මේ කොයි යන්නේ ...?

මේ කොයි යන්නේ ...?

අප ලෝකයේ පුංචිම පුංචි රටක් වුව ද ගුණ දම් හර දම් සුරැකීම තුළින් ලොව තුළ අනභිබවනීයත්වයට පත්විණි. මරණයක දී ලාංකිකයා අතිශය කෘතවේදි විය. තම සතුරකු ගේ වුව ද මරණයක දී සංවේගයට පත්වීම ලාංකිකයාගේ ස්වරූපයයි

විශ්වය තුළ පුළුල් වූ සත්ත්ව කොට්ඨාශ වෙයි. අපා, දෙපා, සිව්පා ලෙසත් දෙව්, බඹ, නර, නිරි ලෙසත් ඔවුන් ගේ ස්වභාවය අනුව සිටින ස්ථානය අනුව විවිධ අයුරින් වර්ගීකරණය කරයි. මිනිස් සතා උසස් සතෙක් වන්නේ ඔහුට උසස් මනස් ඇති හෙයිනි. එමෙන් ම ඔහු තිරිසනකුගෙන් වෙන් වන්නේ ධර්මය පදනම් කොට ගෙනයි.

ආහාර ගැනීම, නිදා ගැනීම, මෛථුන සේවනය යන මෙම ක්‍රියාකාරකම්වල දී මිනිසාගේ, තිරිසනාගේ වෙනසක් නොදකී. ධර්මානු ධර්ම ප්‍රතිපදාව තුළ ජීවත් වීම පදනම් කොට ගෙන මිනිසා සුවිශේෂි වෙයි. එසේනම් ධර්මානු ධර්ම ප්‍රතිපදාව නැත්තා තිරිසනකු හා සමාන වෙයි.

පසුගිය දිනක අතිසය සංවේගජනක අපූර්ව සිදුවීමක් අත් විඳින්නට අවස්ථාවක් සැලසිණි. ප්‍රදේශයේ සම්භාවනීය ජීවිතයක් ගත කළ අයෙක් මරණයට පත් විය. ඔහු ගේ අවසාන ආගමික කටයුත්ත ඔහු අයත් විහාරස්ථානයේ හා ඔහු හා සම්බන්ධ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවිණි.

ඔහුට අයත් විහාරස්ථානයෙහි බොහෝ කලක් විසූ, ඇති වූ ගැටලු සහගත තත්ත්වයක් පදනම් කොට ගෙන එම විහාරස්ථානයෙහි දැනට නොවසන ඔහුගේ සමීප ඥාතිවරයකු වන හිමිනමක් ද මෙම අවසාන ආගමික කටයුත්තට සහභාගි විය. ඒ භික්ෂූන් වහන්සේ මිය ගිය අය පිළිබඳ අනුශාසනාවක් කරන්නට සුදානම් වූ අවස්ථාවේ එම ගමෙහි මරණාධාර සමිතියේ සභාපතිවරයා යැයි කියූ අයෙක් උඹට මෙහි අනුශාසනා නැතැයි කියා මයික් එක උදුරා ගත්තේ ය.

දෙමෝදහක් දෙනා සංවේගයෙන් හා විස්මයෙන් යුතුව මෙම සිදුවීම දුටුවේ ය. ඔහු හා එම මරණාධාර සමිතියට අයත් සාමාජික කිහිප පොළක් ඉන් අනතුරුව එතැන සිටි භික්ෂූන්ටත්, ඒ නිවසෙහි වූ මැරුණ අයගේ පවුලේ ඥාතීන්ටත් බලපෑම් කළේ මුලින් කී භික්ෂූන් වහන්සේ එතැනින් පිටත් කර හරින ලෙසත් එසේ නොවුවහොත් තමන් එතැනින් යන බවත් ය.

පවුලේ ඥාතීන්ට එතැනට වැඩම කළ භික්ෂූන් වහන්සේට එතැනින් පිට වන ලෙස කීමට එම ඥාතීන්ට හෝ එතැන සිටින භික්ෂූන් වහන්සේට සදාචාරාත්මක අයිතියක් නැත. එම භික්ෂූන් වහන්සේ එතැනින් නොගිය අතර මරණාධාර සමිතියේ පිරිස සොහොනට ගොස් සැරසිලි කඩා බිඳ දමා සමාදන් කිරීමට සූදානම් කළ වළඳ පස් දමා වසා දැමී ය. භූමදානය කිරීමට අවස්ථාවක් නොලද බැවින් මෘත දේහය ඥාතීන් විසින් ආදාහනාගාරයකට ගෙන ගොස් ආදාහනය කරන ලදි. ඉන් අනතුරුවත් මෙම පිරිස විහාරස්ථානයට ගොස් එම මරණකරුගේ හත්දින දානමය පින්කමට නොයන ලෙස විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේට දන්වා එම පින්කම ද අවුල් කිරීමට කටයුතු කොට ඇත.

