හොඳ ගුරු ඇසුර
ජීවිතය
වෙනස් කරනවා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
වර්ෂා කාලයට මුළු හිමාලය ම මීදුමෙන් වගේ ම හිමෙන් පිරී යනවා. අධික සීතල නිසා ජීවත්
වෙන්න බොහෝ ම අමාරුයි. හිමාලය ඇසුරු කරගෙන ජීවත් වුණා තාපසයෙක්. මෙයා තාපස වෙස්
ගන්න ඉස්සෙල්ලා බොහෝ ම පොහොසත් ධන කුවේරයකුගේ පුතෙක්.
මව්පියන් හොඳ ගුණ ධර්මවලින් පිරුණු දෙන්නෙක්. තමන්ගේ පුතාටත් ඒ ගුණ ධර්මත්, ශිල්ප
දැනුමත් නො අඩුවම ලබා දුන්නා. කුමාරයා ටිකෙන් ටික ලොකු වෙලා විශාල ධනයට උරුමකම්
කියන එකම දරුවා බවට පත් වුණා. මව්පියන් වයසට ගිහින් කාලානුරූප ව ආයුෂ වින්දනය කරලා
මිය ගියා. කුමාරයාට පුළුවන් හැම ආකාරයෙන් ම මව්පියන්ට උපස්ථාන කළා. සේවකයන් බොහෝ
ප්‍රමාණයක් හිටියා, සිටුමාලිගාවේ වැඩ කරන්න. මේ පින්වන්ත තරුණ කුමාරයා කල්පනා කළා
මව්පියන් මිය ගියා වගේ ම මමත් මිය යනවා. අනික මේ කාම සම්පත් මිරිඟුවක් වගේ කිසිම
අර්ථයක් නැති දෙයක්. ඒ නිසා මමත් දැන්ම මේ සම්පත් අත්හැර දාලා හිත නිදහස් කරගෙන
තාපස පැවිද්දට ඇතුළු වෙන්න ඕන. හිමාලයට ගිහින් භවනා කරමින් පරලොව ජීවිතය සකස් කර
ගන්න ඕන. කියන අදහසින් තමයි මේ තාපස තුමා තවුස් ජීවිතයට ඇතුළු වෙලා තියෙන්නේ.
වැසි කාලේ නිසා බරණැස් නුවරට ඇවිත් වීථියේ ඇවිදිනවා වැසි සමයේ ඉන්න තැනක් හොයාගෙන.
මෙහෙම පාරේ යනකොට රජමාලිගාවේ සීමැදුරු කවුළුවෙන් පාර දිහා බලාගෙන මිනිසුන්ගේ කටයුතු
විපරම් කරමින් සිටි බ්‍රහ්මදත්ත නම් රජකෙනකුට දකින්න ලැබුණා සංසුන් ඉඳුරන්ගෙන්
යුක්ත, පැහැබර මුහුණක් ඇති මේ පින්වන්ත තාපසතුමා. රජතුමාට බොහෝම ආශාවක් ඇති වුණා මේ
තාපසතුමා හමුවෙලා කතා කරන්න. තමන්ගේ රාජ පුරුෂයකුට කතා කරලා කිව්වා .එම්බා රාජ
පුරුෂය, පාරේ වැඩම කරන අර තාපසතුමා පෙනෙනවා නේද? වහාම ඔහු සමීපයට ගිහින් රජතුමා ඔබ
ව කැඳවනවා’යි ආරාධනා කරලා ගෙන්වා ගෙන එන්න'යි ඔහුව පිටත් කර හැරියා. රාජ පුරුෂයා,
රාජ අණ නිසා වෙන ගමනකටත් වඩා වේගයෙන් වගේම ඉතාම අවධානයෙන් එතැනට ගිහින් තාපසතුමාට
වන්දනා කරලා කියනවා. පින්වත් තාපසතුමනි, අපගේ මහ රජතුමා ඔබ වහන්සේ කැඳවනවා. වහාම
එහි වැඩම කරන්න කියලා. තාපසතුමාට දැන් ලොකු කුතුහලයක් ඇති වුණා. මම මේ නගරයේ කිසිම
කෙනෙක් අඳුනන්නේ නෑ. අනික රජතුමා මා කවදාවත් හමුවෙලා නෑ. මගේ යහළුවකුගේ
හිතවත්කමක්වත් ඒ කාලේ තිබුණේ නෑ. මම වැරැද්දක් කරලා නෑ. මම ඔහුගේ කුළුපග
තාපසයෙක්වත් නෙවෙයි.
