 තුන්කල් දුටු
ශ්‍රේෂ්ඨ ධර්මදූතයාණෝ
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා මහරජතුමා හමු වන්නේ නැකැත් කෙළි උත්සවය
අරමුණු කර හිංසාවාදී ව, විනෝදය පිණිස මුව දඩයමේ යන අතරතුරේ දී යි.
උන්වහන්සේ සැබෑ ධර්මදූතයාණ කෙනකු වශයෙන් රජතුමා පළමු ව හමුවෙමින් ප්‍රකාශ කරන්නේ
ඔබටත්, ඔබ රටවැසි ජනතාවටත් දයාව, අනුකම්පාව පිණිස ධර්මරාජ නම් වූ ලොවුතුරා
බුදුරජාණන් වහන්සේගේ උත්තම දහම් පණිවුඩය රැගෙන දඹදිව සිට මෙහි වැඩම වූ බවයි.
මෙම තොරතුරු සුහද පිළිසඳරක් ඔස්සේ හුවමරු කර ගැනීමෙන් පසුව එක්වරම රජතුමා ඇතුළු
රාජකීය පිරිස යෙදී සිටි මෙම හිංසාකාරි සත්ව දඩයම වැනි මාතෘකාවක් මඟින් හෝ ඊට
ප්‍රතිපක්ෂ ධර්ම දේශනාවක් කිරීමට තරම් ඉක්මන් නොවූ මහ රහතන් වහන්සේ එවැනි
ධර්මානුකූල කරුණු වුව ද වටහා ගැනීමට තරම හැකියාවක් පොදුවේ ලක් ජනතාවට ඇති දැයි
විමසා බැලීම අරමුණු කර අඹපැනය ඉදිරිපත් කිරීමට ක්‍රියා කළහ.
එයින් ලක්වැසි ජනතාවගේ සාමාන්‍ය බුද්ධි මට්ටම ප්‍රමාණ කර ගත් මිහිඳු මහරහතන් වහන්සේ
රාජකීය ධර්ම දූත පිරිසක් ලෙස රජතුමා ඇතුළු රාජකීයයන්ගේ අපමණ ගරු සම්භාවනාවට පාත්‍ර
වුණා. ඉන් පසුවයි උන්වහන්සේ තමන් වහන්සේගේ සැබෑ ධර්ම දූත කාර්යය ඉටු කිරිමට
පෙළඹෙන්නේ.
ඒ අනුව පළමුවෙන් ම චූලහත්ථිපදෝපම සූත්‍රයෙන් අරුත් ගන්වන්නේ බුද්ධ, ධර්ම, සංඝ යන
ත්‍රිවිධ රත්නය පිළිබඳ පැහැදිලි ධර්ම විස්තරයකුයි. තෙරුවන් පිළිබඳ වැටහීමක් ඇති කර
ගත් තැනැත්තා ශ්‍රද්ධාවන්තයකු බවට පත් වෙනවා. ඒ නිසා ම භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ
භික්ෂුවගේ උදාර වතපිළිවෙත, උදාර ගතිසිරිත්, සැබෑ පැවිදි ජීවිතයක දී වැළකෙන අසාර
දහම්, ජීවිතය ක්‍රමානුකූල ව පෙළගස්වා ගෙන චතුස්සත්‍යාවබෝධයෙන් නිවන් පසක් කර ගන්න
ආකාරයෙන් ඇත් අඩි උපමාව මැනවින් ගලපවමින් පැහැදිලි කර දුන්නා.
