 බාධකය සාධකයක් කර ගනිමින් ජීවිතය දිනමු
බිබිලේ ධම්මසිරි හිමි
අපි නරක දේ හොඳ ලෙස වෙනස් කිරීමට උත්සාහ ගන්නෙමු. අපට අවශ්‍ය වන්නේ යහපත හා අයහපත
යන ද්විත්වයෙන් අවදි වී අප තුළ දැනටමත් විනාශ නොවී පවතින ප්‍රභාශ්වර චිත්තය මතු කර
ගැනීමයි.
ප්‍රභාශ්වර මිදං භික්ඛවේ චිත්තං ආගන්තුකේහි උපක්කිලේසි.....” ආදී වශයෙන් මිනිසාගේ
සිත ප්‍රභාශ්වර බවත්, බැහැරින් එන කෙලෙස් ධර්මයන් හේතුවෙන් සිත කිලිටි වන බවත්
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
ඒ අනුව බොහෝ දෙනා තමන්ට රුචි ලෝකය බැහැරින් සොයා ගැනීමට උත්සාහ දරන අතර, එය ලබා ගත
නොහැකි වූ තැන කනස්සලු වේ. ඒ තුළ ගැටීමක් ද සිදු වේ. කැමැති දෙය ලැබුණු තැන එහි
ඇලීමක් ද සිදු වේ. කැමැති අකැමැති වූ ඒ සියල්ලට අවදි වීම තුළ (සතිමත් වීම) අප තුළ
ඇති ප්‍රභාශ්වර චිත්තය බැබළීමට පටන් ගනී.
වැඩි පිරිසක් ඇබ්බැහි වී සිටින්නේ තම සතුට බාහිරින් සපයා ගැනීමට ය. ඒ නිසා අධීවේගී
ව පි‍්‍රයමනාප වස්තූන් රැස් කිරීමට පටන් ගනිති. ඒ රැස්කරන සියල්ල තුළින් තමන්ට දුක
උපදවන බව ඔවුහු නොදත්හ. පංචකාම සම්පත්තිය හෙවත් සාමිසය ලබා ගැනීම පමණක් සතුටට හේතුව
බව ඔවුහු සිතති. එය මුළාවකි.
තම තමන්ට එල්ල වන බාධක සාධකයක් කොටගෙන එහි ස්වභාවය තේරුම් ගැනීම තුළ සතුට, සහනය උදා
වේ. බාධකය බාධකයක් කර ගැනීම වෙහෙසකරයි. එම බාධකයන් ඉවත් කිරීමට වෑයම් නොකොට එදෙස
සතිමත් ව බලා සිටීම තුළින් එහි ස්වභාවය හඳුනාගත හැකි ය.
“වැල යන පැත්තට මැස්ස ගැසිය යුතු ය” යන ප්‍රකාශයට අනුව අප ස්වභාව ධර්මයට අනුගත විය
යුතු වේ.
“පැමිණි දුක් පැණි රසයි” යන කියමනට අනුව සියලු ම ගැටලු බාධකයන් තම වාසියට හරවා ගත
යුතු ය. ඉන් පාඩමක් උගත යුතු ය. ඒ සඳහා සිහිය, නුවණ, වීර්යය තිබීම අත්‍යවශ්‍ය වේ.
බෝධිසත්වයන් වහන්සේ පාරමී දහම් පරිපූර්ණය කරන අවස්ථාවල දී පැමිණි බාධක බාධාවක් කර
ගත්තේ නැත. උන්වහන්සේ සා අවුරුද්දක් බාධක රැසක් ජය ගත්හ. ඒ සියල්ල අවබෝධ කර ගත්
නිසා සියලු දුක්ඛයන්ගෙන් මිදුණහ. බුද්ධත්වයට පැමිණි පසුව ද බාධා රැසකට මුහුණ දුන්හ.
දුක මත ලෝකය පිහිටා තිබේ. එය එසේ වුවත් දුක ම තමයි බොහෝ දෙනාට නොතේරෙන ධර්මයක් වී
ඇත්තේ. “දුක” සමඟ ගැටෙමින් සැප සොයා යාමට වෙහෙසෙයි. “සබ්බේ සත්තා දුක්ඛා පටික්කුලා,
සබ්බේ සත්තා සුඛ කාමා” සියලු සත්වයන්ගේ ස්වභාවය වී ඇත. මේ ද්වකාමය අවබෝධ කරන තෙක්
අපි සසර දුකෙන් ගැලවීමට අපොහොසත් වන්නෙමු.
දානයේත්, ශීලයේත් හිරවී සිටින බොහෝ සිංහල බෞද්ධයෝ ඉන් එහාට යාමට උත්සාහ නොගනිති.
සබ්බ පාපස්ස අකරණං -
කුසලස්ස උපසම්පදා
යන බුදු වචනයට අනුව සිංහල බෞද්ධයන් පමණක් නොව, අන්‍ය ආගමිකයෝ පවා එම ප්‍රකාශය තුළ
සිටිති. එහෙත් එම ප්‍රතිපදාවෙන් එහා සිංහල බෞද්ධ ශ්‍රාවකයා සිටිය යුතු ය. “සචිත්ත
පරියෝදපනං” කියන තැන අමතක කර දමා ලෙහෙසි, පහසු තැන ම ඔවුහු රැඳී සිටිති.
බුදුදහමේ අවසාන ඉලක්කය කරා ළඟා වීමට නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ශ්‍රාවකයා සිටිය
යුතු ය. එම ප්‍රතිපදාව ප්‍රායෝගික ව අත්දැකිය යුතු ය. ලෝභ, ද්වේෂ, මෝහ යන ප්‍රධාන
අකුසල් මූලයන් යටපත් කරමින් සම්ච්ඡේද වශයෙන් නිරෝදය කිරීම කළ යුතු වේ. එවිට සියලු
බාධක කම්කටොලු අවසන් කළා යැයි සතුටු විය හැකි ය.
මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා සරල ප්‍රතිපදාවක් තුළ සිත හික්මවීම අවශ්‍යය. පළමුවෙන්
එහි මූලික පදනම ශීලය පෙන්වා දී ඇත. ශීලයෙන් ආරම්භ කළ එම ගමන සඳහා සමාධිය වැඩීම
අවශ්‍ය වේ. සමාධියෙන් පරිපූර්ණ වූ විට ප්‍රඥාව වඩා වර්ධනය වේ. මෙසේ හික්මවන බෞද්ධ
ශ්‍රාවකයාට පැමිණි සියලු බාධක බාධාවක් නොවී ඉතා සතුටුදායක ගමනක් කෙළවර හමු වේ. මේ
ගමන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හැඳින්වේ.
බුද්ධ ශාසනයක් තුළ පමණක් කියැවෙන මෙම ගමන් මාර්ගයේ නිවැරැදි ව යන පුද්ගලයාට
හමුවන්නේ නිවනයි. මේ සඳහා වාසනාවන්ත උපතක් හිමි වූ සියලු දෙනා ම සුදුසුකම් ලබති.
සියලු බාධාවන් ඉක්මවීම සඳහා මෙම ගමන් මාර්ගයට මේ මොහොතේ සිට එක්වන ලෙසට පොසොන්
පොහොය නිමිති කර ගෙන ආරාධනා කරමි. |