උරුමය කර්මයට අනුවයි

උරුමය කර්මයට අනුවයි

භාග්‍යවතුන් වහන්සේ වදාළා මහරජ, ගෙවීයන ස්වභාවයට අයත් දේ ගෙවී නොයේවා කියන දේ නොලැබිය හැකි කරුණක්. ගෙවී යන දේ අතර තිබෙන වටිනාම දෙය ආයුෂයයි. ආයුෂ වේගයෙන් ගෙවී යනවා. ආයුෂ ගෙවෙන විට පේන ඇස් නොපෙනී යනවා. ඇසෙන කන නෑහී යනවා. ශරීරයේ තිබෙන ශරීර ශක්තිය නැති වී යනවා. අපට තිබෙන පින ගෙවී යනවා. අතීතයේ වුණෙත් මෙහෙමයි. දැන් වෙමින් පවතින්නේත් මෙහෙමයි. අනාගතයේදීත් එහෙමයි සිදු වන්නේ

මේ සංසාර ගමනේ සැරිසරා යන අපට උරුම වන්නේ දුක පමණයි. අපි කැමැති දේ ලැබෙන කොට අපට සිතෙනවා අපි ඉන්නේ සතුටින් කියලා. අපට නම් ප්‍රශ්න, දුක්, කරදර නැහැ කියලා. එහෙත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ සෑම සතුටක්, සැපයක්, ආශ්වාදයක් ළඟම දුක තිබෙන බවයි.

සසරේ අපි කළ පින් සහ පව් එහෙම නැත්නම් කුසල් සහ අකුසල් අපි පැතුවත් නැතත් අපව අත් නොහැරම අප සමඟ එනවා. පින උපකාරයෙන් සැපත්, පව උපකාරයෙන් දුකත් විටින් විට අපට උරුම වෙනවා. සැප මුණ ගැසෙන විට අපි සතුටු වුණත් දුක අප කරා එනකොට අඬා වැටෙනවා. අන් අයට අත දිගු කරමින් නුඹ නිසයි මට මේ දුක කියමින් දෙස් දෙවොල් තියනවා. ඇයි මට ම මේ තරම් දුක් කරදර ගොඩක් කියලා අපි අපෙන් ම අහන අවස්ථා මේ ජීවිතයේ මොනතරම් ද? නමුත් අප කාටවත් මතක නැහැ, සසර ගමනේ දී තමන් තනි තනිව ම කයින්, වචනයෙන්, මනසින් කරගත් දේ නැවත මුණ ගැහිලා කියලා. ඒ නිසා මේ ජීවිතයේ දී වේවා, මතු ජීවිතයක දී වේවා දුකට අකැමැති නම්, පව් කියන දේ කියන්නත්, සිතන්නත්, කරන්නත් එපා. මතු භවයක් පිණිස එවිට කර්මයක් රැස් වෙන බවයි අපගේ ශාස්තෘන් වහන්සේ අපට දේශනා කොට වදාළේ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ සමඟ කොසොල් රජතුමා පිළිසඳරේ යෙදී සිටියදී රජ මැදුරෙන් සේවකයෙක් එක්තරා පණිවිඩයක් රැගෙන ආවා. රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගෙන සේවකයා වෙත ගොස් කරුණු අසා සිටියා. ඔහු කියා සිටියා

“රජතුමනි, මල්ලිකා දේවිය මේ දැන් කළුරිය කළා” කියා. රජුට මේ පණිවිඩය දරා ගන්නට බැරි වුණා. උන්හිටි තැන් මතක නැති වුණා. කිවයුතු දේ වැටහෙන්නේ නැති වුණා.

ඔබ සිතන්න ඔබටත් මේ වගේ අත්දැකීම් ඕනෑතරම් ඇති. අපේ ජීවිතවලට ප්‍රශ්න එන්නේ එහෙමයි. ප්‍රශ්නයක් ඒවි කියන සිතිවිල්ලකවත් නැති වෙලාවේ දී එක පාරටම ප්‍රශ්න කඩා පහත් වෙනවා. දුක් කම්කටොලු, අර්බුද කඩා වැටෙනවා. රජුටත් එහෙමයි. දුගී දුප්පතාටත් එහෙමයි. උගතාටත්, බුද්ධිමතාටත් එහෙමයි. නූගතාටත් එහෙමයි. ප්‍රසිද්ධ චරිතවලටත් එහෙමයි. අප්‍රසිද්ධ චරිතවලටත් එහෙමයි. කොටින් ම දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ සමස්ත සත්ත්වයාට ප්‍රශ්න, දුක් කරදර කඩා වැටෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහටයි. පැවිදි උතුමන්ටත් එහෙමයි.

