[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහින්දාගමනයේ ඓතිහාසික විශ්වසනීයත්වය

මහින්දාගමනයේ ඓතිහාසික විශ්වසනීයත්වය

මිහින්තලයෙන් ඇරඹුණ ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධය කාලය වශයෙන් දෙදහස් තුන්සිය ගණනක් ඉක්ම ගොස් ඇති මුත් එම සිද්ධියේ ඓතිහාසිකත්වය ශ්‍රී ලාංකේය ජන හදවත් තුළින් ගිලිහී ගොස් නැත.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි සාංචියේ දෙවන ස්තූපයේ කළ කැණීම්වලින් හා ඊට කිලෝමීටර් කීපයක් නුදුරින් පිහිටි සෝනාරි හා ආන්ද්‍රේ ස්තූපයන්හි කළ කැණීම්වලින් මතුකර ගත් භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ධාතු මඤ්ජුසාවල ඇති පූර්ව බ්‍රාහ්මී අක්ෂර භාවිත කර ප්‍රාකෘත මාගධී භාෂාවෙන් ලියා ඇති ලේඛන හා ලංකාවේ රජගලින් මෙන් ම මිහින්තලාවෙන් ලැබුණු අභිලේඛන සාධක ද අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රී ලාංකික වංසකතා තොරතුරු සංසන්දනාත්මක ව විමසීමට අවශ්‍ය පුරාවිද්‍යාත්මක පසුබිම සකස් කර දෙයි.

