[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලක්වැසියාට මනුෂ්‍යත්වයේ උත්තරීතර බව පසක් කළේ මහින්දාගමනය යි - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ලක්වැසියාට මනුෂ්‍යත්වයේ උත්තරීතර බව පසක් කළේ මහින්දාගමනය යි - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

වෙසක් පුන්සඳ බැස ගිය ද සුළු කලෙකින් ම පොසොන් පුන්සඳ පායා දිලෙමින් ලක්වැසි අපට සිහිපත් කර දෙනු ලබන්නේ, තුන්ලෝකාග්‍ර අසහාය මනුෂ්‍ය රත්නය වූ, අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී බුද්ධ වචනය ලංකාවාසී අපහට දායාද කළ උත්තම ජිනපුත්‍රයාණන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මහා කරුණාවේ මහිමය යි. උන්වහන්සේ ලක්දිවට වැඩමකොට ලක්වැසියන් තුළ ඇති කළ විප්ලවයේ උත්තරීතර බව ගැන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි

ස්වාමින් වහන්ස, අපගේ මිහිඳු කුමරු සසුන්ගත වීමෙන් පසුව උන්වහන්සේගේ දින චරියාව ගතවූයේ කොහොම ද?

දඹදිව අගරජිඳුන් වූ ධර්මාශෝක අධිරාජයාණන්ගේ පුත්‍ර රත්නය ලෙසින් වේදිසගිරියෙහි දේවී කුමරියගේ කුසින් උපත ලද පින්වන්ත මිහිඳු කුමරා අත්‍යන්තයෙන් ම නිවුණු, කාරුණික හදක් ඇති, මහා නුවණින් යුක්ත වූවා. රහතන් වහන්සේගේ ඇසුර නිබඳව ම ලද කුමරු ආදරය කළේ සිහසුනට නොව බුදු සසුනට යි. ධර්මාශෝක මහ රජුගෙන් ලද අවසරයෙන්, එකල්හි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් ලෙසින් උතුම් බුදු සසුනට ඇතුළු වූ මිහිඳු කුමරුවෝ පැවිදි වූ දිනයේ දී ම උපසම්පදාව ද ලැබුවා. උපසම්පදා මාලකයේ දී ම සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. උපසම්පදාව ලබා තුන් වසරක් ඇතුළත සිය උපාධ්‍යායන් වහන්සේ වෙතින් ම තුන් පිටකය ම ඉගෙන ගත්තා.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඈත පිටිසර රටවල සිටින අහිංසක ජනයාට ද ලබා දීම පිණිස රටවල් කිහිපයකට ම රහතන් වහන්සේ පිටත් කොට යවනු ලැබූ අතර, මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ලංකා ද්වීපය වෙත වැඩම කරවීමට තීරණය වුණා. ඒ වන විට අපගේ මිහිඳු මහරහත් තෙරණුවෝ උපසම්පදාව ලබා දොළොස් වසරක්.

ගෞතම සම්බුදු සසුන කෙරෙහි ලංකාදීප වාසීන් මනාව පැහැදවීම පිණිස වඩාත් උද්යෝගයෙන් දායක විය හැකි තරුණ කුමරකු වූ දේවානම්පියතිස්ස කුමරුන්ගේ රාජ්‍යත්වයට පත් වීම බලාපොරොත්තුවෙන් අපගේ මහරහතන් වහන්සේ වැඩ සිටියා.

එදා ලක්වැසියන් පවිටු අඳුරු බලවේග සරණ ගොස් සිටි පිරිසක්. එවන් ජාතියක පරිවර්තනයන් ඇති කරන්නට අප කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සමාරම්භය ඇති කළේ කොහොම ද?

එදා පොසොන් පුන් පොහෝ දින දෙවන පෑතිස් නිරිඳුන් පිරිස් පිරිවරා දඩයම පිණිස මිස්සක පර්වතයට පැමිණියා. හිංසාකාරී සිතිවිල්ලකින් සිටි රජතුමා ඉදිරියේ මිහිඳු තෙරණුවෝ පෙනී සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උන්වහන්සේගේ මහා කරුණාව ක්‍රියාවෙන් ද ඉස්මතු කරවමින්. මිහිඳු මහරහතන් වහන්සේ සමඟ වැඩම කළ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන යන රහතන් වහන්සේත්, පිනැති භණ්ඩුක උපාසකත් එක්වරම දුටුවහොත් රජු බොහෝ බියට පත්වේ යැයි සිතූ මහරහතන් වහන්සේ මුලින් ම තමන් වහන්සේ පමණක් පෙනීමට සලස්වා, තමන් වහන්සේ හඳුන්වා දුන්නේ ලොව අන් කවරකුවත් තමන්ව වෙනත් අයකුට හඳුන්වා නො දෙන වෙනස් ම පිළිවෙළකට ය.

මහරජ, අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු.

ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු.”

සඟ ගුණයෙන් බබළමින් වැඩසිටි, මානය සුනුවිසුණු කළ, මානව දයාවෙන් පරිපූර්ණ වූ, මහා කාරුණික හදමඬලකින් හෙබි අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ, දේවානම්පියතිස්ස නිරිඳුන්ගේ තැතිගැන්ම දුරු කර, සංසිඳීමට පත්කරවා, හෙතෙම දමනයට පත් කළා. ලක්දිව සිදු වූ විශිෂ්ට වූත්, සර්ව අභිවෘද්ධිදායක වුත්, පරිවර්තනයෙහි සමාරම්භය යි මෙය.

මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම් පියතිස්ස නිරිඳුන් නුවණැතියකු බව වටහා ගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ චූලහත්ථිපදෝපම සූත්‍රය මුල් කොට ධර්මය දේශනා කළ සේක. එම ධර්ම දේශනාව අවසානයේ සතළිස් දහසක් පමණ වූ පිරිවර සමඟින් රජතුමා තෙරුවන් සරණෙහි පිහිටියා. සමචිත්තපරියාය සූත්‍රය මුල්කොට දෙවිවරුන් අරභයා වදාළ ධර්ම දේශනාව ශ්‍රවණය කළ බොහෝ දෙවියෝ ලංකා ද්වීපයෙහි සම්බුදු සසුන පිහිටුවීමට ආශිර්වාද කළා.

ඒ සමඟ ම ලංකාවාසීන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ පුද සත්කාර දක්වමින් උපකාර ලබා ගත් පවිටු බලවේග කෙමෙන් කෙමෙන් දුර්වල වී ගියා. කළ යුතු දෙයෙහි සුදුසු කාලය මැනවින් දන්නා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පවිටු අඳුරු බලවේග සරණ ගොස් සිටි, භයානක ඉරණමක් උරුම කරගෙන සිටි, අහිංසක ලංකාවාසීන් ධර්මයෙන් පෝෂණය කළා. යහපත් මාවතට යොමු වීම පිණිස ප්‍රේත වස්තුව, විමාන වස්තුව වදාළා. සියලු දුක් අවසන් කිරීමට නම් චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගත යුතු බවත් සත්පුරුෂයාත්, අසත්පුරුෂයාත් මැනවින් වෙන් කොට හඳුන්වා දුන් අපගේ මහරහතන් වහන්සේ, අතීතයේ වැඩ සිටි කකුසඳ, කෝනාගමන,කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේගේ මෙන් ම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද පාද ස්පර්ශයෙන් මේ සොඳුරු දිවයින පූජනීයත්වයට පත් වූ ඒ අසිරිමත් කතා පුවත මැනවින් කියාදී ලංකාවාසී ජනයාගේ සිත් සතන් පහන් කළා.

මෙරට ජනතාවට පිදිය යුතු උතුමන් පුදමින් ජීවිතයට මහානිය පින් රැස් කර ගන්නට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය මහානීය අවස්ථාවක් වූ ආකාරය පැහැදිලි කරන්න

මේ උතුම් ලංකා ද්වීපයෙහි අනාගතයෙහි ඉදිවන අසිරිමත් පුණ්‍ය භූමීන් පිළිබඳ ව සියලු තොරතුරු වදාළ මිහිඳු මහරහතන් වහන්සේ, එය හුදෙක් වචනයට සීමා නො කොට අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්තම සර්වඥ ධාතූන් වහන්සේත්, ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ උතුම් සම්බෝධිය පිණිස සෙවණ සැලසූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ඛිණ ශාඛා වහන්සේත් මහත් ගෞරවයෙන් වැඩම කරවා දුන් සේක. අඳුරු බලවේග සමඟින් භයංකාර වූ ගනුදෙනුවක නිරත ව සිටි ලක්වාසී ජනයාට සැබැවින් ම පිදිය යුතු උතුමන් පුදන්නට ඉඩහසර විවර වූයේ, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැනි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගේ ඇසුරක් ලබන්නට තරම් ඔවුන් වාසනාවන්ත වූ නිසාවෙන්.

උන්වහන්සේ ගත් අවංක, හිතානුකම්පී උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්දිව උපන් සිංහල කුල කුමාරවරුන් සිය දහස් ගණනින් ගෞතම බුදු සසුනෙහි පැවිදි කරවා, සම්බුදු වදන් මැනවින් කියාදී, දීප භාෂාවෙන් අර්ථ පැහැදිලි කර දුන් ඔවුන්ට ද ගෞතම බුදුරදුන්ගේ ළයෙහි උපන්, නිකෙලෙස් හද මඬලක් දරාගත් රහත් ශ්‍රාවක දරුවන් බවට පත්වන්නට වාසනාව ලැබුණා.

උතුම් බෝධීන් වහන්සේ සමඟින් සඟමිත් තෙරණිය ද වැඩම කරවා ලක්දිව භික්ෂුණී පැවිද්ද ද ස්ථාපිත කළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවෙහි ම වැඩ වාසය කරමින් ලංකාවාසීන් හට මහත් අනුකම්පාවෙන් ම පිහිට වූවා.

මිනිස්කම අගයන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙසින් නැඟී සිටීමට අවශ්‍ය ආධ්‍යාත්මික දියුණුව පිණිසත්, භෞතික දියුණුව පිණිසත්, සියලු මඟ පෙන්වා වදාළේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය. සැබැවින් ම ඒ උත්තම මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ආදි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ම යි. අපගේ ලංකා ද්වීපයට ශාස්තෘන් වහන්සේ නමක් බඳු ව පිහිට වූ මහා මුනිවරයාණන් වහන්සේ ම යි. අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]