ද්වේශයෙන් දැවෙන සිත
සුවපත් කිරීමේ
නොවරදින ඔසුව
බිබිල,ඇකිරියන්කුඹුර,
බැලුම්ගල ආරණ්‍ය සේනාසනයේ
පොතුහැර විපස්සී හිමි
ද්වේශයෙන් දැවෙන සිතක් සුවපත් කිරීම සඳහා නොවරදින ඔසුව නම් මෛත්‍රියයි. එහෙත් කලක්
මෛත්‍රිය හොඳින් පුරුදු පුහුණු නොකළ අයකුට උපන් ද්වේශය ඉක්මනින් දුරු කිරීම අපහසු
දෙයකි.
බොහෝ කලක් පටන් සිත තුළ පවත්වන ද්වේශය, ආඝාතය ලෙස හඳුන්වයි. යම් පුද්ගලයකු පිළිබඳ
සිත තුළ ආඝාතය ඇති වූ විට, විටින් විට එය සිහිපත් වීමෙන් ඔහු පීඩාවට පත් කරයි.
එබැවින් උපන් ආඝාතය දුරු කර ගැනීම, තමාට මෙන් ම අන් අයට ද යහපත පිණිසත්, තමන්ගේ
සිතේ සැනසීම පිණිසත් උපකාර වේ.
සිතෙහි හටගත් ආඝාතය දුරු කර ගැනීම සඳහා උපක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ විසින්
දේශනා කොට ඇත. යම් පුද්ගලයකු මුල් කොට සිත තුළ ආඝාතය (ද්වේෂය) ඇති වූ විට එම
පුද්ගලයා කෙරෙහි මෛත්‍රි කළ යුතු ය. එවිට ඔහු කෙරෙහි උපන් ද්වේශය පහවී යනු ඇත. එසේ
නොමැති නම් ඒ පුද්ගලයා කෙරෙහි “කරුණාව“ වැඩිය යුතු ය. කරුණාව දියුණුූ කිරීමෙන් ද
ද්වේශය පහවී යනු ඇත.
පුද්ගලයකු කෙරෙහි උපන් ද්වේශය දුරු කිරීම පිණිස “උපෙක්ඛාව“ හෙවත් මැදහත් බව ද උපකාර
කර ගත හැකි ය. එසේ නොමැති නම් ඒ පුද්ගලයා පිළිබඳ මෙනෙහි නොකර සිටීම (අසති
අමනසිකාරෝ) ද ද්වේශය දුරු කර ගැනීම පිණිස භාවිත කළ හැකි උපක්‍රමයකි.
මෙයට අමතරව ඒ පුද්ගලයා ද කර්මය නිසාම උපන් (කම්මයෝනි), කර්මය ම දායාදය කොට ගත්,
කර්මය ම පිළිසරණ කර ගත් පුද්ගලයකු වශයෙන් කර්මයෙහි ඇති උපයෝගීතාව පිළිබඳ සිහිපත් කළ
යුතු ය. එවිට ද සිතේ හටගත් ද්වේශය (ආඝාතය) පහ වී යනු ඇත.
පුද්ගලයකු මුල් කොට සිත තුළ ද්වේශය ඇතිවන්නේ ඒ පුද්ගලයාගේ කායික හෝ වාචසික යම්
වරදක් දැකීමෙනි. එම කයෙහි හෝ වචනයෙහි වරද පිළිබඳ නුවණින් විමසා බලා මධ්‍යස්ථ වීමට
හැකි නම්, උපන් ද්වේශය (ආඝාතය) දුරු කර ගැනීමට හැකි වේ. මේ අයුරින් නුවණින් විමසා
බලමින් උපන් ආඝාතය දුරු කර ගන්නා ආකාරය පිළිබඳ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්
විසිතුරු උපමා ඇසුරෙන් අපට පැහැදිලි කර දී ඇත.
යම් පුද්ගලයකුගේ කායික ක්‍රියාවන්ගේ බොහෝ වැරැදි අඩුපාඩු ඇත. නමුත් ඔහුගේ වචනය ඉතා
යහපත් වේ. සෑම විට ම තමාටත්, අන් අයටත් යහපත පිණිස පවතින වචන කතා කරයි. යම් විටෙක
මේ පුද්ගලයා කෙරෙහි සිතේ ආඝාතයක් හට ගන්නේ නම්, ඒ ඔහුගේ වැරැදි කායික ක්‍රියාවන්
හේතු කොට ගෙන ය. මෙහිදී උපන් ආඝාතය දුරු කර ගැනීමේ උපක්‍රමය ලෙස සාරිපුත්ත මහ රහතන්
වහන්සේ දේශනා කරන්නේ, ඔහුගේ ඒ වැරැදි කායික ක්‍රියාව අමතක කොට ඔහුගේ යහපත් වචනය
පිළිබඳ සිහිපත් කිරීමයි.