පසේනදී කෝසල රජුටත් ඒ ආරංචිය බොහෝ දුක ගෙන දුන්නා. සිතේ තිබුණ සැනසීම නැතිවුණා. හිස පහත් කරගෙන කිසිදු දෙයක් තේරුම් කර ගැනීමට බැරිව සිටියා. කළ යුතු දේ වැටහීම් රහිත ව රජු සිටියේ. රජුගේ වාසනාවට ඔහු සිටියේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ළඟයි. මේ ලෝකයට ශාන්තිය දන් දෙන, සැනසිල්ල දන් දෙන, සුවය දන් දෙන මුනිරජාණන් වහන්සේ ඒ මොහොතේ රජුගේ ඉදිරියේ සිටියහ. සිදු වූ සිද්ධිය රජතුමා බුදුරදුන්ට කියා සිටියා.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා මහ රජතුමනි, මේ ලෝකයේ ශ්‍රමණයකුට වේවා, බ්‍රාහ්මණයකුට වේවා, මාරයකුට වේවා, යම්කිසි දෙවියකුට වේවා, වෙනත් කිසිවකුට වේවා නොලැබිය හැකි කරුණු පහක් මේ ලොව තිබෙන බව. මොනවද ඒ කාරණා පහ.

මහ රජතුමනි, ජරාවට පත් වන දේ, දිරායන දේ, නාකි වෙන දේ, ජරාපත් නොවේවා, දිරා නොවේවා, නාකි නොවේවා කියා නොලැබිය හැක්කේ ය.

මේ නොලැබිය හැකි පළමු කරුණයි. මේ ලෝකයේ ධනවතා, නිර්ධනයා කියා වෙනසක් නැහැ. උගතා, නූගතා කියා වෙනසක් නැහැ. බලවතා, දුර්වලයා කියා වෙනසක් නැහැ. ජාති, ආගම් වශයෙන් වෙනසක් නැහැ. ‘ජරා ධම්මං ජීරති’ දිරන දේ දිරනවාමයි. නාකිවෙන දේ නාකි වෙනවා ම යි. වයසට යන දේ වයසට යනවාමයි.

රජතුමනි, ලෙඩ රෝගයට පත්වෙන දේ ලෙඩ රෝගයට පත් නොවේවා'යි නොලැබිය හැක්කේ ය. එය නොලැබිය හැකි දෙවැනි කරුණයි.

ලෙඩ දුකට පත්වන දේ ලෙඩ නොවේවා'යි කියා පැතුමක් තිබුණාට ලෙඩ නොවී තිබෙන්නේ නැහැ. ලෙඩවන ස්වභාවයට අයිති දේ තව තවත් ගොදුරු නොවේවා කියා පැතුමක් තිබුණාට ලෙඩ නොවී තිබෙන්නේ නැහැ. ලෙඩවන දේ ලෙඩ නොවේවා'යි කියන කරුණ මේ ලෝකයේ ශ්‍රමණයකුට, බ්‍රහ්මයකුට, දෙවියකුට, මාරයකු හෝ මේ ලෝකයේ කිසිවකුට ලබන්නට බැහැ.

මහ රජතුමනි, මැරෙන ස්වභාවයෙන් යුතු දේ නොමැරේවා'යි නොලැබිය හැකි දෙයකි. මැරෙන ස්වභාවයට අයිති දේ මැරෙන්නට එපා කියා පැතුවාට එහෙම කොහොම ලබන්න ද? අප මේ උරුම කර ගෙන තිබෙන ශරීරය මිය යන ශරීරයක්. තමා ආදරය කරන අය හිතවතුන් ලෙස, සමීපතමයන් ලෙස ළං කර ගත් යම්තාක් දෙනා සිටිත් ද ඒ සියලුම දෙනා මියයන අයයි. මේ ලෝකයේ මරණයට පත්වන දේ නොමැරේ'වා කියා කිසිවකුට ලබන්නට බැහැ.

අපි හැමෝම මැරෙනවා. නමුත් කවුරුත් දන්නේ නැහැ අපි මැරෙන දවස. ඒ වගේම අපි දන්නේ නැහැ මැරෙන ක්‍රමය. අපි හැමෝම මරණය ළඟ තබාගෙනයි ඉන්නේ. ඇතැම් වෙලාවට මරණය එන්නේ වෙහෙසකර විදිහටයි. අපගේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ සොරුන් 500කගේ පහර කෑමෙන්. කර්ම විපාකයක් හේතුවෙන් මෙහෙම වෙන්නේ'යි කියලා උන්වහන්සේ දැනගෙන සිටියා.

කැලණිතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ තෙල් කටාරමක තැම්බිලා. මරණය එන ආකාරය හිතන්න බැහැ. ඡත්තමානවක මිය ගියේ පාළු වනයක සොරුන්ගෙන් ගුටි කාලා. ශාක්‍යයන්ට මරණය ආවේ අමු අමුවේ පෙති ගහලා. තමාගේ පි‍්‍රයමනාප ඥාති එකිනෙකා පෙති ගහනවා ඔවුන් දෑසින් දුටුවා. ඒ දෙස බලාගෙන තමාටත් මැරෙන්න වුණා. මරණය එන විදිහ කියන්න බැහැ.

මරණය කොහොම ආවත් ඒ මරණය ඉදිරියේ අපි මුහුණ දෙන ක්‍රමවේදය කෙසේද කියන දේ තමා වැදගත්. මරණයට මුහුණ දෙද්දී හිත පවත්වන ක්‍රමවේදයයි වැදගත්.

