පොසොන්
සැමරුමට අරුතක් දෙන්න
දිස්ත්‍රික් මාධ්‍ය කාර්යභාර නිලධාරී
අනුරාධපුරය
ෂෙල්ටන් බණ්ඩාර
දහම හරහා ස්වයං විනය ඇති කර ගැනීමේ විලාසය මෙරටට අසමසම ලෙස හඳුන්වා දෙන්නට සමත් වූ
උත්තම සම්ප්‍රාප්තිය වූයේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස මෙරටට වැඩම කිරීම බව සියවස්
ගණනාවක් මුළුල්ලේ ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසගේ මුවග රැව් දෙන වදනකි.
එමෙන් ම එය දහස් සංඛ්‍යාත වූ පොත් පත් හි ලේඛනගත ව පවතී. ඒ නිසාම පොසොන් පොහොයත්, ඒ
හා බැඳුණු ආධ්‍යාත්ම පෝෂණය පිළිබඳ ව වෙන කවරදාටත් වඩා වර්තමානයේ දී සිහිපත් මනසින්
කල්පනා කර කටයුතු කිරීම සමාජ වටිනාකම උසස් කිරීමට හේතු වේ.
පොසොන් පොහොය සංවිධාන කිරීමේ කාර්යයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී අටමස්ථානාධිපති
ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සෑම වසරක ම මතක් කර දෙන්නේ ආධ්‍යාත්මයෙන්
ගිලිහුනු හා සැණකෙළි ස්වරූප ගන්නා අන්දමින් මෙම සැමරුම නොකළ යුතු බවයි . වැරදි
නිවැරැදි කර ගැනීමට පරිසරය සකසන උත්තම පොසොන් දින උත්සවයක් මත්තේ අනේක විධ
අධර්මිෂ්ඨතා උපදින්නේ නම්, එවන් උත්සවයකින් බලාපොරොත්තු වන උත්තම ගුණාංග ගිලිහී
යයි.
1865 තරම් ඈත කාලයක අනුරාධපුරයේ පැවති පොසොන් සැමරුම පිළිබඳ ව එවක අනුරාධපුර පාලනය
කළ සුදු ඒජන්තවරයකු බ්‍රිතාන්‍ය රජයට ලිඛිත ව වාර්තා කර ඇත්තේ, මෙරට ජනතාව තුළ ඉතා
වටිනා ආධ්‍යාත්ම ගුණ වගාවක් , ස්වයං විනයක් පැවැති බව යි. එවක වන්දනාවේ පැමිණි
25000 ක පමණ පිරිස දින ගණනාවක් පූජා භූමි තුළ රැඳී සිටියත් එම ප්‍රදේශවල කිසිදු
අපවිත්‍රතාවක් සිදුකර නොමැති බවත් , පිරිස හැසිරවීමට කිසිදු පොලිස් නිලධාරියකු යොදා
ගැනීමට අවශ්‍ය නොවූ බවත් එම සුදු ඒජන්තවරයා සිය වාර්තාව තුළ සඳහන් කර තිබේ. ඒ බුදු
දහම තුළින් මෙරට ජනයාගේ මනස තුළ වැඩී තිබූ ආධ්‍යාත්මයේ ප්‍රතිඵලය යි . ඔවුන් ඉපැරණි
පූජා ස්ථාන පමණක් නොව පරිසරයට ද වන්දනීය ලෙස සලකා තිබේ.
ස්වයං විනය ගිලිහීම තුළ සංස්කෘතිය හෙවත් මිනිස් ගුණ සහිත හැසිරීම මිය යන්නේ ය.
වර්තමානයේ අපට නිතර අසන්නට ලැබෙන්නේ අසම්මත ලෙස නොමිනිස්කම් මතු ව ආ ක්‍රියාවන්
දාමයකි . එයින් දිගින් දිගට ම මතු වන්නේ සමාජ බිඳ වැටීමේ මාවතකි. ධනාත්මක මානයන්
හීන වීමේ මුහුණුවරකි.
