සැරියුත් - මුගලන් ධාතුන් වහන්සේ වැඩ සිටින උතුම් දඹදිව වන්දනීය දාගැබ්

සැරියුත් - මුගලන් ධාතුන් වහන්සේ වැඩ සිටින උතුම් දඹදිව වන්දනීය දාගැබ්

බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම වූ සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ උතුම් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් වූයේ සම්බුද්ධත්වයෙන් පසු එළැඹි නවම් පොහෝ දිනෙක ය. ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ අතර අග තනතුරු දැරූ සැරියුත් තෙරුන් දකුණත්සව් ලෙසත්, ඝෘද්ධිමතුන් අතර අගතැන් දැරූ මුගලන් තෙරුන් වමත්සව් ලෙසත් ශ්‍රාවක භික්ෂු සංඝයා අතර මුල්තැන ගත්හ.

සම්බුදු දහම ඔපවත් කළ තේජමාන බවින් යුත් දෑඅගසව්වන් වහන්සේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත් නාලන්දාව ජන්මභූමිය කර ගත්හ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී ම ලෝකයේ ඉදිවූ මුල් ස්තූප අතරට මෙම දෑඅගසවුවන් වහන්සේගේ ස්තූප ද නිතැතින් ම අයත් වේ.

සැරියුත් තෙරුන් වහන්සේගේ පිරිනිවීම සිදු වූයේ රජගහනුවර සමීපයේ දී බැවින් ආදාහනයෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත්කොට සැවැත්නුවර ජේතවනාරාම භූමියේ ම කුඩා ස්තූපයක් බඳවා ඇති බව ඓතිහාසික ව වාර්තා වේ. මුගලන් තෙරුන් වහන්සේගේ පිරිනිවීම රජගහනුවර සමීපයේ ගල් ලෙනක සිදුවූ හෙයින් ආදාහනයෙන් පසුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නිදන් කොට රජගහනුවර වේළුවනාරාමයේ ම කුඩා ස්තූපයක් ඉදි කළ බව ද බෞද්ධ ග්‍රන්ථවලින් පැහැදිලි වේ.

කෙසේ වුවද සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ ම ධාතුන් වහන්සේ දඹදිව විවිධ ස්ථානවල නිදන් කොට ස්තූප බඳවා ඇති බව පුරාවිද්‍යාත්මක ව තහවුරු වී ඇත. එසේම අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය වැනි රටවලට ද බෙදා හැර ඇති බව පසුකාලීන ව පෙනී යයි.

වර්ෂ 1851 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් විසින් සාංචියේ කරන ලද ගවේෂණයක දී ධාතුන් වහන්සේ තැන්පත් මංජුසා දෙකක් සොයා ගෙන ඇති අතර ඒවායේ පියන්වල බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා තිබූ නම් පරීක්ෂා කිරීමේ දී “සාරිපුත්තයන්ගේ ධාතු” “මොග්ගල්ලානයන්ගේ ධාතු” යන අර්ථය පැහැදිලි කර ගෙන තිබේ.

ඉන් පසුව සාංචියට සැතපුම් කිහිපයක් බටහිර දෙසින් පිහිටි සත්ධාරා නගරයේ කරන ලද කැණීමක දී ධාතුන් වහන්සේ තැන්පත් කළ තවත් කුඩා කරඬු දෙකක් ද සොයාගෙන ඇත. ඒවායෙහි ද පියන්වල කොටා තිබූ අභිලේඛන මඟින් සාරිපුත්ත හා මොග්ගල්ලාන රහතන් වහන්සේගේ ධාතු කරඬු බව අනාවරණය කර ගැනීම ද විශේෂත්වයකි.


සාංචියේ අගසවු ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපය


නාලන්දාවේ සාරිපුත්ත මහ වෙහෙර

ඉන්දියාවේ ඉදි කරන ලද මෙවැනි බෞද්ධ ස්තූප හා වන්දනීය ගොඩනැඟිලි බොහෝමයක් මෞර්ය රාජ අවධියට අයත්, ධර්මාශෝක රජුගේ මූලිකත්වයෙන් ඉදි කළ ඒවා බව පෙනී යයි.

නාලන්දාවේ සුප්‍රකට නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ ඉදි කරන ලද සැරියුත් තෙරුන්ගේ ධාතුන් වහන්සේ තැන්පත් ශාරිපුත්ත දාගැබ ද ඓතිහාසික වශයෙන් වැදගත් වේ. ධර්මධර භික්ෂූන් වහන්සේ එක්ව ධර්මය සාකච්ඡා කළ ස්ථානයක් වශයෙන් මෙන්ම ධර්ම ශාස්ත්‍රීය කටයුතු සඳහා ද යොදාගත් පුණ්‍ය භූමියක් ලෙස මෙය විද්වතුන් අතර ප්‍රකට ය.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]