ඒ නිසා මට මේ ගමනින් වැඩක් නෑ.යි කල්පනා කරලා රාජ පුරුෂයාට, ඒ ඔක්කොම නො කියා
කියනවා .රාජ පුරුෂය මේ අහන්න. මම රජතුමාගේ කුලුපග තාපසයෙක්වත්, ගිහි කල මගේ
යහළුවකුගේ හිතවතෙක්වත් නොවෙයි. ඒ නිසා කුමට කැඳවද්ද’යි යාම ප්‍රතික්ෂේප කළා. රාජ
පුරුෂයා නැවත මාලිගයට දුවගෙන ගිහින් ඒ පුවත රජුට කිව්වා.
ඒ වෙලාවේ රජතුමා කියනවා හා ඒකත් එහෙමද? එහෙනම් තාපසතුමාට කියන්න මට හිතවත් තාපස
කෙනෙක් නෑ. ඔබ වහන්සේ හැර මෙතරම් යහපත් ගමන් ඇති, පුණ්‍යවන්ත කෙනෙක් දුටුවේත් නෑ’යි
කියලා කියන්න'යි නැවත දන්වා යැව්වා. ඒ වදන් අහලා තාපසතුමා මාලිගයට වැඩම කළා.
රජතුමාත් හරිම යහපත් කෙනෙක්. හොඳට ගරුබුහුමන් කරන්න දන්නවා. වහාම ඉදිරියට ගිහින්
නමස්කාර කරලා පිළිඅරගෙන ආසනයක වඩා හිඳුවලා අහනවා.
" ස්වාමිනි, ඔබ වහන්සේ වැඩම කරන්නේ කොහේ සිටද? වැඩ ඉන්නේ කොහේද? ගම්පළාත් කොහේද?
යනාදි වශයෙන් තොරතුරු අහලා දැනගෙන වැසි කාලය නිසා හිමාලයෙන් නුවරට පැමිණි බවත්,
වැසි සමයේ ගත කිරීමට තැනක් හොයන බවත් දැන ගන්න ලැබුණා. රජතුමා ආරාධනා කරනවා.
ස්වාමිනි, වැසි සමයේ අපගේ රාජ උද්‍යානයේ වැඩ ඉන්න. මම ඔබ වහන්සේට සිවුපසයෙන් ම
උපස්ථාන කරන්නම්’යි කියලා.
අනතුරුව දානයෙන් සංග්‍රහ කරලා උයනට ගෙන්නාගෙන යනවා. උයන් පල්ලන් හැමෝටම කතා කරලා
කියනවා. අද ඉදන් මේ තාපසතුමා අපේ උද්‍යානයේ වැඩ ඉන්නවා. උන්වහන්සේට අවශ්‍ය අත්පා
මෙහෙවර ආදි සියල්ල අඩුවක් නැතිව පූරණය කරන්න ඕන’යි බාර කරනවා.
තාපසතුමාත් භාවනා කටයුතුවල යෙදෙමින් සුව සේ කල් ගෙවනවා. මෙහෙම වැඩ ඉන්න කාලයේ
රජතුමාට විවේක ලැබුණු හැම වතාවක ම දවසකට වතාවක් හෝ දෙවතාවක් හෝ තාපසතුමා හමුවෙලා බණ
අහනවා. ඒවා යොදා ගනිමින් රාජ්‍ය පාලනය ද කරගෙන යනවා. රජතුමාගේ හිතේ තියෙනවා ලොකු
ගැටලුවක් මේක කියන්න ම කියලා හැමදාම යනවා ඒත් කියන්න හිත දෙන්නේ නෑ. තාපසතුමා කුමක්
හෝ හිතාවිද කියන අදහසින්. දවසක් හිත දැඩි කර ගෙන තාපසතුමා වෙත ගිහින් නමස්කාර කරලා
ඉඳගෙන කියනවා.
"ස්වාමිනි, මට පුංචි කුමාරයෙක් ඉන්නවා. මම දැන් බොහෝම වයසට ගිහින් ඉන්නේ. මගෙන්
පස්සේ රාජ්‍ය උරුම වන්නේත් මේ කුමාරයාට තමයි. එයා කියන්න බැරි තරම් නපුරුයි. හැම
වෙලේම ජීවත් වෙන්නේ පොලු පහර කාපු නයෙක් වගේ. චණ්ඩයි, පරුෂයි. කටක් ඇරලා යමක්
කිව්වොත් බැණ වැදිලා මිස කතා කරන්නේ නෑ.