මේ ජීවිතයට එන සියලු දුක් කරදර පීඩා ඉදිරියේ අපි සිත හදාගෙන තිබෙන්නේ කොහොමද? එයට මුහුණ දෙන මොහොතේ සිතේ තිබෙන ශක්තිය කොහොමද කියන දේ මරණ මොහොතේ දී ගොඩාක් වැදගත්.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා මහරජතුමනි, නැසෙන දේ නොනැසේවා'යි, නොලැබිය හැකි කරුණකි. නැසෙන දේ නැසී යන්න එපා, විනාශ වන දේ විනාශ වෙන්න එපා, කැඩී යන දේ කැඩී යන්න එපා, කියා ලබන්න බැහැ.

අපි දන්නවා මිනිසුන් උස ගොඩනැඟිලිවලට යනවා තමන්ගේ ආරක්ෂාවට. නමුත් නොසිතූ ලෙස ඒ ගොඩනැඟිලි කඩා වැටෙනවා. මිනිසුන් ඒවාට ම යටවී මිය යනවා. අපට පෙනෙනවා නැසෙන දේ නැසී යන ආකාරය. එකම තැනක, එකම වේලාවක බොහෝ පිරිසක් මේ ලෝකය අතහැර යනවා අපට පේනවා. ජීවිතවලට එන දුක් කරදර, විපත්ති හොඳින් නුවණැසින් බලන්න. අනුවණයන් සේ මේ ලෝකය දෙස බලන්න එපා. තවත් කෙනකුට කරදරයක්, ආපදාවක් වූ විට ඒ තුළින් තමාව දකින්න. මට මීටත් වඩා බරපතළ දුක් කරදර එන්න පුළුවන් කියා සිතන්න. එහෙම වෙන්නේ නැහැ කියලා සිතන්න බැහැ. අනෙක් අයට එහෙම වුණාට මට නම් එහෙම වෙන්න එපා කියා කොහොම හිතන්නද?

භාග්‍යවතුන් වහන්සේ වදාළා මහරජ, ගෙවීයන ස්වභාවයට අයත් දේ ගෙවී නොයේවා කියන දේ නොලැබිය හැකි කරුණක්. ගෙවී යන දේ අතර තිබෙන වටිනාම දෙය ආයුෂයයි. ආයුෂ වේගයෙන් ගෙවී යනවා. ආයුෂ ගෙවෙන විට පේන ඇස් නොපෙනී යනවා. ඇසෙන කන නෑහී යනවා. ශරීරයේ තිබෙන ශරීර ශක්තිය නැති වී යනවා. අපට තිබෙන පින ගෙවී යනවා. අතීතයේ වුණෙත් මෙහෙමයි. දැන් වෙමින් පවතින්නේත් මෙහෙමයි. අනාගතයේදීත් එහෙමයි සිදු වන්නේ.

මේ කරුණු පහ ලෝකයේ ශ්‍රමණයකුට වේවා, දෙවියකුට වේවා, බ්‍රහ්මයකුට වේවා, මාරයකුට වේවා කිසිම කෙනකුට වෙනස් කළ නොහැකි, නොලැබිය හැකි කරුණු. වයසට යන දේ වයසට යන්න එපා කියලා ලැබිය නොහැකියි. ලෙඩ වන දේ ලෙඩ වෙන්න එපා කියලා ලැබිය නොහැකියි. මැරෙන දේ මරණයට පත් වෙන්න එපා කියලා ලැබිය නොහැකියි, නැසී වැනසී යන දේ නැසී වැනසී යන්න එපා කියලා ලැබිය නොහැකියි. ගෙවී යන ආයුෂය ගෙවී යන්න එපා කියලා ලැබිය නො හැකියි.

මේ ටික නිතර නිතර සිතනවා නම් ප්‍රශ්නවලට ඔරොත්තු දෙන්න එය විශාල සහනයක්, සවියක්. මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට දේශනා කොට මෙසේත් වදාළා. රජතුමනි, ශෝක කිරීමෙන්, හඬා වැලපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. ශෝක කරන්නා වූ දුක්ඛිත පුද්ගලයා දැක සතුරෝ සන්තෝෂයට පත්වෙති කියා වදාළා.

යමෙක් ශෝක කරනවා නම්, වැලපෙනවා නම්, සුසුම් හෙළනවා නම් එබඳු පුද්ගලයා කරන්නේ සතුරෝ සන්තෝෂයට පත් කිරීමයි.

එසේ නම් විපත්, කරදර, දුක් පීඩා අප කරා එද්දී අප නිතරම සිතිය යුතු වෙනවා මේ දේ මට පමණක් උරුම වූවක් නොවේ. යම්තාක් සත්වයන්ගේ ඉපදීම්, චුතවීම් ඇද්ද ඒ සියලු සත්වයන්ට මේ උපද්‍රව උරුමයි කියා ධර්මානුකූල ව සිතීමට අපි සැම දක්ෂ විය යුතු වෙනවා.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]