දැන් රජතුමාට වැටහෙනවා නැකත් කෙළියෙහි යෙදෙමින් විනෝදය පිණිස මුවදඩයම වැනි හිංසක
ක්‍රියාවන්හි නිරර්ථක බව. මෙය මිහිඳු මහරහතන් වහන්සේ මෙම නවතම දහම තේරුම් කර දීමට
මනා දැක්මක් ඇති ව ගනු ලැබූ ප්‍රථම උත්සාහය යි. ඒ වන විටත් ශ්‍රී ලංකාවට බුදුරජාණන්
වහන්සේ තෙ වරක්ම වැඩමවා යම් දහම් දැනුමක් ලබා දී තිබීම යන පදනම මත සිට බලනවිට නම්
අපට පෙනෙනවා මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ඒ දහම ම නැවතත් විස්තර වශයෙන්
ප්‍රකාශ කිරීම තුළ ලක්වැසි ජනතාව වඩාත් බුදුදහමට ප්‍රසාදයක් ඇති කර ගන්නට ඇති බව.
මේ උදාර ධර්මදූතයාණන් වහන්සේගේ අභිමතාර්ථ වඩාත් මල්පල ගන්වන තෙවන අවස්ථාව වන්නේ
පසුදා රජමාළිගාවට වැඩමවීමට ආරාධනා ලැබ උන්වහන්සේ ඇතුළු පිරිස මහමෙවුනා උයනේ
රජමාළිගාවේ දහවල් දන් වළඳා අනතුරුව කරන දේශනා කීපයයි. එදා මාළිගාවේ රැස්ව සිටි බොහෝ
දෙනා රාජකීය කාන්තාවන්. මහානාග යුවරජු දේවිය වූ බුද්ධිමත් අනුලා දේවිය මෙහි නායිකාව
බවට පත් වුණා.
උන්වහන්සේ ධර්ම දේශනා කිපයක් ම සංවිධානය කළා. එයින් පළමු දේශනාව වූයේ පේතවත්ථු,
විමානවත්ථු හා සච්චසංයුත්ත දේශනා යි. ඇත්තෙන් ම කථා රසයට, කුතුහලයට ආකර්ෂණය කර
ගනිමින් පේතවත්ථු දේශනාවන්හි අකුසලකර්ම නිසා දුක් විඳීන, අපාගත වන සත්වයන් පිළිබඳ
කථාන්දර මෙන් ම දස පුණ්‍යක්‍රියාවන් හි යෙදෙමින් කුසලධර්ම පූර්ණය කරන මිනිසුන්
දිව්‍ය විමාන සහිත ව සැප සම්පත් භූක්තිවිඳීන ආකාරය ප්‍රකට වන මේ කථාවස්තූන් කෙරෙහි
සිත් බැඳ ගත් මේ රාජකීය කාන්තාවන් ඇතුළු සියලු දෙනාට ම හොඳ නරක ආශ්‍රිත සාරධර්ම
වපුරා ගෙන තම උතුම් මිනිස් දිවිපෙවෙත අරුත් බර කර ගන්නා ආකාරය මේ මඟින් උන්වහන්සේ
පැහැදිලි කළා.
ඒ වනවිටත් මළවුන් පිදීම වැනි මිත්‍යාමතවල ගැලී සිටි ජනතාවට මළගිය අයට පින්දීම වැනි
පිළිවෙත් ආදේශ කර දයාව, කරුණාව හා කළගුණ සැලකීම වැනි සාරධර්මවල අගය පෙන්වා දීමකුත්
මේ දේශනා මඟින් ඉටු වුණා. සංසාරය කෙතරම් දුක්ඛාන්ධකාර ව පවතිනවා ද යන්න විස්තර වන
මේ දේශනා එයින් මිදීමට ඇති එකම මග චතුස්සත්‍යාවබෝධය පමණක් ම බව පෙන්වන සච්චසංයුත්ත
දේශනාව ඊළඟට යොදා ගත්තේ විමානවත්ථු කථාවන්ගෙන් පෙන්වා දෙන කුමන මට්ටමේ හෝ දිව්‍ය
සැප සම්පත් අනුභව කරමින් විසුවත් කාම ලෝකයන්හි සදාකාලික විමුක්තියක් නැති බව හා
සදාකාලික සුවයකට ඇති එකම මඟ චතුස්සත්‍යාවබෝධය ම බව පෙන්වා දීමටයි.
