පල ලැබෙන ලෙස මෙත් වඩමු

පල ලැබෙන ලෙස මෙත් වඩමු

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙහි ඉතාම වැදගත් වචනයක් තමයි “අවබෝධය”. යමක් කළ යුත්තේ අවබෝධයෙන් වගේ ම, කරන හැම දෙයකින් ම අවබෝධය වැඩිදියුණු කර ගත යුතුයි. අවබෝධයමයි වැටහීම, දැනුම් තේරුම්කම කියල කියන්නෙ

අද ධර්ම දේශනාවේ මාතෘකාව සූත්‍ර පිටකයේ, ඛුද්දදක නිකායේ, ඛුද්දක පාඨ කියන කොටසේ ඇතුළත් ඉතිවුත්තක පාලියෙ මෙත්තා චේතෝ විමුත්ති සූත්‍රයේ අවසානයේ දැක්වෙන ගාථා හතරෙන් එකක්. මේ සූත්‍රයේ නම කාටත් හුරු පුරුදුයි. පැහැදිලියි.

මෛත්‍රී සිතිවිලි මුදා හැරීම මේ ගාථාවට කලින් ගාථාවෙ සඳහන් වෙනව. තථාගත බුදුපියාණන් වහන්සේගේ කාලෙ දඹදිව, මධ්‍ය ප්‍රදේශයේ උන්වහන්සේ දකින පුද පූජා කිහිපයක්, නමින් පමණක් දක්වනවා නම්, අස්ස මේධ, පුරිසමේධ සම්මාපාස, වාජපේය, නිරග්ගල වශයෙන් තිබුණා. විශාල ධනස්කන්ධයක් වැය කරල සමහර විට සත්ව ජීවිත, මේව පිළිබඳව විවරණය කෙරෙන පොතපතේ දැක්වෙන විදිහට මනුෂ්‍ය ජීවිත පවා බිලිදීල කරපු පුද පූජා.

අදත් සමහර පුවත්පත්වල දැක්වෙනව නිදන් හාරන මිනිස්සු එහෙම බිලි පූජා පවත්වන්න ගිහින් පොලිසියට අහුවුණ තැන්වල අතපය බැඳ දාපු සතුන් පවා හිටියා කියල. ඒ කාලෙත් අද වගේමයි. මිනිස්සුනෙ මේව කරන්නෙ. වෙනසක් නෑ.

පින්වතුනි, මේ සූත්‍ර පාඨයේ කියන්නෙ මේ විශාල ධනස්කන්ධයක් වැය කෙරෙන මහා පින්කම්වලට වඩා මෛත්‍රිය උතුම් බව. මම දැක්ක නොබෝ දිනකට ඉස්සර පොලොන්නරුවෙ රන්කොත් විහාරය වටේ කරකැවී කැවී සමන් පිච්චමල් ඉහින හෙළිකොප්ටරයක් යොදාගත් පින්කමක් දැක්වෙන යූ ටියුබ් එකක්. එහෙම හෙළිකොප්ටර් එකක් කරකවන්න විශාල මුදලක් ගෙවන්න වෙනව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේවගෙ වැඩ කවදාවත් වර්ණනා කරන්නෙ නෑ. උන්වහන්සේ වර්ණනා කරන්නෙ, මිනිසුන් පොලඹවන්නෙ මේ මෛත්‍රී භාවනාව වගේ ‘නිහඬ, තනි තනි ව ම, නිස්කලංක ව ඉඳගෙන කරන්න පුළුවන් සරල, ප්‍රායෝගික, වියදමක් නැති දේ. මේ මාතෘකා පාඨයෙන් කියැවෙන්නෙ, “හොඳින් දියුණු කළ මෛත්‍රී සිතේ වටිනාකම අර විශාල මුදලක්, කාලයක් වැය කරල, පිරිසක් සහභාගි වෙලා කරන පින්කමක් වගේ දාසය ගුණයක් විතර, එහෙම නැතිනම් ඒ වගෙ පින්කම්වලින් සිතක උපදින ශක්තිය දියුණු කළ මෛත්‍රී සිතිවිල්ලෙන් දාසයෙන් එකක් තරම්වත් වටින්නෙ නෑ කියන එක. මොන වගේ ද? කියනවා නම්, හරියට ම, සියලු තාරකාවල එළිය යටපත් කර ගෙන මිහිතලය පුරා පැතිරෙන හඳ එළිය වගේ. ඔබ කවුරුත් දන්නව, විශේෂයෙන් ගම්බද අය, කොහොමද තරු එළියයි, සඳ එළියයි අතර වෙනස කියල. මෛත්‍රී සිතේ එළිය සඳඑළිය වගේ. අනෙක් පින්කම්වල එළිය තරුඑළිය වගේ. ඒත්, අවාසනාවකට වගේ බොහෝ කැමැති අය මොනවට ද? සංවිධානය කරන අයත්, සහභාගි වෙන අයත් දෙගොල්ලො ම කැමති තරු එළියට නේ ද? හඳ එළියට නොවෙයි.

