං තේ වක්කලී ඉමිනා පූතිකායේන
දිට්ෙඨින යෝ ඛෝ වක්කලී ධම්මං
පස්සතී සෝ මං පස්සතී යෝ මං
පස්සතී සෝ ධම්මං පස්සතී
යනුවෙන් වක්කලීය, මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඇති ඵලය කුමක් ද? යමෙක් ධර්මය දකී
නම් හෙතෙම මාව දකී. යමෙක් මාව දකී නම් හෙතෙමේ ධර්මය දකී. යනුවෙන් දේශනා කළහ. ඒ අනුව
යමෙක් බුදුරජාණන් වහන්සේ දැකිය යුතු වන්නේ එක් ප්‍රතිපත්තියක සිට උන්වහන්සේ විසින්
දේශනා කරන ලද ධර්මය කුමක්දැයි හරියාකාර ව දැකීමෙන් පමණි. එසේ ධර්මය දැකීම ම හුදෙක්
බුදුරජාණන් වහන්සේ දැකීම වන්නේ ය. එසේම වත් පිළිවෙත් පුරණය කිරීම ද, ප්‍රතිපත්ති
පූජාවෙහි තවත් අංගයකි.
වත්තංත පරිපූරෙන්තෝ න සීලං
පරිපුරතී
යනුවෙන් දේශනා කර ඇති පරිදි යමෙක් වත් පිළිවෙත් නිසියාකාර සිදු නොකරන්නේ නම්, ඔහු
පිළිවෙත් නොපුරන්නෙකි. මෙහි වත් පිළිවෙත් යනුවෙන් හඳුන්වන්නේ ද එකිනෙකා කෙරෙහි ගරු
බුහුමන් දැක්වීම, අභිනන්දනා කිරීම එසේම මළුව ඇමදීම, විහාරයේ ඇති පරවූ මල් ඉවත් කොට
පිරිසුදු කිරීම, තමන් ම පරිහරණය කරන ස්ථානයේ වැසිකිළි, කැසිකිළි ආදිය පිරිසුදු
කිරීම, ආදිය ද වත් පිළිවෙත් වේ. ඒවා අනුගමනය කිරීම ද ප්‍රතිපත්ති පූජාවෙහි අංගයන්
ලෙස පෙන්වාදිය හැකි ය. බුදුරදුන් වහන්සේ කල සිටි ධම්මාරාම හිමියන් අමතා දේශනා කළේ ද
සෑම විටම ධම්මානුධම්ම පටිපන්න විය යුතු ය යනුවෙනි.
නහී මහියං මාලා ගන්ධාදිහි පූජං
කරොත්තා මම පූජා කරොන්ති නාම
ධම්මානු ධම්ම පටිපජ්ජන්තා ඒව පන
මං පූජෙන්ති නාම
මල් සුවඳ ආදියෙන් පමණක් මට පුද පූජා පවත්වන්නෝ නියම ලෙසින් මා පුදන්නෝ නොවෙති.
ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නෝ නියම ලෙසින් මාව පුදන්නෝ වෙති. ඒ අනුව මල් සුවඳ
දුමි ආදියෙන් පිදීම පමණක් බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වූවා සේ සැලකිය නොහැකි
ය. යහපත් ධර්මයන්ගේ යෙදීමත්, බුදුන් වහන්සේ පිදීම වන්නේ ය. මේ ආකාරයට ප්‍රතිපත්ති
පූජාවෙහි නිරත විය යුතු යැයි නිරන්තරයෙන් පෙන්වා දී ඇතත් ආමිස පූජාව අත්හළ යුතු
යැයි කිසිවිටෙකත් අදහස් කෙරෙන්නේ නැත. මේ දෙකම එකිනෙකට සමාන්තර ව යන රේල් පීලි
දෙකක් සේ එකකට එකක් සමාන්තර ව යා යුතු ප්‍රතිත්ති දෙකකි. ආමිස පූජාවලින් තොරව
ප්‍රතිපත්ති පූජාව පිරීම ද කළ නොහැකිය. ඉහත සඳහන් කළ පරිදි බුදුගුණ හා උන්වහන්සේ
දේශනා කළ ධර්මය මැනවින් හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති
පූජාවෙන් සිදුවෙන අතර, ඊට අවශ්‍ය කරන යහපත් කායික මානසික පරිසරය උදා කරන්නේ ආමිස
පූජාවෙනි. එම නිසා ම වර්තමානයේ රටත්, ලෝකයත් තමනුත් සුවපත්වීම උදෙසා ආමිසයට වඩා
ප්‍රතිපත්තිය පුරණය කිරීම මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ දී
සියලු දෙනා විසින් සිදු කළ යුතු කාලෝචිත පූජාවක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
- හේමමාලා රන්දුනු |