[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දේශයක ජීවය සුරකින

දේශයක ජීවය සුරකින සහජීවනය

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත් ම පහසු කාර්යයක් නොවේ. එය මනා බුද්ධිමය හා විචාරශීලී පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදු කළ යුත්තකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළේ ලංකාවට බුදුදහම හඳුන්වාදීමට පෙර පැවති සංස්කෘතිය වටහා ගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත් සිදු නොවුණි.

මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී වැඩ පිළිවෙළ නිසා ම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූ ජනතාව බෝධි වන්දනාවට හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ. මළවුන් ඇදහු අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එයට නව අරුතක් එක් කළහ. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරු පුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරවිධි හුරු පුරුදු වූ ජනතාව බුද්ධිමත් ව සිතීමට හුරු පුරුදුවීමත් සමඟ ම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් නැඹුරු වූ බවයි.

වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි යන සංස්කෘතික සංකල්පය අපගේ ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව මනාව මූර්තිමත් වන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකි ය. බෞද්ධයන් ලෙසත්, ශ්‍රී ලාංකිකයන් ලෙසත් අපි අපට ම අනන්‍ය වූ ආගමික හා ජාතිකත්වයක් ඇත්තෝ වෙමු.

බෞද්ධ ඉගැන්වීම් ඔස්සේ ගොඩනැඟුණු ශ්‍රී ලාංකික අනන්‍යතාව හා සහජීවනය පදනම් කරගෙන සමස්ත ලෝකයාගේ ම ගෞරවාදරයට ලක්වීමට බෞද්ධයාට වාසනාව උදා වුණි. එහෙත් ඊට පටහැනි ව යමින් ජාති, කුල, ආගම්, පක්ෂ, පළාත් වශයෙන් භේද වැපිරීමටත්, මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීමටත් යමකු ක්‍රියා කරන්නේ නම් එය බෞද්ධ ඉගැන්වීම්වලට ප්‍රතිවිරුද්ධ ය. සෑම දෙනකු ම එකම මිනිස් වර්ගයකට අයත් ඒකාකාරී පැවැත්මක් ඇතිව ජීවත්වන පිරිසක් බව වටහාගෙන සමානාත්මතාවෙන් යුතු ව බුද්ධිමත් ව ක්‍රියා කිරීම අන්‍යොන්‍ය යුතුකම් වර්ධනය වීමට හේතු වේ.

විවිධ සංස්කෘතීන්ට අනුව හැඩ ගැසුණු අන්‍ය ජාතීන් හා අන්‍ය ආගමිකයින් වෙසෙන සමාජ වටපිටාවක අපට ජීවත්වීමට සිදුවූයේ යැයි සිතමු. ඔවුන් සමඟ මතවාද, ගැටුම් ඇතිකර ගන්නා තැනැත්තා බුදු දහමෙහි එන සහජීවන ප්‍රතිපත්තියට පිටුපාන්නකු බවට පත් වේ. සමාජයේ එක් කොටසකට පමණක් නොව සියලු දෙනා කෙරෙහි ම අප මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණය පැතිරවිය යුතු ය. වෛරයෙන්, ද්වේෂයෙන් තොර මනසින් සමස්ත සත්ත්ව වර්ගයා ම මා වැනි යැයි සිතමින් මෙත් වැඩීම ද, අනුන්ගේ දුක දැක හදවතේ අනුකම්පා සිතිවිලි ජනිත කර ගැනීම ද, සැප සේ ජීවත් වන පුද්ගලයන් දැක හෝ අසා හෝ ඔවුනට ඊර්ෂ්‍යා නොකොට මොවුහු යහතින් වෙසෙත් යනුවෙන් සතුටු සිත් ඇති කර ගැනීම නම් වූ මුදිතාව ද, සැමවිට ම මධ්‍යස්ථ ව සිතා කටයුතු කිරීම නම් වූ උපේක්ඛාව ද අප මැනවින් පුරුදු පුහුණු කළ යුතු ය.

කෙතෙක් යහතින් ජීවත් වුව ද යමකු ඕනෑම අවස්ථාවක අසරණ භාවයට පත්වීමට ඉඩකඩ ඇත. ඇතැම්විට රෝග පීඩා, ගං වතුර, සුළි සුළං, නායයෑම්, නියඟය ආදී විපත් මෙයට බලපෑ හැකි ය. මෙබඳු විපත් ජනතාවට උදා වන්නේ ජාතියක්, ආගමක්, කුලයක් බලා නොවේ. එබැවින් සෑමවිටක ම එකී භේද නොසලකා අසරණ වූ අයට උපකාර කිරීම ද බුදුදහම ප්‍රායෝගික ව අනුගමනය කිරීමකි.

සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට නම් සියලු ආගම් ඇදහිය යුතු යැයි යමකු අදහස් කළහොත් එය සහමුලින් ම වැරැදි සහගත බව ද අප තේරුම් ගත යුතු ය. සියලුම ආගම් ඇදහීම උමතු ස්වභාවයක් මිස ආගමික සහජීවනය නොවේ.

සහජීවනයේ නියම ලක්ෂණය වන්නේ අන්‍යයන්ගේ ආගම හෝ සිරිත විරිත හෝ තමනුත් අනුගමනය කිරීම නොව ඔවුන්ගේ ආගම ඇදහීමට, ඔවුන්ගේ සිරිත් විරිත් ඔවුන්ට පවත්වා ගෙන යාමට බාධා නොකිරීමයි. උපකාර කිරීමයි. සිංහල බෞද්ධයෝ පෙර සිටම මෙම පිළිවෙත අනුගමනය කළහ. සුහදත්වයෙන් යුතුව අනුගමනය කරන මෙම උතුම් පිළිවෙත සහජීවනයයි.

පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]