ඉතින් අපි බලමු මේ වැඩි සද්දයක් බද්දයක් නැති මෙත් වැඩීම කොහොමද ඒ තරම් ආලෝකයක් උපදවන්නෙ කියල.

පින්වතුනි ඔබ දන්නව, බුදුරජාණන් වහන්සෙ ඇයි සසර කලකිරුණෙ කියල. පින්වතුනි ඔය සුත්ත නිපාතය කියන බණ පොතේ විස්තර කරනව ‘අත්ත දණ්ඩං භයං ජාතං ජනං පස්සථ මේධගං’ කියල සූත්‍ර පාඨයක්. බෝසතාණන් වහන්සේ පාරතොටේ දැකල තිබුණ දේ පොලු මුගුරු අරගෙන තමයි මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ. එහෙම නැතිනම්, බැලූ බැලූ අත තරහෙන් පිපිරෙන මිනිස්සු. දත්මිටි කන,තටමන, කෙඳිරිගාන මිනිස්සු. වෙවුල වෙවුල පහර දෙන්න සූදානමින් ඉන්න මිනිස්සු. ඒ අත්ත දණ්ඩ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනව පින්වතුනි,’එන්දමානං ජනං දිස්වා - මච්ඡෝ අප්පෝදකෙ යථා.’

සංවේගං කිත්තයිස්සාමි - යථා සංවිජිතා මයා. උන්වහන්සේ දකිනව පින්වතුනි, ගැහෙන මිනිස්සු. මොනවගේ ගැහෙන මිනිස්සු ද? හරියට හිඳෙමින් තියෙන දිය කඩිත්තක ඉතිරිවෙලා ඉන්න මාළු පැටව් වගේ. ඉතිං අද කාලෙ කෘමිනාශක භාවිතය නිසා එහෙම ඒව ආසාවකටවත් දකින්න නෑ. ඒත්, අපි කුඩා කාලෙ තිබුණ. කොකාගෙ වාරෙ කියන්නෙ, පෙබරවාරි මාර්තු ගොයම් කපන කාලෙ වෙනකොට හැම තැන ම දියකඩිති හිඳෙනව. ඒ හිඳෙන දියකඩිතිවල මාළු පැටව් තොරතෝංචියක් නැතිව, එක තප්පරයක් මඟ නොහැර දඟලනව. බෝසතාණන් වහන්සේ තරුණ රජ කුමාරයෙක් හැටියට පාරට බැස්සම දකිනව කැපිච්ච පණුවො වගේ දඟලන මිනිස්සු. උන්වහන්සේ සඳහන් කරනව ඒ අය දැකල හිත සංවේගයට පත්වුණ බව. අපිටත් හිතෙන වෙලාවල් කොච්චරවත් තියෙනවනෙ, නේද? අනේ මොකද මේ වෙලා තියෙන්නෙ කියල. අපිත් නොදැනුවත් ව ම ළඟ ඉන්න අය එක්ක කියවනවනෙ. ඒ වගේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ හදවතේ ඇති වන සංවේගය උන්වහන්සේ ජයගත්ත. ඉතින් අපි කවුරුත් සංවේගයට පත්වන අවස්ථා දැන් කාලෙ කෙළවරක් නෑ. මේ සංවේගජනක වාතාවරණය නැති කළ හැකි මඟ බුදුරජාණන් වහන්සේ පෙන්නුව. ඒ මාර්ගයේ මූලික ම පියවරක් තමයි මෛත්‍රීය වැඩීම.