කෝපයෙන් ම යි දවසේ හැම තත්පරයක් ම ගත කරන්නේ. මම කියන දේවත්, කුමාරයාගේ මව කියන
දේවත්, යහළුවන් හෝ වෙන කෙනෙක් කියන දේවත් මේ කුමාරයා අහන්නේ නෑ. මේ නිසා රජමාලිගයේ
අයත්, රටේ ජනතාවත්, දුෂ්ට කුමාරයා, කියලා නමකුත් දාලයි තියෙන්නේ. ස්වාමිනි, පින්වත්
තාපසතුමනි, මාගේ මිය යාමෙන් පස්සේ රටත්, කුමාරයත් විනාශ වී යන බව මට මැවී පෙනෙනවා.
ඒ නිසා අපගේ කුමාරයා හික්මවලා දෙන්න’යි ඉල්ලා සිටියා. එසේ නම් කුමාරයා මට බාර
දෙන්න’යි තාපසතුමා කියනවා. පසු දා ම කුමාරයා ගෙන්වා ගෙන ඇවිත් බාර කරනවා. ටික
දවසකින් රජතුමා මිය යනවා. දැන් රජකමක් පුංචි කුමාරයාට අයිති වෙලා. කොහොම හරි
කුමාරයාව හික්මවන්නත් ඕන. ලොකු වගකීමක් තාපසතුමාට ලැබුණා. රජතුමාගේ ඉල්ලීම ඉටු
කරන්න වැඩි කාලයකුත් නෑ. ඉතින් මෙහෙම කල්පනා කරලා හොඳ තීරණයක් ගත්තා.
දවසක් දැක්කා උයනේ අලුතින් හැදීගෙන එන කොහොඹ පැලයක්. පුංචි රජතුමාගේ අතින් අල්ලා
ගෙන එතැනට ගිහින්,
" කුමාරයාණෙනි, මේ ගහෙන් කොළයක් සපා කන්න’යි කියනවා. කුමාරයාත් එසේ කරනවා. කවදාවත්
නැති තිත්ත බවක් දැනුණ නිසා කෝපයට පත් වෙලා අතින් උදුරලා කෑලි කෑලිවලට කඩලා වීසි
කරනවා.
" මේ කොළ දෙකක් තුනක් ඇවිත් මෙහෙම නම් ගහ ලොකු වුණහම කොච්චර තිත්ත ඇති ද? මිනිසුන්
පවා මරල දායි’යි කියන්න පටන් ගත්තා.
ඒ කෝප ගත් වචන අහගෙන හිටිය තාපසතුමා කුමාරයාට කියනවා. "කුමාරයාණෙනි, මේ අහන්න
දුටුවා නේද කොහොඹ ගහ තිත්ත නිසා ඔබ ම කඩා පොඩි කොට විසී කර දැමුවා. ඔබ වටා දැන්
ඉන්න ඇමැතියෝත් මෙහෙම තමයි. ඔබගේ චණ්ඩ බව, නපුරු බව නිසා අපට මේ වගේ රජ කෙනෙකුගෙන්
වැඩක් නෑ. අවැඩක්මයි වෙන්නේ’ යි හිතලා තොපව මරා දමන්න පුළුවන්. ඒ නිසා සැඩපරුෂ නොවී
ජීවත් වෙන්න" කියලා අවවාද කරනවා.
කුමාරයා ඒ අවවාදය පිළිගෙන එදා ඉදලා හොඳින් ගුණ දහම් පුරුදු කරලා යහපත් රජ කෙනෙක්
බවට පත් වෙලා, කාලයාගේ ඇවෑමෙන් වයසට ගිහින් මිය පරලොව ගියා’යි සඳහන් වන කතා පුවතක්
ජාතක පොතේ එකසිය හතළිස් අටවන ජාතකයේ හෙවත් විරෝචන ජාතකයේ සඳහන් වෙනවා. හොඳ ගුරු
ඇසුරක් ලැබෙනවා නම් කොතරම් නපුරු, සැඩපරුෂ කෙනෙක් වුවත් යහපත් වන බවත්, හොඳින්
ඉගෙනීම් කටයුතු කරමින් සාර්ථක වන බවත් මේ කතා පුවතින් අපට උගන්වනවා.
ඔබගේ දරුවා හෝ අසල්වැසි දරුවන් හෝ ඥාති දරුවන් හෝ හදා වඩා ගැනීමට නොහැකි නම් හොඳ
ගුරු ඇසුරකට යොමු කරන්න. දහමින් පෝෂණය කරමින් හදාවඩා ගන්න.
එතකොට පරපුරටත්, රටටත්, ගමටත් ඒ අයගෙන් ආලෝකයක් ම ලැබෙනවා මිසක් කළු, නපුරු, අඳුර
හෙවත් නරක නාමයක් කවදාවත් අහන්නට ලැබෙන්නේ නෑ’යි කියන පුවතත් මේ කතාව අපට ආදර්ශ
සපයනවා. |