[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සදහම් ආලෝකයෙන් සිරිලක ඒකාලෝක වූ දා

පොසොන් මාසය එකල ලක්දිව සැණකෙළි සමයක් විය. පොහෝ දිනය නැකැත් කෙළියේ උත්කර්ෂවත් දිනය විය. මෙදින දේවානම්පියතිස්ස රජතුමා හතළිස් දහසක් රජ සෙනඟ පිරිවරා ගෙන මිස්සක පර්වතය අසල මුව දඩයමෙහි යෙදුනේ ය. රජතුමා මුවකු ලුහුබැන්දේ, පිරිසගෙන් ඈත්ව වනයේ අතරමං විය. ගිමන් ඇරීම සඳහා පර්වතය පාමුල නතර විය. බලාපොරොත්තු නොවුණු මිහිරි හඬක් දෙසවන ඇමතුවේ ය. “තිස්සයෙනි, මෙහි එන්න” ඒ හඬ ආවේ පර්වතය මුදුනෙනි. කඳු මුදුන බැලූ රජතුමාට කසා වස්ත්‍රයෙන් සැරසී ගත් මිහිඳු තෙරණුවන් දකින්නට ලැබුණි. මොහු මනුෂ්‍යයෙක් ද? නැතිනම් දෙවියෙක් ද? රජුට සැක ඇති විය. මිහිඳු හිමියෝ, “අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. දඹදිව සිට ඔබට ම අනුකම්පාවෙන් ඔබගේ ම යහපත සලකා මෙහි පැමිණියෙමු යැයි” තම පිරිස හඳුන්වා දුන්හ. තෙරණුවන්ගේ ශාන්ත දර්ශනයෙන් මෙන් ම දඹදිවින් පැමිණි බව ඇසීමෙන් රජු සතුටු විය. දෙදෙනා සුහද සාකච්ඡාවකට යොමු විය. මේ සුහද සාකච්ඡාවේ දී රජතුමා බුද්ධ ධර්මය වටහා ගැනීමට තරම් නුවණ මුහුකුරා ගිය අයකු බව මිහිඳු මාහිමියන්ට වැටහිණි. සාමීචි කතාව අතරතුර රාජ භටයෝ ද එහි ළඟා වූහ. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ රැස් වූ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ. මිහිඳු තෙරණුවන් එදා දේශනා කළ සූත්‍ර දේශනාව අභිනවයෙන් බුදුදහම වැළඳ ගන්නා පිරිසක් සඳහා අතිශයින් ම උචිත වූවක් විය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි නිදාන කතාව වනුයේ “ජානුස්සෝණි නම් ධනවත් තරුණයකු පිලෝතික නම් වූ දූතයකුගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසා ප්‍රසාදයට පත්වීමේ සිද්ධියයි. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවක් වන මෙයින් මුළු බුදුදහම සංක්ෂිප්තව දක්වා ඇත. තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා වාරිත්‍ර චාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබයි. ගිහි ගෙයින් නික්මී බඹසර විසීමට රුචි කරන්නේ ක්‍රමයෙන් ආර්ය වූ සීලයෙන් ද, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් ද, ආර්ය වූ මනා සිහියෙන් ද යුක්තව කෙලෙසුන් නසා සදාකාලික සැනසීමට යෝග්‍ය වූ ත්‍රිවිද්‍යා ප්‍රඥාව උපදවා ගනී. අලුතින් බුදුදහම දකින ජනතාවකට ස්ථිර ආචාර ධර්ම පදනමක වැදගත්කමත් ඒ ආචාර ධර්ම කෙබඳු ඒවාද යන්නත් මෙහිදී විග්‍රහ කර දක්වයි.


පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]