පින්වතුනි, මොකද්ද මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය කියන්නෙ අදහසක්, හැඟීමක්, සිතිවිල්ලක්. අපේ සිත්වල නොයෙක් අදහස්, සිතිවිලි, කල්පනාවල්, හැඟීම් ඇති වෙනව පින්වතුනි, මොහොතක් නිශ්ශබ්ද වෙලා තමන්ගෙ හිතට ඇහුම්කන් දුන්නොත්, මොනවද මගෙ හිතේ වැඩිපුර ම ඇති වන සිතිවිලි කියල පරීක්ෂා කළොත් ඔබටත් පුළුවන් මොනවද තමන්ගෙ හිතේ වැඩිපුර ම ඇතිවන සිතිවිලි වර්ගය කියන එක පැහැදිලි කර ගන්න.

ඉතින් පින්වතුනි, හිතක ඇතිවන නොයෙක් සිතිවිලි අතරට මෛත්‍රී සිතිවිල්ල ඇති කර ගැනීම තමයි අර වටිනා ම පින්කම හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මෛත්‍රිය කියන්නෙ මිත්‍රශීලී කෙනෙක් වෙනව කියන එක. කොහොමද, එහෙම නැත්නම් මොකක් නිසා ද මෛත්‍රීය ඒ තරම් වැදගත් වෙන්නෙ? මම හිතන්නෙ, අපි වැඩිපුරම වඩන්නෙ මෛත්‍රී භාවනාවනෙ. ඒත් කාටවත්ම එච්චර ප්‍රතිඵලයක් ලැබුණ බවක් පෙනෙන්නෙ නෑ නේද, ඔය කවුරුත් දන්නවනෙ බුදුරජාණන් වහන්සේ පෙන්වනව “ඉමේ ඒකා දසානිසංසා පාටිකංඛා” නේද? මෙන්න මේ, ආනිසංස එකොළහක් ඒ අයට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් තියෙනව නේද? එකොළහක් තියා දෙකක් තුනක්වත් ආනිසංස ලැබුණ අය හම්බ වෙලා තියෙනවද? නෑ නේද? ඒ ගැනයි මම කියල දෙන්න අදහස් කරන්නෙ.

පින්වතුනි ඒ බලාපොරොත්තු විය හැකි ආනිසංස එකොළහ මෙහෙමයි. හොඳට නින්ද යනව, හොඳින් අවදි වෙන්න පුළුවන්. පවිටු හීන පෙනෙන්නෙ නෑ. මිනිස්සුන්ට පි‍්‍රයශීලී කෙනෙක් වෙනව. මිනිසුන් නොවන අයටත් ප්‍රසන්න කෙනෙක් වෙනව. දෙවියන් ඔහුව ආරක්ෂා කරනව. ගින්නෙන්, වස විෂවලින් හෝ අවි ආයුධවලින් ඇතිවිය හැකි උවදුරු මඟහැරෙනව. මුහුණ පැහැපත් වෙනව, මරණයට පත් වන විට සිත මුළා වන්නෙ නෑ. මරණින් මතු බ්‍රහ්මලෝකයක උත්පත්තිය ලබන්න පුළුවන් වෙනව. දැන් බලන්න, මෙතන එකොළහක් ආනිසංසවලින් එකයි අපට අත් දකින්න බැරි. බ්‍රහ්මලෝකයක උපදින එක විතරයි. අනෙක් දහය ම මේ ජීවිතයේ මරණයෙන් මෙහා කාට වුණත් අත්දැකිය හැකියි. ඒත් ප්‍රශ්නයක් තියෙනව නේද? වැඩිපුර ම මිනිස්සු කරන්නෙත් මෛත්‍රිය වැඩීම. ඒත්, එච්චර ප්‍රතිඵලයක් ලබන බවක් පෙනෙන්න නෑ. නිදා ගන්න ගිහින් පැය ගණන් ඇඳේ එහාට කරකැවෙනව, මොහාට කර කැවෙනව නින්ද යන්නෙ නෑ. කොතැනක හෝ වැරැද්දක් වෙනව ඇති. අපි ටිකක් බලමු.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙහි ඉතාම වැදගත් වචනයක් තමයි “අවබෝධය”. යමක් කළ යුත්තේ අවබෝධයෙන් වගේ ම, කරන හැම දෙයකින් ම අවබෝධය වැඩිදියුණු කර ගත යුතුයි. අවබෝධයමයි වැටහීම, දැනුම් තේරුම්කම කියල කියන්නෙ.

