සුදු කළු කර්මය

සුදු කළු කර්මය

සම්බුදු දහම පුද්ගලයා මිථ්‍යා දෘෂ්ටියෙන් මුදා සම්මා දිට්ඨියෙහි පිහිටුවීය. ඒ සඳහා දේශිත අනුශාසනා පෙළ දහමෙහි නිතර හමුවේ. යහපත කරන්නාට යහපත් ප්‍රතිඵල ද, අයහපත කරන්නාට අයහපත් ප්‍රතිඵල ද අත්විඳීමට සිදුවන බව බුදුසමය අවධාරණය කරයි. වපුරන්නේ යම් බීජයක් ද ඵල වශයෙන් ලැබෙන්නේ ඊට සමානවයි.

එමෙන් ම කරන කර්මයන්ට අනුරූප ව ප්‍රතිඵල ලැබේ. තවද කර්මය නිසා ලෝකය පවත්නා බවත්, කර්මය නිසා ප්‍රජාව ජීවත් වන බවත් ගමන් කරන රථයක රෝදය නොගැලවීමට සවිකරන කඩ ඇණය ලෙසින් සත්ත්වයා කර්මයට බැඳී පවත්නා බවත් සඳහන් වේ.

මෙබඳු තත්ත්වයක් මත කයින්, වදනින්, සිතින්, කර්ම කිරීමේ දී යළි යළිත් නුවණින් විමසා බලා එය සිදු කරන ලෙස පෙළ දහමෙහි නිතර අවධාරණය කර ඇත. එහිදී යහපතෙහි යෙදෙන ලෙසත්, අයහපතින් මිදෙන ලෙසත් දැක්වේ. දරුවන් හදන මවුපියන් විසින් දරුවනට සිදු කළ යුතු යුතුකම් අතර ද පළමුවෙන් ම සඳහන් වන්නේ තම දරුවන් පාපයෙන් මුදා යහපතෙහි යොදවන ලෙසයි. අයහපතින් මිදීම හා යහපතෙහි යෙදීම සඳහා වූ මෙම අනුශාසනාව වූ කලි අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං – ඒතං බුද්ධානු සාසනං

යමකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වීමට බලපාන ප්‍රධාන සාධක වනුයේ ඔහු විසින් කරනු ලබන කර්මයේ ස්වභාවයයි.

යම් කෙනෙක් පෙර පින් කර ඇති බව දෙලොවට ම අභිවෘද්ධිදායී මංගල කරුණක් ලෙස දැක්වේ. මෙබඳු ස්වභාවයෙන් යුතු කර්මයට සුළු වූවකැ'යි අවමන් නොකරන ලෙස ද බුදුසමය අවධාරණය කරයි.

පාප කර්ම කළ කෙනකුට ඉන් මිදී සැඟවිය හැකි තැනක් මිහිපිට කිසිදු තැනක නැති බව සඳහන් වේ. විපාකයන්හි ස්වභාවය අනුව කර්මය කොටස් හතරකට බෙදේ.

කළු විපාක ඇති කළු කර්ම – සතර අපායේ දුක් විඳීමට හේතු වන කර්ම

සුදු විපාක ඇති සුදු කර්ම – සදෙව් ලොව, බඹලොව ඉපදීමට හේතුවන කර්ම

කළු හා සුදු යන මිශ්‍ර විපාක ජනිත වන කර්ම – මිනිස් ලොව ඉපදීමට හේතුවන කර්ම.

කළු ද නොවූ සුදු ද නොවූ විපාක දෙන කළු ද නොවූ සුදු ද නොවූ කර්ම – නිවන කර්ම/ ක්ෂය කර්ම

මෙලොව ඇතැම් කෙනෙක් දෝෂ සහිත ව කයින්, වචනයෙන් සිතින් කර්ම රැස් කරති. මෙලෙස කයින්, වචනයෙන්, සිතින් දෝෂ සහිතව කර්ම රැස්කොට දෝෂ සහිත වූ ලෝකයට උපතක් සඳහා පැමිණෙයි. දුක් සහිත ලොවෙහි උපත ලද ඔහු දුක් සහිත විපාක ස්පර්ශ කරයි. දුක් සහිත ස්පර්ශයන්ගෙන් පහස ලද ඔහු ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාක වේදනා විඳියි. නිරයෙහි සත්ත්වයන් දුක් විඳින්නාක් මෙනි. අනිෂ්ට විපාක ඇති අකුසල කර්ම යැයි කියනු ලබන්නේ මෙබඳු කර්මයන්ට ය.

මෙලොව ඇතැම් කෙනෙක් නිදොස් වූ කාය, වචී, මනෝසංස්කාර රැස් කරති. මෙලෙස නිදොස් වූ කාය, වචී, මනෝ සංස්කාර රැස් කොට දුක් රහිත ලොවක උපතට පැමිණෙති. දුක් නැති ලොවට පැමිණ දුක් රහිත විපාක ස්පර්ශ කරති. ඔවුහු ඒකාන්තයෙන් සැප සහිත වූ ආබාධ රහිත ව සැප වේදනා විඳිති. සුභකිණ්ණ දෙවියන් මෙනි.

මෙලොව ඇතැමෙක් සදොස් වූ ද, නිදොස් වූ ද, කාය,වාග්, මනෝ කර්ම රැස් කරති. මෙලෙස සදොස් සහ නිදොස් වූ කර්ම තිදොරින් රැස්කොට දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ලෝකයන්හි උපත ලබති. ඊට අනුරූපව කලින් කල දුක් සහිත වූ ද දුක් රහිත වූ ද විපාක වේදනා විඳිති. ඇතැමෙක් මිනිසුන් මෙනි. ඇතැමෙක් වේමාණික දෙවියන් මෙනි.

මෙලොව කළු විපාක ගෙන දෙන කළු කර්මයන්ගේ ක්ෂය කිරීම සඳහා හේතුවන යම් චේතනාවක් ඇද්ද, සුදු විපාක ගෙන දෙන සුදු කර්මයන්ගේ ක්ෂය කිරීම සඳහා හේතුවන යම් චේතනාවක් ඇත්ද, කළු සුදු මිශ්‍ර විපාක ගෙන දෙන කළු සුදු මිශ්‍ර කර්මයන්ගේ ක්ෂය කිරීම සඳහා හේතුවන යම් චේතනාවක් ඇත්ද මෙය කර්ම ක්ෂය කිරීම සඳහා හේතුවන කළුත් නොවන සුදුත් නොවන කර්ම යැයි කියනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ මෙම සතරාකාර කර්මයන් ලොවට දේශනා කරන්නේ තමන් වහන්සේගේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ගෙන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]