මානය, වෛරය, ක්‍රෝධය තුළ ජීවත් වන මිනිසා තිරිසනුන් සේ හැසිරුණු අවස්ථාවක් සේ මෙම අවස්ථාව ගත හැකි ය. අප ලෝකයේ පුංචිම පුංචි රටක් වුව ද ගුණ දම්, හර දම් සුරැකීම තුළින් ලොව තුළ අනභිබවනීයත්වයට පත්විණි. මරණයක දී ලාංකිකයා අතිශය කෘතවේදි විය. තම සතුරකු ගේ වුව ද මරණයක දී සංවේගයට පත්වීම ලාංකිකයාගේ ස්වරූපයයි. ඒ සඳහා අපට අතීත ආදර්ශයන් තිබිණි. එළාර යනු අප රට ආක්‍රමණය කළ ආක්‍රමණිකයෙකි. ඔහුට විරුද්ධ ව දුටුගැමුණු මහ රජ යුද්ධයක නිරත විණි. මෙම යුද්ධයෙන් එළාර රජු මරණයට පත් විණි.

දුටුගැමුණු රජු රජකුට කරන ගෞරවය දක්වා ඔහු ගේ ආදාහන කටයුතු කොට සොහොනක් ද බැන්දේ ය. එතැනින් යන එන අය ඒ සොහොන් කොතට ගරු කළ යුතු බවට නීතියක් පැනවිණි.එවන් ලාංකික සමාජයක් වූ වර්තමානයේ පත්ව ඇති තත්ත්වය පිළිබඳ ඇත්තේ අතිසය සෝචනීය තත්වයකි.

මිනිසුන් මේ අයුරින් හැසිරෙන්නේ කුමක් නිසා ද? අප රට තුළ බෞද්ධ සමාජ සංස්කෘතියක් පැවතිය ද මිනිසුන්ගේ ආකල්ප තුළ, මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් තුළ, මිනිසුන්ගේ වචන තුළ ඒ බෞද්ධ සමාජ සංස්කෘතිය දක්නට ලැබෙන්නේ නැත. ඒ තුළ දක්නට ලැබෙන්නේ ද්වේෂය, තරහ, පටිඝය, ආඝාතය, ක්‍රෝධය, ව්‍යාපාදය යන වදන්වලින් කියවෙන ස්වභාවයන් ය.

මහ මඟ ගමන් කරද්දී එක් රියැදුරකුට වරදක් සිදු වූ විට අනෙක් රියදුරා හැසිරෙන්නේ ද්වේෂ සහගතව ය.

දරුවන් අතින්, සිසුන් අතින්, වරදක් සිදු වූ විට මව්පියෝ, ගුරුවරු ද්වේෂය පිට කරති. දේශපාලඥයෝ තමන් පාලන බලය ගත් විට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නොකියති. ප්‍රතිපක්ෂයේ වැරැදි පෙන්වා ද්වේෂය උපදවා බලයට ඒමට වෙර දරති. ලොකු කුඩා හැම දෙනාම ආවේගශීලිය, ආක්‍රමණශීලීය ආත්මලාභය, ආත්මාර්ථය තුළ කටයුතු කරයි.

මිනිස් සිත් තුළ පටිඝය ඇතිවන අවස්ථා වෙයි. තරහින් යුත් දොම්නසින් යුතු කිසිවකුගේ මෙහෙයවීමකින් තොරව පහළ වන සිත හා එවැනි ම වූ කිසිවකුගේ මෙහෙය වීම නිසා හට ගන්නා සිත යනු ඒ සිත් දෙකයි. මේ සිත් තුළ පහළ වන සිත් තුළ අකුසල චෛතසික පහළ වෙයි. ද්වේෂය සිත තුළ වූ අකුසල මූලයකි. පින්කම් කරද්දී සිතින් පොළා ඉවත් කරන එක් අකුසල මූලයක් ලෙස ද්වේෂය දක්වයි. ද්වේෂය පුද්ගලයා තම උපත තුළින්ම උරුම කර ගනියි. එවන් පිරිස ද්වේෂ චරිත ලෙස හඳුන්වයි.