මෛත්‍රීය වැඩුවට වැඩක් නොවෙන්නෙ මගෙ අදහසෙ හැටියට ඔය අවබෝධය පිළිබඳ ගැටලුවක් තියෙනව පින්වතුනි. ඔබ දන්නව, බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ ජානිත්වා, පස්සිත්වා - දැන, දැක අපිත් දන්නව ඒත් අපි දකිනවද? මෙතන මේ දකිනව කියන්නෙ ඇසින් දැකීම නොවෙයි. නුවණින් දැකීම. නුවන, නුවණ කියන්නෙ වචන දෙකක්නෙ. නුවන කියන්නෙ ඇස, අපි හැමෝටම වගේ තියෙන දකින්න බලන්න අපි යොදා ගන්න ඇස, නුවණ කියන්නෙ ඥානය. අවබෝධය. අවබෝධයෙන් දකින්න ඕන. ඔබ දන්නව, බුදු දහමෙ අරමුණත් ජීවිතය සහ ලෝකයේ ස්වභාවය වටහා ගැනීමනෙ. අවබෝධ කර ගැනීම.

මොකද්ද ලෝකයෙ මූලික ම ලක්ෂණය? මූලික ම ලක්ෂණය පින්වතුනි, වෙනස්වීම, අනිත්‍ය කියලත් කියනව. නිත්‍ය නොවන සුළු බව. මේ වෙනස්වන සුළු බව කොහොමද අපි කාටත් බලපාන්නෙ පින්වතුනි? ඔබ දන්නව කිසිම කෙනකුට කියන්න බෑ හරියට ම මේ ධර්ම දේශනාව කියවල අවසන් කරනව කියල. පුළුවන්ද?

බෑ. එක වර ම, විදුලිය නැති වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් එන්න පුළුවන්. වහලෙට ගහක් කඩා වැටෙන්න පුළුවන්. මොනව ද වෙන්න බැරි? පින්වතුනි අනිත්‍යතා ධර්මය ඔස්සේ බුදුරජාණන් වහන්සෙ ඔබටත් මටත් උගන්වන තවත් භාවනාවක් තමයි “විය නොහැක්කක් නොමැත” කියන එක හැම තිස්සෙ ම මතක තියා ගන්න කියන එක. මොන ම දෙයක් වුණත් වෙන්න පුළුවන්. නිශ්චිත නෑ, අවිනිශ්චිතයි. කලින් කියන්නත් බෑ. කවුරුත් දන්නව. හිතාගෙන ගෙදරින් එළියට බහින දේ නෙවෙයි පාරට බැස්සහම වෙන්නෙ. කවදාවත් නොහිතපු දෙයක්.

බුදුරජාණන් වහන්සේ වදාළා “අචින්තිතම්පි භවති. චින්තිතම්පි විනස්සති” නොහිතපු දේවලුත් වෙනව වගේ ම හිතපු දේවල් ම කර ගන්නත් බැරි වෙනව. ඒ තමයි පින්වතුනි ජීවිතය. ඒ අතර, වෙනස් වීම වෙනස් කරන්න අපි කාටවත් ම බෑ. කොච්චර මොනව තිබුණත්, බෑ. වෙනස් වෙන එක වෙනව. ඒ නිසා අපි හැමෝ ම අන්ත අසරණයි. ඔබ දැක්ක පහුගිය කාලෙ ඔබත් මුව සහ නාසයට ආවරණයක් දාගෙන, ආරක්ෂක නිලධාරීන් පිරිවරාගත් ජනාධිපතිතුමත් හැම තැන ම යන්නෙ මුව නාසා වැස්මක් දාගෙන. මොකද? ආරක්ෂක නිලධාරීන් කප්පරක් හිටියත් ජීවිතයත්, ඒ ජීවිතය පවත්වා ගෙන යන ලෝකයත් පින්වතුනි අනාරක්ෂිතයි. කිසි කෙනකුට ඒක මඟ හරවන්න බෑ.