සාංචියේ දෙවැනි ස්තූපයේ කළ කැණීම් මඟින් එහි අළු, සුදු වැලි ගලින් නිමවන ලද ශෛලමය පෙට්ටියක් මත හා එහි ඇතුළත තිබූ ධාතු මඤ්ජුසාවල සඳහන් නාමයන් ද හඳුනා ගැනීම මත අශෝකයන්ගේ මූලිකත්වයෙන් හා සාංචිය මුල් කර ක්‍රියාත්මක වූ ධර්ම දූත මෙහෙයට සම්බන්ධ වූ භික්ෂූන්ගේ නාමයන් පැහැදිලි ව හඳුනාගත හැකි වේ. එමෙන් ම සාංචියේ ඇති නාමයන් පැහැදිලි ය. ලාංකේය වංසකථා සමඟ සංසන්දනය කරන විට උන්වහන්සේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට වැඩම කළ බව මෙන් ම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම ධර්ම දූතයන් වහන්සේ පිටත් කර හැරිය බව ද සනාථ වේ. සාංචියෙන් ම සිය දූත ගමන ආරම්භ කළ මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ අනකුත් භික්ෂූන්ගේ මෙන් සාංචියෙන් හමු නො වන්නේ මන්ද යන්න ද ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ වංසකථා දක්වන ආකාරයට උත්තිය රජු දවස උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වී තිබේ. සැට වස් වියේ දී උන්වහන්සේ පිරිනිවන් පාන ලද අතර, මහා විහාර භූමියෙහි දී ම ආදාහනය කොට චේතියගිරියේ හා සියලු විහාරයන්හි ද ධාතු තැන්පත් කොට රජු විසින් ස්තූප බඳවා ඇත. අම්පාර රජගල ඇති මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨිය තෙරුන්ගේ ද ධාතුන් වහන්සේ ඇති ස්තූපයක් ගැන ඇති සඳහන වංසකතාගත පුවතට ආලෝකයක් ලබා දෙයි. මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ ශ්‍රී ලංකාවේ ඇති විහාරස්ථානවල ම තැම්පත් කිරීමට කටයුතු යෙදීම නිසා ඉන්දියාවට ගෙන නො යන්නට ඇතැයි ද අනුමාන කළ හැකි ය.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සනාථ කර ගැනීමට අදාළ සාක්ෂි සාංචියෙන් ලැබෙන අතර, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා කෙරෙහි බලපාන කරුණු රැසක් ඇති බව ද වංසකතාගත පුවත් තුළින් හෙළි වේ. මිහිඳු හිමියන්ගේ ධර්ම දූත සේවයේ පළමු ගමන ආරම්භ කරනුයේ පාඨලීපුත්‍ර අශෝකාරාමයෙනි. මහාවංසය, " ඥාතීන්ට සංග්‍රහ කිරීම පිණිස දක්ඛිණ ගිරියට ගියේ ය” යන්නෙන් ගම්‍ය කරනුයේ එක් ස්ථානයක සිට උන්වහන්සේ මෙම ප්‍රදේශයට පැමිණි බව ය. එම ස්ථානය නම් පැළලුප් නුවර යි. සිය උපාධ්‍යයන් වහන්සේට හා ආචාර්යයන් වහන්සේට වැඳ රජු විචාරා යන පාඨයෙන් පැහැදිලි වන්නේ සිය ආචාර්ය හා උපාධ්‍යයන් වහන්සේ විසූ එමෙන් ම පිය රජු වාසය කළ පැළලුප් නුවරින් උන්වහන්සේ පළමුවෙන් පිටත් වූ බව ය. දක්ඛිණගිරියට වැඩම කරනු ලබන මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිස එහි මාස හයක් පමණ කාලයක් ගත කරනු ලැබූහ. මව විසින් ඉදි කරනු ලැබූ චේතියගිරි විහාරය ද උන්වහන්සේට පිළිගැන්වූ බව වංසකථාවේ සඳහන් වේ. මෙලෙසින් මාස හයක පමණ කාලයක් ලක්දිවට ඒමට ප්‍රමාද වූයේ මන්ද යන්න ගැන පිළිතුරු ලබා දෙන වංසකතාව මේ වනවිට ලංකාවේ රජු වූ මුටසීව මහලු වයසට පත්ව සිටි බැවින් ඔහු පුත් දේවානම්පියතිස්ස රජවන තුරු ඥාතීන්ට සංග්‍රහ කිරීම පිණිස උන්වහන්සේ වේදිසගිරියට වැඩම කළ බව ය. එම කරුණ එක් සාධකයක් වන අතර ම ධර්ම දූත කටයුතු පිණිස මූලික දැනුමක් හා පුහුණුවක් ලබා ගැනීමට හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් ලබා ගැනීම පිණිස වේදිසගිරිය හෙවත් සාංචියේ උන්වහන්සේ නැවතී සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි ය. යක්ෂ හා නාග ගෝත්‍රික පිරිස් ශ්‍රී ලංකාවේ ද විසූ බව වංසකථාවලිනුත් අනාවරණය වන අතර ඒ සම්බන්ධ දැනීමක් ඉන්දියානුවන්ට ද තිබෙන්නට ඇත. හිමවන්තයට හා කාශ්මීරයට වැඩම කළ භික්ෂූන් විසින් යක්ෂ හා නාග ගෝත්‍රිකයන් දමනය කරනු ලැබූ බව වංසකථා තුළින් පැහැදිලි ය. මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරනුයේ අනෙකුත් ධර්ම දූතයන් වහන්සේ සිය කටයුතු ආරම්භ කොට මාස හයක් ඉක්ම වූ පසුව ය. එසේ නම් උන්වහන්සේ සාංචියට පැමිණ යක්ෂ හා නාග ගෝත්‍රික පිරිස් සමඟ කටයුතු කළ භික්ෂූන්ගේ අත්දැකීම් හා උපදේශයන් ලබා ගන්නට ඇතැයි ද එක් අතකින් සිතීමට ඉඩ තිබේ.