මෙය ඉතා විසිතුරු උපමාවක් ඇසුරින් අපට පැහැදිලි කර දෙයි. සිවුරක් සකස් කර ගැනීමට
පාංශුකූල රෙදි (ඉවත දමන ලද රෙදි) සොයමින් යන භික්ෂුවකට මහමඟ දමා ඇති රෙදිකඩක්
හමුවෙයි. වම් පාදයෙන් රෙදි කඩෙහි කෙළවරක් පොළවට තද කර දකුණු පාදයෙන් රෙදිකඩ දිග
හරියි. ඉන් පසු ප්‍රයෝජනයට ගත හැකි හොඳ කොටස ඉරාගෙන රැගෙන යයි. මේ අයුරින් ම ඒ
පුද්ගලයාගේ වැඩකට නැති කායික ක්‍රියා අමතක කොට යහපත් වචනය පමණක් සිහිකිරීමෙන් උපන්
දේවේෂය පහවී යනු ඇත.
සමහර පුද්ගලයන්ගේ වචනයෙහි බොහෝ වැරැදි අඩුපාඩු ඇත. සෑම විටම අන් අය කරදරයට පත්වන,
පීඩාවට පත්වන වචන ම කතා කරයි. බොරුකීම, කේලාම් කීම, රළු වචන කතා කිරීම හා වැඩකට
නැති හිස් වචන කතා කිරීම වශයෙන් සතර ආකාරයකින්, ධර්මයෙහි වැරැදි වචනය පිළිබඳ විස්තර
වේ.
සමහර පුද්ගලයින් මේ සතර ආකාරයේ ම හෝ කිසියම් අයුරකින් වැරැදි වචන කතා කරනවා විය
හැකි ය. නමුත් ඔහුගේ කායික ක්‍රියා ඉතාම යහපත් වේ. සතුන් මැරීම ආදී වූ විවිධ කායික
වැරැදි කිසිවක් සිදු නොකරමින් කය සංවර කරගෙන සිටී නම් ඔහු කෙරෙහි සිතෙහි ආඝාතයක් හට
ගන්නේ ඔහුගේ වචනයෙහි වැරදි අඩුපාඩු නිසා ය. ඒ මොහොතේ ඔහුගේ වැරැදි වචනය පිළිබඳ අමතක
කොට යහපත් වූ කායික ක්‍රියා පිළිබඳ සිහිපත් කළ යුතු ය. කායික ක්‍රියා මුල් කොට ඔහු
යහපත් අයකු ලෙස සිතන්නට පුහුණු විය යුතු ය. මේ අයුරින් සිහිපත් කිරීමේ දී ඔහුගේ
වැරැදි වචනය නිසා සිතෙහි හටගත් ආඝාතය දුරුවී යනු ඇත.
මේ කාරණය ද ඉතාම විසිතුරු උපමාවක් ඇසුරින් අපට පැහැදිලි කර දී ඇත. පා ගමනින් බොහෝ
දුර ගමනක් යන පුද්ගලයකු, දහවල් කල අවු රැසින් පිපාසාවටත්, විඩාවටත් පත් වේ. මහමඟ
අසල දිය පොකුණක් ඇතත් දියසෙවලින් ජලය වැසී ඇත. ඔහු පොකුණට බැස දෑතින් දියසෙවෙල
දෙපසට කර දිය බී යන්නේ යම් සේ ද, ඒ අයුරින් වචනයෙහි වැරැදි ඇති පුද්ගලයාගේ වැරැදි
වචනය සිහි නොකොට යහපත් කායික ක්‍රියාව පමණක් සිහි කිරීමෙන් උපන් ආඝාතය දුරු කර ගත
හැකි ය.
මෙලොව සමහර පුද්ගලයන්ගේ කායික ක්‍රියාවන්ගේ මෙන්ම වචනයෙහි ද වැරැදි අඩුපාඩු ඇත.
නමුත් කලින් කලට දන්පැන් පූජා කිරීම ආදි පින්දහම්හි නිරත වෙයි. එමෙන්ම කලාතුරකින්
හෝ කය වචනය සංවර කොට සීල සමාදානය පිණිස උත්සාහ දරයි. කලින් කල යහපත් කටයුතුවල නිරත
වන මෙවැනි පුද්ගලයකු කෙරෙහි ආඝාතය ඇතිවන්නේ වැරැදි කායික හා වාචසික ක්‍රියාවන් නිසා
ය. එහිදී ඔහුගේ කය, වචනයෙහි ඇති වැරැදි අඩුපාඩු අමතක කර ඉතා සුළුවෙන් හෝ සිදු කරන
යහපත් ක්‍රියා සිහිපත් කොට සිත තුළ උපන් ද්වේශය දුරු කර ගත යුතු බව සාරිපුත්ත
ස්වාමින් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ කරුණ ද උපමාවක් ඇසුරින් තව දුරටත් විස්තර කොට වදාළහ. දුරගමනක් යන, බොහෝ වෙහෙසට
පත්වූ පුද්ගලයෙක් පිපාසය සඳහා ජලය ටිකක් සොයන විට, ඉතා කුඩා දිය වළක ජලය ඉතා
ස්වල්පයක් තිබෙනු දකියි. එය අතින් හෝ භාජනයකින් ගන්නේ නම් දිය කැලතී මඩ වන නිසා,
ඔහු බිම දණ නමා තබා මුවින් ම ජලය බී ගමන් කරයි. මේ අයුරින් කය, වචනය, දෙකෙහි ම
වැරැදි ඇතත් ඉතා සුළුවෙන් ඇති යහපත් ක්‍රියා සිහිකොට ද්වේශය (ආඝාතය) දුරු කළ යුතු
බව පෙන්වා දෙයි.