මේ පින්වතුන් දන්නව පසුගිය යුද ගැටුම් තිබුණ කලෙ ආරක්ෂාව කියන සාධකය ජීවිතයකට කොච්චර වැදගත් ද කියල.

පින්වතුනි, ආරක්ෂාව නැතිව වෙන මොනව තිබුණත් වැඩක් නෑ. ඉතින් මෛත්‍රී වඩන්න සූදානම් වෙන කෙනා අන්න ඒ සර්ව සාධාරණ අනාරක්ෂිතකම තේරුම් ගන්න ඕන. ඒ අනාරක්ෂිතකම තුළ අපි හැමෝ ම කොයි තරම් නම් අසරණ ද කියන එක අවබෝධ කර ගන්න ඕන. මෛත්‍රී භාවනාව අසාර්ථක වන්නෙ, නැතිනම් නිසි ඵල නොදරන්නෙ අන්න ඒ අවබෝධය, දැනුම් තේරුම්කම, වැටහීම නැති නිසයි පින්වතුනි. ඔබත්, මමත්, ජනාධිපතිතුමත්, ගහකොළ, සතා සීපාව හැමෝටමත් මේ අසරණකම සාධාරණයි. කිසිම කෙනකුට කියන්න බෑ තමන් අසරණ නෑ කියල. මොකද වෙනස්වීමෙන් තොර ලෝකයක් නැති නිසා.

පින්වතුනි ඔබත් මමත් දෙන්න ම අසරණ නිසා, අපි දෙන්නම ඉන්නෙ නොසතුටින් නොවෙයිද? අනාරක්ෂිත බව, සැකය, අවිශ්වාසය, ඇති කරවන්නෙ නැද්ද? පින්වතුනි, මෛත්‍රිය ඵලදායක වෙන්නෙ මෙන්න මේ අසරණකම තියෙන තැනදියි. අනාරක්ෂිත බව වටහා ගත්ත අයටයි. අපි දෙන්න ම අනාරක්ෂිත නිසා දෙන්න ම ඔවුනොවුන්ගෙ ආරක්ෂාව පිළිබඳ නිහඬ ගිවිසුමක් ඇති කර ගන්නව. මම ඔබ ව ආරක්ෂා කරනව වගේ ම ඔබත් මාව ආරක්ෂා කරනව. මෛත්‍රිය කියල කියන්නෙ ඔවුනොවුන්ගේ සතුට සඳහා ඇති කර ගැනෙන ඇල්ම ඛුද්දක නිකාය අටුවාව කියනව “මිජ්ජති සිනිය්හති නන්දති සබ්බසත්තේහි මෙත්තා” සියලු ම සතුන්ගේ සතුට වැඩිදියුණු කරවීමේ ඇල්මක්, අදහසක්, හැඟීමක් ඇති කර ගැනීමයි මෙත්තා කියන්නෙ කියල. තවත් තැනෙක කියනව, “මිජ්ජති තායතීති මෙත්තා” සතුටු කරවනව, ආරක්ෂා කරවනව කියන එකයි මෛත්‍රී කියන්නෙ කියල. ඒ කියන්නෙ, අයිනකට වෙලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා කියල කිව්වට විතරක් මෛත්‍රී වැඩෙන්නෙ නෑ. හැම කෙනෙකුගෙම ආරක්ෂාව සැලසෙන විදිහට සිතන්න, කතා කරන්න, වැඩ කරන්න වෙනව.