අපි එම උත්තරිතර දිනය සැමරිය යුත්තේ බුදු දහමේ අභිමානය රැකෙන පරිදි බව කුඩා දරුවාගේ
සිට මහලු වියට පැමිණි පිරිස් දක්වා සියලු දෙනා දත මනා ය.
අමිහිරි විපාක ගැන බිඳකුත් නොදන්නා ජනී ජනයා තමා වෙනුවෙන් ම පමණක් අසීමිත ව
වෙහෙසෙද්දී තමන්ගෙන් තවකෙනකුට කිසියම් හානියක් සිදු වේ දැයි කිසිවිටෙක නොසිතන
මානසිකත්වයකින් ජීවත් වේ. සොරකම, වංචාව , දුෂණය, පහරදීම් ,ඝාතන ආදී සියලු දේ වර්ධනය
වන්නේ ඒ හේතුවෙන්. මේ තත්වයන් අසීමිත ව අසන්නට, දකින්නට ලැබෙන අවාසනාවන්ත කාලයක්
අපි ගෙවමින් සිටිමු . සහජීවනය , මනා සහවේදනය මිනිසුන් තුළින් මෙතරම් ගිලිහෙන්නේ ,
උතුම් දහමක් පවතින රටක් තුළ යි. එම දහම මත්තේ සිතමින් මහත් පරිශ්‍රමයකින් සංවිධාන
කෙරෙන පොසොන් උත්සවය සැමරිය යුත්තේ ආධ්‍යත්මය වපුරන්නට අවශ්‍ය සූදානම ළඟා කර ගැනීමට
බව කොයි කෙනා වුව ද සිතුවමනා ය.
සෑම වර්ෂයක ම ලක්ෂ පහළොව ඉක්ම වූ බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙන්නේ පොසොන්
වන්දනාව වෙනුවෙනු යි. එකී ජනතාවගේ පහසුව උදෙසා රාජ්‍ය නිලධාරීන් , ස්වේච්ඡා සංවිධාන
ආදිය එක් ව සිදු කළ යුතු කාර්යයන් රාශියක් පවතී . පූජා ස්ථාන පවිත්‍රකිරීම්, ජල
විදුලි පහසුකම් , කසල බැහැර කිරීමේ ක්‍රමවේද සඳහා සැලසුම්, ප්‍රවාහන පහසුකම් ,
සෞඛ්‍ය පහසුකම් , දන්සල් සංවිධානය , මාර්ග අලුත්වැඩියාව , ආගමික වැඩසටහන් සංවිධානය
ආදි බොහෝ කාර්යයන් සඳහා සිදු කරන කැප කිරීම අපමණ ය. ඒ සඳහා රජයක් වශයෙන් අති විශාල
මුදල් සම්භාරයක් වියදම් කිරීමට ද සිදු වේ.
ඒ නිසාම පොසොන් වන්දනාවේ පැමිණෙන ඔබ මෙම මහා ආනිසංස පින්කමට නිගරු වන ලෙස හැසිරීමට
බිඳක් හෝ නොසිතිය යුතුයි. බුදු දහමේ සුරක්ෂාව උදෙසාත් , රටෙහි නිවැරැදි අභිවෘද්ධිය
උදෙසාත් අදාළ වන්නේ තම තමන්ගේ නිවැරැදි ක්‍රියා බව සිහිපත් කර ගැනීමයි අගනා වන්නේ.
සුදුසු පරිදි නිවැරැදි ක්‍රියා කරන්නේ කෙසේ දැයි, තනි තනි ව පිරිසුදු මනසකින්
සිතන්නේ නම් අපට සාර්ථක කර ගත හැක්කේ පොසොන් පින්කම පමණක් ම නොවේ. මෙරට ආර්ථික
,සංස්කෘතික , පාරිසරික , ආදී සෑම අංශයකින් උසස් රටක් බවට ඔසවා තැබිය හැකියි. “අනු
බුදු දහමින් ලොවම නිවේවා” යන මෙවර පොසොන් උත්සවයේ තේමාව පෙර දැරිව උතුම් පින්කමක්
ලෙස එය සැමරීමට කාටත් සිත් පහළ වේවා! |