හතරවෙනි පියවර ලෙස සංවිධානය වූ ධර්මදේශනා මාලාව තුළින් සැබෑ සාමකාමි, ගුණගරුක,
සත්පුරුෂ, කල්‍යාණමිත්‍ර ඇසුරක අවශ්‍යතාවත්, ඒ තුළින් සදාකාලික නිවීමක් ලබා ගත හැකි
බවත් පෙන්වා දුන්නා.
පස්වන පියවර ලෙස දෙවනපෑතිස් නිරිඳුුන් විසින් මහමෙවුනා උයන සඟසතු කර පූජා කරනු
ලැබීමෙන් පසු අනුරාධපුර ශුද්ධනගරය සැලසුම් කිරීම පිළිබඳ රජතුමාගේ මාර්ගෝපදේශකයා බවට
පත් වුණෙත් මිහිඳු මහරහතන් වහන්සේයි.
මෙම මහමෙවුනාවේ පිහිටි මහාවිහාරය ආරම්භයේ සිට ම වේගයෙන් සංවර්ධනය වී ජාත්‍යන්තර
කීර්තියට පවා පත් වූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ දැක්ම අනුව රජතුමා ඒ පිළිබඳ ව
ක්‍රියා කිරීම ද නිස යි. රජතුමාගේ නායක්වය යටතේ බුදදහමේ ශීඝ්‍ර ව්‍යාප්තියකට මං
පෙත් විවර කළත් මිහිඳු මාහිමියන්ට ඊළඟට සපුරා ගතයුතු බරපතළ අවශ්‍යතාවක් දැනෙන්නට
වුණා. ඒ තමයි දේශීය සඟ පරපුරක අවශ්‍යතාව. එය තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට පවත්වා
ගෙන යාමට දේශීය සඟ පරපුරක අගය උන්වහන්සේ පසක් කර ගත් නිසා ම මහ රජතුමාට ඒ බව එත්තු
ගන්වන්නට කල්යල් බලමින් සිටියා. මේ අතර දවසක් තමන් වහන්සේ හමුවට පැමිණි රජතුමා
උන්වහන්සේගෙන් විමසා සිටියේ ස්වාමීනි, දැන්නම් මේ ලංකාවේ බුදුදහම ස්ථිර ව මුල් බැස
ගෙන පවතිනවා නේද? යන්නයි. ඊට අවස්ථාවෝචිත ව පිළිතුරු දෙන මිහිඳු මහ රහතන් වහන්සේ
වදාළේ මේ ශ්‍රී ලංකාවේ ම මව්පියන්ට දාව උපන් දරුවෙක් ලංකාවෙහි පැවිදි බව ලබා ලංකාවේ
ම විනය හදාරා, ලංකාවේ ම විනය සංගායනා කළහොත් බුදුසසුන මුල් බැස ගන්නා බවයි.
මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහෝදාට පසු දින සිට අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ධර්ම
දේශනා මාලාවක් ම පවත්වා 27 වන දින මිහින්තලයට වැඩම කළේ ඉදිරි තෙමස වස් විසුමටයි. ඒ
දවසෙහි ම අරිට්ඨ කුමරයා ඇතුළු යහලු 54ක් පැවිදි වී උපසපන් බව ලබා මිහින්තලේ
වස්විසුමට වැඩමවීම එහි පළමු පියවර සපුරාලීම බවට පත් වුණා.
අනතුරව අරිට්ඨ මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේගේ
සහභාගිත්වයෙන් සිදු වූ විනය සංගායනාව ස්ථිරව ම ශ්‍රී ලංකාවේ සම්මා සම්බුද්ධ ශාසනය
අද දක්වාත් නිර්මල ව පැවත ඒමට හේතුවයි කියා අපට විශ්වාස කරන්නට පුළුවනි. |