පින්වතුනි, බුදු දහමෙ මෛත්‍රී කියන එකමයි ආදරය කියන්නෙත්. අඹු සැමියන්, දෙමවුපියන් දරුවන්, ආදරවන්තයින් කවුරු වුණත් අර මූලික අනාරක්ෂිත බවින් තොර නැහැ. කලින් සඳහන් කළ ‘විය නොහැක්කක් නොමැත,’ කියන ස්වභාවය කාටත් පොදුයි. අන්න ඒ බව දැනගෙන ඔවුනොවුන්ගේ ආරක්ෂාව සඳහා කැපවීමයි, ඔවුනොවුන්ගේ සතුට සඳහා කැපවීමයි බුදු දහමෙ ආදරය. ඒ පදනමින් තොර තැන්වල කොච්චර ගැටලු ඇති වෙනවද කියල නිකමට හිතල බලන්න.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ මෛත්‍රී ඉගැන්වීම දැන නොසිටියත් දකුණු අපි‍්‍රකානු සමාජයෙහි මුල් බැසගෙන තියෙනව මේ මෛත්‍රී සංකල්පය ම වෙනස් විදිහකට. ඒ ඉගැන්වීමට කියන්නෙ උබුන්ටු. උබුන්ටු කියන්නෙ හැම කෙනෙක් ම’ අනෙක් හැම දෙනාමත් නිසයි කියන බව දැනගෙන ජීවත් වීම. ඒ කියන්නෙ, මේ ලෝකේ කිසි ම කෙනෙක් තනියම ඔය ඉන්න තැන්වලට ඇවිත් නෑ. ඒ හැම කෙනෙක් ම කවර තැනෙක හිටියත් ඒ අය එක්ක මවුපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, අසල්වාසීන් වශයෙන් හමු වෙච්ච, කතාබස් කළ අනෙක් අය නිසයි ඔය හිතන විදිහට හිතන්නෙ, ඔය කටයුතු කරන විදිහට කටයුතු කරන්නෙ. එතකොට, හැම කෙනෙකුට ම හැඟීමක් ඇති වෙනව ඔවුනොවුන්ගේ සතුට පිළිබඳ ව හැම කෙනෙකුට ම පෞද්ගලික වගකීමක් තිබෙනවය කියල.

හැම කෙනෙකුට ම හැඟීමක් ඇති වෙනව මා ඔබ නිසා ය. ඔබ නොමැති ව මා නැත. මා සිටින්නේ ඔබ සිටිය නිසා ය. මට සිටින්නට නම්, මා ඔබ ව රැක ගත යුතු ය. බලන්න බුදුරජාණන් වහන්සෙ ගැන හාංකවිසියක් නොදන්න මිනිස්සුත් මෛත්‍රිය වඩනව. ඒ නිසා, ඉතා ම හෘදයාංගම ව මේ කාරණය තේරුම් ගන්න. තමන්ගෙ සතුට වෙනුවෙන් අනෙක් අයව සතුටෙන් තබන්නට හැකි දෙයක් කරන්න. තමන්ගෙ සතුට සඳහා අනෙක් අය ව පාවිච්චි කරන්න නොවෙයි. කොහොමද අම්ම තාත්ත ව සතුටෙන් තියන්නෙ? කොහොමද, ආච්චි සීයව සතුටෙන් තියන්නෙ? කොහොමද තමන්ගෙ ගෙවත්තට එන කුරුල්ලෙක්, සතෙක්, සීපාවෙක් සතුටෙන් තියන්නෙ කියල හිතල බලල, පුංචි හරි දෙයක් කරන්න බලන්න. අන්න එහෙම කරන කොට ඔබට වැටහෙයි මෛත්‍රිය ඔබේ හිතේ වැඩෙන හැටි.

කවුරුත් ඔබට රවන ගොරවන එකක් නෑ. රැව්ව ගෙරෙව්වත් පස්සෙ කම්පාවට පත් වෙයි අනේ මෙහෙම කෙනෙකුටනෙ රැව්වේ, ගෙරෙව්වෙ කියල. අන්න ඒ විදියට තමන් මෛත්‍රී සහගත කෙනෙක් බව අනෙක් අයට දැනෙන විදිහට ජීවිතය හදා ගන්න. ඒ කවුරුවත් සතුටු කරන්න නෙවෙයි තමන්ගෙ සතුට සඳහා. ඔබ සතුටෙන් ඉන්නව කියන්නෙ ඔබ වටා ඉන්න හැම කෙනෙක් ම, පාර තොටේ, කාර්යාලයේ, පන්සලේ, වැඩ බිමේ හැම කෙනෙක්මත් සතුටු වෙනව. ඔබ වටා සිටින හැම කෙනෙකු ම සතුටු වෙනවා.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]