ධර්ම දූතයන් වහන්සේගේ පැමිණීම දෙරට අතර සංස්කෘතියේ මූලාවස්ථාව වශයෙන් පැහැදිලි ව හඳුනා ගත හැකි ය. එමෙන් ම එම මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරනු පිණිස ශ්‍රී ලංකාවෙන් දූත පිරිසක් ගිය අතර ම ඔවුන් දේශපාලන හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරලීමට ද කටයුතු යෙදූ බව පැහැදිලි ය.

ලක්දිවට වැඩම කළ මිහිඳු හිමියන් හමුවන රජුට “සමණාමයං මහාරාජ ධම්ම රාජස්ස සාවකා” යනුවෙන් තමා ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රමණයන් වන බව දැන්වීමත් සමඟ ම රජු උන්වහන්සේ කවුරුන් ද යන්න හඳුනා ගැනීමෙන් පෙනී යනුයේ ධර්ම රාජයාණන් වහන්සේ ගැන මෙන් ම ශ්‍රාවක සංඝයා ගැනත්, මිහිඳු හිමියන් ගැනත් මුලින් රජු දැන සිටි බව ය. ඒ අනුව දෙරට අතර සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසින් මහින්දාගමනය සිදු වූ බව පැහැදිලි ය. ශක්තිමත් පදනමක් මත එම කාර්යය සිදු වූ බව ද, ඒ නිසා මූලික සැලසුම් සකස් කරන තෙක් මාස හයක් සාංචියේ නැවතී සිටින්නට ඇතැයි ද අනුමාන කළ හැකි ය. ඉන්දියාවේ සාංචියෙන් පිටවන මිහිඳු හිමියන් ලංකාවේ මිහින්තලයට නැතහොත් මිස්සක පර්වතයට වැඩම කළ බව මහාවංසයේ සඳහන් වේ. සාංචියේ හා මිස්සක පර්වතයේ පිහිටීම එකිනෙකට බොහෝ සමාන ය.

ඉන්දියාවේ වේදිස දේවිය විසින් ඉදි කළ ආරාමය චේතියගිරිය ලෙසින් හඳුන්වා ඇති අතර ම ශ්‍රී ලංකාවේ මිස්සක පර්වතය මිහිඳු හිමියන් වැඩ සිටි සමයේ සිටම චේතියගිරිය යැයි නම් කොට ඇත. සුමන සාමණේරයන් වහන්සේ විසින් අශෝක රජු වෙතින් ගෙනෙන ලද ධාතුන් වහන්සේ පළමුවෙන් මෙහි තැම්පත් කිරීම නිසා චේතියගිරිය ලෙසින් නම් තැබූ බව වංසකථාවේ දක්වන නමුත් සාංවියේ චේතියගිරියේ හා මිහින්තලයේ ඇති සාම්‍යත්වයන් සැලකිල්ලට ගනිමින් මිස්සක පර්වතය ද චේතියගිරිය ලෙසින් නම් කරන්නට ඇත.

තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රියාත්මක වූ ධර්ම දූත ව්‍යාපාරය මඟින් ශ්‍රී ලංකාවට ද බුද්ධාගමේ පණිවුඩය ලැබුණු බව දීපවංසය හා මහාවංසය වැනි වංසකථාවන්වල සඳහන් වේ. අශෝකයන්ගේ පුත් වූ මහින්ද තෙරුන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල සහ සුමන සාමණේරයන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසත්, භණ්ඩුක උපාසකත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ශ්‍රී ලංකාවට වැඩම කළ භික්ෂූන්ගේ නාමයන් අභිලේඛන අනුසාරයෙන් දැනටමත් හඳුනාගෙන තිබීම මහින්දාගමනයේ ඇති විශ්වසනීයත්වය සනාථ කෙරෙන අතර අම්පාර රජගල ශිලාලේඛනය හා මහාදාඨික මහානාග රජුගේ සමයට අයත් වන මිහින්තලා ශිලාලේඛනය සාංචියෙන් ලැබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි එම තොරතුරු සනාථ කර ගැනීමට අනුබලයක් ලබා දෙයි.

පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]