මානය අවමානයකි

මානය අවමානයකි

මානය නම් මැනීමයි. අප බොහෝවිට සමාජයේ පුද්ගලයන් මැනීමට ලක් කරනවා. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ මානතථද්ධ සූත්‍රයේ දී මෙ කරුණ පැහැදිලි කර දී තිබෙනවා.

“මානේන මක්ඛටෝ හෝති”
මානය නිසා වඳුරන් වෙනවා.
“අතිමානේන කුක්කුරෝ”
අතිමානයෙන් සුනඛයන් වෙනවා

සැවැත්නුවර මානතථද්ධ නම් බමුණෙක් වාසය කළා. ඔහු මවට, පියාට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, වඳින්නේ පුදන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට ධර්මය දේශනා කරමින් වැඩ සිටි තැනට මෙම බමුණා පැමිණියා. ගෞතමයන් වහන්සේ මට කතා කළොත් මමත් කතා කරනවා. කතා නොකළොත් මම කතා කරන්නෙත් නෑ කියා නිශ්ශබ්ද ව සිටියා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සමඟ කතා නොකොට බැහැරට යාමට සූදානම් වුණා. එය දැනගත් බුදුරජාණන් වහන්සේ මානතථද්ධ බමුණාට මෙසේ වදාළා.

“බ්‍රාහ්මණය, මෙහි ප්‍රයෝජනයක් අපේක්ෂා කරන්නේ නම් මානය වැඩීම හොඳ නැහැ. යම් ප්‍රයෝජනයක් සඳහා ආවේ නම් එය සිදු කර ගන්න.”

ඉන්පසු බුදුරජාණන් වහන්සේ මගේ අදහස දැන ගත්තේ යැයි සිතා බුදු සිරිපා මුල වැඳ වැටී සිරිපා වැලඳ ගෙන

“භවත් ගෞතමයෙනි, මම මානත්ථද්ධ වෙමි” තමා නමින් හඳුන්වා දුන්නේ ය. එය දුටු රැස්ව සිටි පිරිස පුදුමයට පත්වී මෙලොව සිල්වත්, ගුණවත් කිසි කෙනෙකුට ගරු බුහුමන් නොකරන මානතථද්ධ අද භාග්‍යවතුන් වහන්සේට වඳිනවා, පුදනවා යැයි සිතුවා. බමුණා නැඟී සිට බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

“ස්වාමීනි, කවරකුට මානය නොකළ යුතු ද? කවරකුට ගෞරව කළ යුතු ද? වැඳුම් පිදුම් කළ යුතු ද?

එවිට බුදුරජාණන් වහන්සේ මව්පිය ගුරුවරාදීන් කෙරෙහි ද, වැඩිහිටි සහෝදරාදීන් කෙරෙහි ද, මානය නොකර ගරු බුහුමන් කළ යුතු ය. බුදු, පසේ බුදු, මහරහතුන් කෙරෙහි ද මානය නොකළ යුතු යැයි වදාළ සේක.

ඉන්පසු මානතථද්ධ බමුණා, වසා තිබුණ දෙයක් වැහුම් ඇර පෙන්වන්නා වාගේ, අන්ධකාරයේ සිටියකුට පහනක් දල්වා රූප පෙන්වන්නා වාගේ, ඔබ වහන්සේ නියම මාර්ගය පෙන්වා දුන් සේක. අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු වශයෙන් මා පිළිගනු මැනවයි” ඉල්ලා සිටියා. ඔහු එ දවස මානය දුරු කර ගත් අතර, බුදු සව්වකු ද වූවා.

මානය නිසා මව්පියන්ට, ගුරුවරුන්ට, සිල්වතුන්ට, වැඩිහිටියන්ට අනාදර වෙනවා. එවිට ඔවුනට වැඳීම් පිදීම් ආදියෙන් ලද හැකි පින් ලබා ගත නොහැකි වෙනවා. අවමන් ලද අන්‍යයෝ මානය ඇති අයට සතුරු වෙනවා. මිතුරෝ අඩු වෙනවා. තමාට ප්‍රමාණ නොවෙතැයි සලකා තමන් විසින් කළ යුතු දේ අනුන් ලවා කරවන්නට යෑම, පමණ ඉක්මවා වියදම් කිරීම ආදියෙන් අධික මානය ඇත්තාගේ ධනය ද පිරිහෙනවා. මානයේ ලක්ෂණ තුනක් මෙසේයි.

සෙය්‍ය මානය - තමා අන්‍යයන්ට වඩා උසස් යැයි ඇති කර ගන්නා මානය

සදිස මානය - තමා අන්‍යයන් හා සමාන යැයි ඇති කර ගන්නා මානය හා

හීන මානය - තමා අන්‍යයන්ට වඩා පහත් යැයි ඇති කර ගන්නා මානයයි.

මානය සතර ආකාරයකින් අටුවාවේ දක්වා තිබෙනවා.

ලාභ සත්කාර නිසා ඇතිවන මානය, කීර්තිය නිසා ඇතිවන මානය, සැප සම්පත් නිසා ඇතිවන මානය හා ප්‍රශංසාව නිසා ඇතිවන මානය ලෙසයි.

චුල්ල නිද්දේස පාලියේ පුද්ගලයාගේ පංචේන්ද්‍රිය මුල් කර ගනිමින් මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබමින් මෙතරම් ආශ්වාදයක්, රසයක් ලබමි’යි යන මානය නිසා මානය පස් වැදෑරුම් කොට දක්වා තිබෙනවා.

සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි කර තිබෙන්නේ මානය, අතිමානය, මානාතිමානය, හීනමානය, අධිමානය, අස්මිමානය හා මිච්ඡා මානය යනුවෙනුයි. මෙම මාන සත ඇති වන්නේ ජාති, කුල, ගෝත්‍ර වශයෙන් ඇති කර ගන්නා මනෝභාවයන් වශයෙනුයි.

අටලෝ දහම වූ ලාභ, අලාභ, අයස, යස, නින්දා ප්‍රශංසා, සැප, දුක නිසා මානය ඇතිවෙනවා. අතිමානයත්, හීනමානයත් ඇති වෙනවා.

මානයේ නව වැදෑරුම් ස්වරූපය මහා නිද්දෙසයෙහි දක්වනුයේ මම ශ්‍රේෂ්ඨයාට වඩා ශ්‍රේෂ්ඨ වෙමි. මම ශ්‍රේෂ්ඨයාට සමාන වෙමි. මම ශ්‍රේෂ්ඨයාට වඩා හීන වෙමි'යි ආදී වශයෙනුයි.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]