මිතුරන් දෙදෙනකුගේ යහපත් ප්‍රාර්ථනය ඉටු වූ වගයි

මිතුරන් දෙදෙනකුගේ යහපත් ප්‍රාර්ථනය ඉටු වූ වගයි

රජගහනුවර දඹදිව උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුත්‍රයා “උපතිස්ස” යන නමින් ප්‍රකට විය.

කෝලිත නම් බමුණු ගම මහාසාර බමුණු කුලයෙහි මොග්ගල්ලාන බැමිණිය ගේ පුත්‍රයා ප්‍රකට වූයේ “කෝලිත” යන නමිනි.

මෙම කෝලිත - උපතිස්ස දෙදෙනා ඉතා කුඩා කල පටන් ම ඔවුනොවුන්ට කල්‍යාණ මිත්‍රයෝ වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමඟ රජගහනුවර වාර්ෂික ව පවත්වන මහා සැණකෙළියකට සහභාගි වූහ. එය හැඳින්වූයේ “ගිරග්ග සමජ්ජ උලෙළ” ලෙසයි. තරුණ තරුණියෝ ඉතා උනන්දුවෙන් එයට සහභාගි වෙති. අපමණ විනෝදාස්වාදයක් ලබති. උපතිස්ස - කෝලිත දෙදෙනා ද මෙමඟින් මුලදී කිසියම් විනෝදයක් ලැබූහ. ක්‍රමයෙන් මුහුකුරා ගිය නුවණ ඇති ඔවුහු ඒවා නිසරු නිරර්ථක දේ යැයි, කලකිරීමට පත් වූහ.

මෙලොව උපන් සත්ත්ව වර්ගයා මොහොතින් මොහොත මරණය කරා ළඟා වන කල්හි මෙබඳු නැටුම්, ගැයුම්, වැයුම් දෙස බලා විනෝද වීමෙන් ඇති ඵලය කුමක් දැයි දෙදෙනා ම නිතර කතා බහ කළහ. එයම ඔවුන් සංසාරයේ විමුක්තිය සොයමින් සත්‍ය ගවේෂණය සඳහා යොමු වීමට හේතුවක් විය.

ගිහි ගෙය හැර ගිය ඔවුනට පළමුවෙන් ම මුණ ගැසුණේ ෂඩ් ශාස්තෘවරුන්ගෙන් කෙනෙකු වූ “සංජය” නමැති පිරිවැජියා ය. එහෙත් සංජය පිරිවැජියා සතුව ද සැබෑ විමුක්ති මාර්ගය නොමැති බව වැඩිකල් නොගොස් ඔවුහු තේරුම් ගත්හ. එතැනින් නික්මුණු ඔවුන් නැවත සත්‍ය සෙවීමට පිටත්වූයේ “අප දෙදෙනාගෙන් යමකු කිසියම් තැනක දී කවර හෝ ලෙසකින් විමුක්තිය පිළිබඳ මඟ දැනගත හොත් කල්වේලා නොගෙන ඒ බව අනෙකාට ද දැන්විය යුතු ය” යන ගිවිසුම ඇතිව ය.

මෙසේ සත්‍ය සොයමින් යන අතර දිනක් උපතිස්ස පිරිවැජියාට රජගහනුවර දී පස්වග භික්ෂූන් වහන්සේගෙන් එක් නමක් වූ අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැසුණි. සන්සුන් ඉඳුරන් ඇතිව වැඩමවන උන්වහන්සේ ගේ ඉරියව් දුටු උපතිස්ස පිරිවැජියා “ආශ්චර්යයකි. මේ නම් ඒකාන්තයෙන් ම විමුක්තිය ලැබූ උත්තමයන් වහන්සේ නමක් විය යුතු යැ”යි සිතීය. පිඬු පිණිස වැඩමවන වේලාව වන හෙයින් කතා බහ නොකළ යුතු බව සලකා පසුපසින් ගොස් දන් වළඳන වේලෙහි කළ යුතු උවටැන් සිදු කළ උපතිස්ස පිරිවැජියා අවසානයේ දී මෙසේ ඇසීය. ස්වාමීනි, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියයන් ඉතා ප්‍රසන්න ය. කිසියම් විමුක්ති මඟකට පිළිපන් බවක් දිස්වේ. ඔබ වහන්සේගේ ගුරුවරයා කවරෙක්ද? ඔබ කවර නම් කෙනකු ගේ ධර්මයක් ගරු කරන්නෙහි ද?

" ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටිති. මම එම බුදුරජාණන් වහන්සේ උදෙසා ගිහි ගෙය හැර දමා පැවිදි වීමි. උන්වහන්සේ් මාගේ ශාස්තෘවරයාණන් වහන්සේ වෙති."

එවිට මෙසේ විමසීය.

"ස්වාමීනි, ඔබ වහන්සේගේ එම ශාස්තෘන් වහන්සේ දේශනා කරන ධර්මය කුමක්ද?"

"මා පැවිද්දට නවකයෙකි. විස්තර වශයෙන් මට තථාගත ධර්මය දේශනා කළ නොහැකි ය. එහෙත් තථාගත ධර්මයේ මූලික කරුණු එක්කොට කෙටියෙන් ධර්මය පහදා දීමට හැකි ය."

එසේ වදාළ අස්සජී තෙරණුවෝ :–

යෙ ධම්මා හේතුප්පභවා - තෙසං හේතුං තථාගතො ආහ
තෙසඤ්ච යො නිරොධො - එවං වාදී මහාසමණො

යම් ධර්මයක් හේතූන් මුල්කොට පවතී ද එහි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරති. එහි නැතිවීම ද, දේශනා කරති. උන්වහන්සේ එබඳු වාද ඇති කෙනෙකි’යි, බුදුරදුන්ගේ දේශනාව ගෙන හැර දැක්වූහ.

මෙසේ කෙටියෙන් දේශනා කළ ධර්මය මැනවින් වටහා ගත් උපතිස්ස පිරිවැජියා ගාථා දේශනාවේ මුල්පද දෙක ඇසීමෙන් ම සෝවාන් ඵලයට පත් විය. හේ වහා සිය මිතුරු කෝලිත පිරිවැජියා සොයා ගොස් තමා අසා දැනගත් නිවන් මඟ ඔහුට හෙළි කළේ ය. ගාථා පද සතර කියා නිම වෙත් ම කෝලිත පිරිවැජියා ද සෝවාන් ඵලයට පත් විය.

අනතුරුව තමා සමඟ සිටි 250ක් පමණ පිරිවැජි පිරිස ද සමඟ උපතිස්ස – කෝලිත දෙදෙනා බුදුරදුන් වෙත ගොස් පැවිදි උපසම්පදාව ලැබූහ. එහිදී උපතිස්ස – කෝලිත දෙදෙනා හැර සෙසු පිරිස රහත් වූහ. ප්‍රව්‍රජ්‍යාවෙන් පසු උපතිස්ස පිරිවැජියා සාරි බැමිණියගේ පුත්‍රයා බැවින් සාරිපුත්ත ථෙර නමින් ද කෝලිත පිරිවැජියා මොග්ගලී බැමිණිය ගේ පුත්‍රයා බැවින් මොග්ගල්ලාන ථෙර නමින් ද, ප්‍රකට වූහ.

පැවිද්දෙන් දෙසතියකට පසු රජගහනුවර සූකරඛත ලෙනේ දී දීඝනඛ පිරිවැජියාට දේශනා කළ වේදනා පරිග්ගහ සූත්‍රය අසා සැරියුත් තෙරණුවෝ රහත් භාවයට පත්වූහ. සැරියුත් මුගලන් දෙනම ම මහ රහත්භාවය සම්පූර්ණ කළ පසු බුදු රජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයට භික්ෂූන් වහන්සේ 1250 නමක් එක්රැස් කරවා ප්‍රථම සංඝ සන්නිපාතය පැවැත්වූහ.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]