පොසොන් පුර පසළොස්වක පෝ දා
2025-06-10
ධර්මයෙහි රැකවරණය ලබමු
ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් අමා මෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක්
පුරා දේශනා කොට වදාළ උතුම් අමා ධර්මය ලාංකේය ජන හදවත් ස්පර්ශ කරමින් දැහැමි දිවි
මඟකට මඟ හෙළි කළේ අදවන් පින්බර පොසොන් පුර පසළොස්වක පෝ දිනයක දී ය.
නිරුදක වැලි කතරක් සේ වියළුණ මිනිස් හදවත් එසේ අමා දම් දියෙන් තෙමා මෙත් සිසිල්
ගුණයෙන් ළතෙත් කොට ලොවක පරසිදු පුණ්‍යවන්ත දේශයක්, අභිමානවත් රටක් බවට පරිවර්තනය
කරනු ලැබුවේ අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.
උන්වහන්සේ වෙනුවෙන් ඒ අතීතයේ සිට ම අද දක්වාත් කෘතෝපහාර දක්වන්නට සුවහසක් බොදු
දනන්ගේ ඇපකැපවීම අපි මහත් අගය කොට සලකමු.
කෘත ගුණ දැක්වීම සම්බුදු දහමේ ද ඉතා ඉහළින් අගය කරන අපූර්ව ධර්මතාවකි. එම උතුම්
ගුණාංගයට සැබෑ වටිනාකමක් එක් කළ හැකි වන්නේ අප අනුබුදු මිහිඳු මා හිමි ගුණ කඳ
හඳුනාගෙන, උන්වහන්සේ දේශිත තථාගත ශ්‍රී සද්ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර ගන්නේ නම්
ය.
සැබෑ බුද්ධ වන්දනය ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරදුන් පිදීම බව තථාගත දේශිතයයි. අද අපි
බොහෝ කොට දකින්නේ ප්‍රතිපත්තියට වඩා ආමිෂයට මුල් තැන දෙන ස්වභාවයකි. දොරින් දොර
ඉදිවන දන්සල්, පොසොන් තොරණ, පූජෝපහාර පෙරහර ඈ නොයෙක් පින්කම් ගමින් ගම දොරින් දොර
සංවිධානය වේ. පොසොන් සිරියෙන් අනුරාධපුර, මිහින්තලා පුදබිම් පමණක් නොව ලක්දිව පුරා
වෙහෙර බිම්, මංමාවත් අසිරිමත් වේ. මේ උද්යෝගය අගය කළ යුතු ම ය. ශ්‍රද්ධාව වැඩි
දියුණුවට ආමිෂය අත්‍යවශ්‍ය ම ය. එහෙත් බෞද්ධයා යනු ආමිෂ පූජාවෙන් පමණක් සෑහීමකට
පත්වන්නකු නොවිය යුතු ය.
ආමිෂයෙහි නිරත වෙමින් වෛරයෙන්, ක්‍රෝධයෙන්, මෝහයෙන් අන්තගාමී වනවා නම්, පස් පව්
කරනවා නම්, තණ්හාවේ දාසයකු බවට පත්ව සිටින්නේ නම් මොනතරම් දාන මානාදිය කළත්,
පින්කම් සංවිධානය කළත් ලැබිය යුතු ඵල ලැබෙන්නේ නැත. බෞද්ධයා ලොව දෙස බලන්නේ කුරිරු
ලෙස නොවේ. මෙත් සිතිනි.
එදා මිහිඳු මා හිමියන් අපට හඳුන්වා දුන්නේ ජීවිතයේ ගැඹුරයි. යථාර්ථය යි. බුද්ධියත්,
හදවතත් යා කළ අරුත්බර ජීවන දර්ශනය යි. උන්වහන්සේට කෘත ගුණ දක්වනවා යනු ඒ තුළ ජීවිතය
පැවැත්වීමයි.
අතීත හෙළයා ඒ දහම් මඟ ගියහ. අදත් අපි අභිමානයෙන් උදම් වන අතීත ශ්‍රී විභූතිය කියන
වෙහෙර විහාර, පෙති පිළිම මහා වැව්, ඈ අනේක නිමැවුම් කළේ ඒ දර්ශනය තුළ ජීවත් වෙමිනි.
අනෙකාගේ දුකට, කරදරයට සංවේදී වූ අතීත සමාජයට සාමූහිකත්වය, සංහිඳියාව, පරෝපකාරය ගැන
අලුතෙන් පාඩම් ඉගැන්වීමට ඇවැසි නොවීය.
ගිහියන් උදෙසා උපාසක උපාසිකා යන නාමය මහත් ගෞරවයකි. එය පස් පවින් වැළකී ගෙවන දිවියට
ලැබෙන්නකි. නිලය, ධනය, කීර්තිය මත නොලබන්නකි. තමන් එම උපාසක නාමයට සුදුසු වන්නේ ද
නැද්ද යන්න ගැන නුවණින් විමසා වැරැදි ඇත්නම් නිවැරැදි වීමට උත්සාහ කළ යුතු ය. එවිට
වළාකුළෙන් මිදුණු සඳ සේ බැබළෙන ජීවිතයකට පැමිණිය හැකි ය.
සියලු අකුසල් දුරු කරන්න. කුසලයෙහි ම යෙදෙන්න. සිත දමනය කර ගන්න. මේ සියලු
බුදුවරුන්ගේ අනුශාසනයයි. අර්ථවත් ජීවිතයක, මෙලොවත් පරලොවත් සුඛිත මුදිත වන ජීවිතයක
ඇරඹුම ඒ අනුශාසනාවට අනුව ජීවිතය පැවැත්වීමයි. |