මේ ද්වේෂ චරිතය යහපත සඳහා සංවර්ධනය කිරීම බුදු දහම සිදු කරයි. පුද්ගලයා භව සංසාරය තුළ ඇද බැඳ තබන ලණුවක් නැතහොත් සංයෝජනයක් ලෙස පටිඝය දක්වයි. දස සංයෝජන අතර තිබෙන එක් සංයෝජනයක් ලෙස පටිඝය දක්වයි. උපනාහය හෙවත් බද්ධ වෛරය සසර පුරා ගමන් කරයි.

සේරි වානිජ ජාතකයෙහි දී සේරි හා කච්ඡපුට අතර රන්තැටිය නිසා හටගත් වෛරය දිගින් දිගට පැමිණියා. ගුත්තිල ජාතකයේ, ගුත්තිල මූසිල ලෙසත්, උම්මග්ග ජාතකයේ, මහෞෂධ, කේවට්ට ලෙසත් විවිධ භවයන්හි මේ දෙදෙනා ම වෛරී ව උපත ලැබී ය. ඡද්දන්ත ජාතකයෙහි මෙය ඉතා දරුණු ලෙස පැවතිණි. ඡද්දන්ත ඇත් රජු මරන්නට පිඹුරුපත් සකස් කරන බිසව පෙර ආත්මයක මේ ඇතු හා සිටි ඇතින්නියකි. ඈට සිදු වූ අහඹු සිදුවීමක් නිසා ඇය ඇතු කෙරෙහි වෛර බැඳ සිට මියගොස් ඇය විසින් වැදි නායකයකු ලවා මේ ඇතු මරවයි. මෙම වෛරය නැති වන්නේ එක් අයකු වෛරය අතහැරි ආත්මභවයේ දී ය.

වෛරයේ ස්වභාවය එලෙසයි. කාලි යක්ඛිණි කථා වස්තුවෙහි කාලි යකින්න හා අනෙක් කාන්තාව අතර ඇති වූ වෛරයත් එසේම විය.

පළමු අවස්ථාව මිනිස් කතුන් දෙදෙනෙකි. එක් තැනැත්තියක් අනෙක් තැනැත්තියගේ දරුවන් විනාශ කළා ය. වෛරයෙන් මැරුණ ඇය බැල්ලියක විය. අනෙක් කාන්තාව කිකිළියක විය. කිකිළිය දාන දාන බිත්තර බැල්ලිය කා දැමීය. අනතුරුව කිකිළිය ද කා දැමී ය. අනතුරුව උපදින්නේ කොටි දෙනක හා මුව දෙනක ලෙසයි. කොටි දෙන මුව දෙන ගේ පැටියන් කා දමා මුව දෙන ද කා දැමී ය. අනතුරුව යකිනියක හා මිනිස් කාන්තාවකව උපන් අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ හමු විය. ඒ අවස්ථාව දක්වා වෛරය දිගින් දිගට ගොස් ඇත.

පුද්ගලයාගේ ලෞකික දියුණුව විනාශ කරන, පාර ලෞකික දියුණුව නැති කරන, උතුම් විමුක්තිය නිවන ආවරණය කරන, ධර්මතාවක් ලෙස නීවරණ ධර්ම අතර ව්‍යාපාදය දක්වයි. මට බැන්නා, මට ගැහුවා, මා පැරැද්දුවා මා සතු දේ පැහැර ගත්තා ආදි වූ සංකල්ප ගොඩනඟා ගෙන ව්‍යාපාදය උපදවා ගනියි. මට හානි කළා, කරනවා, කරන්න පුළුවන්, මා කැමැති අයට හානි කළා, කරනවා, කරන්න පූළුවන්, මා අකැමැති අයට වාසියක් කළා, කරනවා, කරන්න පුළුවන් ආදි ලෙස නව ආකාරයකින් වෛරය ගොඩනඟා ගනියි.

අනුසය ධර්ම අතර පටිඝානුසය ද දක්නට ලැබෙයි. ව්‍යාපාදය අප සිත තුළ ගොඩනැඟෙන විතර්කයකි. එමෙන් ම දස කෙලෙස් ධර්ම අතර එක් කෙලෙස් ධර්මයක් ලෙස ද්වේෂය දක්නට ලැබෙයි.

මෙම මානසික තත්ත්වය වෙනස් කර ගැනීම උදෙසා ලොව පහළ වූ දහම බුදු දහමයි. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව ඇත්තේ බුදු දහම තුළයි. මෙය වෙනස් කළ හැකි ක්‍රම වේදයක් සතර සතිපට්ඨාන සූත්‍රය තුළ දක්වයි. චිත්තානුපස්සනාව තුළින් කරන්නේ සිත හඳුනාගෙන සිතිවිලි හඳුනාගෙන, එම සිතිවිලි විශ්ලේෂණය කරන අවස්ථාවයි. සිත තුළ පහළවන සිතිවිලි විශ්ලේෂණය කරගත් කල ඒ සිතුවිල්ල අපට ඉවත් කර ගත හැකි ය.