එමෙන්ම සමහර පුද්ගලයන්ගේ කායික ක්‍රියා මෙන් ම, වචනය ද ඉතාම නරක වේ. කලින් කලට හෝ
සිදු කෙරෙන කිසිදු යහපත් ක්‍රියා ද දක්නට නැත. මුළුමනින් ම තමන්ටත්, අන් අයටත්
අයහපත පිණිස පවතින ලෙස කටයුතු කරයි.
එනමුත් මේ පුද්ගලයා කෙරෙහි ද ද්වේශයක් ඇති කර නොගත යුතු බව සාරිපුත්ත හිමියෝ දේශනා
කොට වදාළහ. කෙසේ නම් මේ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරු කර ගන්නේ ද යන්න උපමාවක්
ඇසුරින් පෙන්වා වදාළහ.
එනම් බොහෝ සේ ගිලන් වූ, හටගත් ආබාධ ඇති, දුකට පත් වූ පුද්ගලයකු මහමඟ ගමන් ගනී. ඔහුට
ගැළපෙන ආහාරපාන ද කිසිවක් නැත. ගිලන් බවට සුදුසු බෙහෙත් ද නැත. සුදුසු උපස්ථායකයකු
ද නැත. මේ බව දකින වෙනත් අයකු “අනේ මේ පුද්ගලයා විනාශයට පත් නොවී සුදුසු බෙහෙත්
ලැබේ නම්, සුදුසු ආහාර පාන ලැබේ නම්, සුදුසු උපස්ථායකයකු ලැබේ නම් යනුවෙන් ඔහු
පිළිබඳ කරුණාව උපදවා ගනී. මේ අයුරින් ම කය වචනයෙහි වැරැදි අඩුපාඩු සහිත කිසිදු
යහපත් ක්‍රියාවක නොයෙදෙන පුද්ගලයා කෙරේ ද “අනේ මේ පුද්ගලයා මරණින් පසු නිරය ආදි
දුගතියට නොපැමිණේවා යනුවෙන් අනුකම්පාව, කරුණාව උපදවා ගෙන උපන් ආඝාතය දුරු කර ගත
යුතු බව සාරිපුත්ත ස්වාමින් වහන්සේ පෙන්වා වදාළහ.
මේ අයුරින්ම කය වචනයෙහි කිසිදු වැරැදි අඩුපාඩු නැති, යහපත් ක්‍රියාවල යෙදෙන
පුද්ගලයා කෙරෙහි ද කුමන හෝ හේතුවක් නිසා සිතෙහි ආඝාතය ඇති වූයේ නම් ඔහුගේ පිරිසුදු
කය වචනය පිළිබඳ, සිදු කරන යහපත් ක්‍රියාවන් ද සිහිකොට උපන් ආඝාතය දුරු කර ගත යුතු
ය. එයට උපමාවක් ලෙස දක්වන්නේ, දුර ගමනක් සඳහා මහමඟට පැමිණි පුද්ගලයකු ගමන් වෙහෙසට
හා පිපාසයට පත් වේ. මහමඟ අසල ඉතාම පිරිසුදු සීතල ජලය ඇති පොකුණක් වේ. එසේම වාඩි වී
ගිමන් නිවාගත හැකි ගස් සෙවණ මෙන් ම ආසන ද ඇත. ඒ පුද්ගලයා පොකුණට බැස දිය බී දිය නා
ගොඩට පැමිණ ගස් සෙවණේ සිට ගිමන් නිවා ගන්නේ යම් සේ ද, එසේම යහපත් පුද්ගලයා පිළිබඳ ද
ඔහුගේ යහපත් කය, වචනය හා යහපත් ක්‍රියා සිහිකොට උපන් ආඝාතය දුරු කර ගත යුතු ය.
(අංගුත්තර නිකාය 3 - පළමු, දෙවන ආඝාත පටිවිනය සූත්‍ර දේශනා ඇසුරිනි) |