නවම් අව අටවක පෝ දා
2024-03-03
සුවදායී ජීවිතයකට
තමන්ටත්, අනුන්ටත් වරදක්, ප්‍රශ්නයක්, කරදරයක්, පීඩාවක් නොවන ලෙස ජීවිතය හසුරුවා
ගන්නට සම්බුදු දහම අපට කියා දෙයි. කෙනෙක් යහපතෙහි යෙදෙනවා නම් යහපත ම සිදුවන අතර
අයහපතෙහි හැසිරීම තුළ නිර්මාණය වන්නේ ද අයහපතම ය. මනුෂ්‍යයන් ලෙස බොහෝ දෙනාගේ අරමුණ
තමන්ට අයහපතක්, අනර්ථයක් නොවනවා දැකීම ය. එහෙත් බෞද්ධයාගේ විශේෂත්වය තමන්ට සේ ම
අනුන්ට ද යහපත, අර්ථය ප්‍රාර්ථනා කිරීම ය. ඊට අනුගතව ජීවිතය පැවැත්වීම ය. ඒ අනුව
සැබෑ බෞද්ධයා සෑම මොහොතක ම අකුසලයෙන් මිදේ. කුසලයෙහි ම යෙදේ.
සම්බුදු දහම ‘දස කුසල්’ යනුවෙන් කුසල ධර්ම දහයක් පිළිබඳ විග්‍රහ කරයි. අකුසල ධර්ම
විනාශ කරමින් තමන්ටත් අන්‍යයන්ටත් අර්ථය ම සලසන නිසා මෙම කුසල ධර්ම මනුස්ස ධර්ම ලෙස
ද විවරණය වේ. යම් කෙනෙක් මේ ධර්මතා කඩ කරනවා නම්, ඔහු රැස් කර ගන්නේ අකුසල් ය.
අනුන්ගේ ජීවිත උදුරා ගැනීම, එසේත් නැතිනම් පරපණ නැසීම අකුසල ය. පරපණ නැසීමෙන්
වැළකීම කුසල ය. අනුන් සතු දේ සොර සිතින් තමන් සතු කර ගන්නවා නම්, එය අකුසලයකි.
සොරකමින් වැළකීම කුªසලයකි.
කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයා රැස් කර ගන්නේ අකුසලයකි. කාමයෙහි වරදවා හැසිරීමෙන්
වැළකීම කුසලයකි. බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැති බව ධර්මයෙහි විස්තර
කෙරේ. බොරුකීම අකුසලයකි. බොරුවෙන් වැළකීම කුසලයකි.
කේලාම් අද බොහෝ අය අතර දකින්නට ලැබෙන තත්ත්වයකි. නිවස තුළ සේ ම රාජකාරී කටයුතු කරන
ආයතන පරිශ්‍රයන්හි ද කේලම නිසා සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවනු පෙනේ. කේලම රජයන
තැන සුදුස්සාට සුදුසු තැන නොලැබේ. සිත් බිඳීම්, නොපහන් ස්වභාවයන් වර්ධනය වේ. කේලම්
කීම ද අකුසලයකි. එයින් වැළකීම කුසලයකි.
කෙනෙක් තමන්ගේ තරහව ප්‍රකාශ කරන්නේ ඵරුෂ වචනයෙනි. ඇතැම් විට කෙනෙක් පුරුද්දක් ලෙසට
ම ඵරුෂ වචන භාවිත කරනු පෙනේ. එය අමිහිරි, සිත් රිදවීම් ගෙන දෙන ව්‍යවහාරයකි. දුරදිග
ගියේ නම් ජීවිත විනාශයක ආරම්භය පවා විය හැකි ය. ඵරුෂ වචන බිණීම ද අකුසලයකි. ඉන්
වැළකීම කුසලයකි.
හිස් වචන කාලය කාදමයි. බොහෝ අනර්ථ සිදු කරයි. ඇතැම් ආයතන පරිශ්‍රයන්හි සේවය කරන
පිරිස් අතර සුලබ ව දක්නට ලැබෙන තත්ත්වයකි. පරිහානියට මඟ විවර කරන හිස් වචන කීම ද
අකුසලයකි. හිස් වචනයෙන් වැළකීම කුසලයයි.
දැඩි ලෝභය අභිජ්ඣාවයි. දැඩි ලෝභය නිසා තමන් ද සැප නොවිඳ අන්‍යයන්ට ද කිසිදු සරණක්
නොවන අය බුද්ධ කාලීනව ද විසූහ. අද ද වෙති. තම පියාගේ දැඩි ලෝභය නිසා අසරණ වුණු
මට්ටකුණ්ඩලී කතා පුවත අපි අසා ඇත්තෙමු. දැඩි ලෝභය ද අකුසලයකි. එයින් තොරවීම
කුසලයකි.
ක්‍රෝධය යනු ව්‍යාපාදයයි. ක්‍රෝධය නිසා වන විපත් මොනතරම් ද? අහිමිවීම්, සිත් බිඳීම්
වැනි අහිමිරි අත්දැකීම් මොන තරම් ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවනවා ද? ක්‍රෝධය ද
අකුසලයකි. ක්‍රෝධ නොකිරීම කුසලයකි.
කෙනෙක් මිච්ඡාදිට්ඨිය නිසා ම පව් රැස් කර ගනිති. තමන් ද විපතේ වැටී අනුන් ද එහි ළඟා
කරවන්නට වෙහෙසෙති. එය අකුසලයකි. සම්මා දිට්ඨිය කුසලයයි.
මෙම දස කුසල, දස අකුසල ධර්ම තෝරා බේරාගන කුසලය පමණක් ජීවිතයට පුරුදු පුහුණු කිරීම
ය, සැබෑ බෞද්ධයාගේ ස්වභාවය වනුයේ. |