ඉපදුන ව්‍යාපාද විතර්කය පිළිගන්න එපා, එය අල්වාගෙන ඉන්න එපා. අතහරින්න. ඊට සමීප වන්න එපා, දුරස් කරන්න. එක එක ගුලියට තබා ගන්න එපා. තුනී වන්නට හරින්න. ඊට ප්‍රති විරුද්ධ සිතිවිල්ලක් ඇති කර ගන්න. ව්‍යාපාදය සඳහා වූ ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල නම් මෛත්‍රිය වේ.

අඝාත පටිවිනය සූත්‍රයේ දී කෙනකුගේ අඩුපාඩු දකිනවාට වඩා ඔහු තුළ ස්වල්ප වශයෙන් හෝ ඇති ගුණ දකින්න අවවාද කරයි. මිනිසුන් විවිධ ය. කය අපිරිසුදු, වචනය පිරිසුදු, වචනය අපිරිසුදු, කය පිරිසුදු කයත් වචනයත් දෙක ම අපිරිසුදු, ඒ දෙකම පිරිසුදු මිනිස්සු වෙසෙති.

ඒ මිනිසුන් තුළ යහපත් බවක් දක්නට ලැබෙන්නේ කය තුළ ද, වචනය තුළ ද ඒ දෙය අගයන්න පුරුදුවීම වැදගත් ය. ජලය බීමට අවශ්‍ය වූ විට යම් පොකුණක පිරිසුදු ජලය වෙත් නම්, එහි ඇති දිය සෙවල, කුණු රොඩු ගැන පමණක් සිතීම ඵලක් නැත. ඔහු කළ යුත්තේ දිය සෙවල කුණු රොඩු ඈත් මෑත් කොට ජලය බීමයි.

අසූචි වලකට වැටුුණු අයකු තුළ ද අසූචි නො තැවරුන කුඩා වූ තැනැක් ඇත්නම් එතැන අගය කළ යුතුයි. ජරාව, ව්‍යාධිය, මරණය සියල්ල වෙනස් වන බව, කර්මය තමන්ට උරුම දෑවැද්දක් බව නිතර මෙනෙහි කළ යුතුයි. එවිට මත්වීමක් නැත. මත් වීම නිසා වැරැදි කරයි. මත් නොවූ කල පින් කරයි.

ජරාවට පත්වන, ලෙඩ වෙන, මැරෙන මිනිසුන් වශයෙන් ජීවත්වන කෙටි කාලය තුළ තව කෙනකුට වෛර කළ යුතු දැයි තමන්ගෙන් ප්‍රශ්න කර පිළිතුර ලබා ගත යුතුයි. මරණය හැම දෙනාට පොදු සාධාරණ ධර්මයකි. මැරෙන මිනිසෙක් තව කෙනකුට වෛර කළ යුතු නැත. සියල්ල වෙනස් වේ නම් ගැහුව බැන්න කෙනෙක් කොහේ ද? පහර කෑ, බැණුම් ඇසූ කෙනෙක් සිටිද්ද? ඒ කිසිවෙක් මේ මොහොත තුළ නැත්නම්, මේ මොහොතෙහි සිටින්නේ අලුත් මිනිසකු නම් වෛර කරන්නට කෙනෙක් සිටී ද? එසේ නම් වෛර නොකළ යුතුයි.

ඇණයක් මළ කෑ විට පළමුව විනාශ වන්නේ ඇණයයි. අනතුරුව අවට පරිසරය විනාශ වෙයි. වෛර කරන්නා තමා පළමුව විනාශ වෙයි. අනතුරුව සමාජය විනාශ කරයි. මේ විනාශ කර ගන්නේ මෙලොවයි. පරලොවයි. තමන්ගේ විමුක්තියයි. කර්ම සංකල්පයට අනුව තමන් සමාජයට කරන්නේ කුමක් ද? එය ම ඔහු කරා පැමිණෙන බව ප්‍රකාශ කරයි. අනෙක් අයගේ වෛරයට ලක්වීම තමා අකැමැති වන්නා සේ ම කෙනකු වෛර කරනවාට අනෙක් අය අකැමැති වෙයි. මේ අත්තූපනායික ධර්ම පර්යාය තුළින් ද වෛරය නැති කර ගත හැකි ය. වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන් වෛරය සන්සිඳේ. එහෙයින් අපි අවෛරී වෙමු. මෛත්‍රී සහගත වෙමු.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]