[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලොවක ගරු පැසසුම් ලැබූ දහම් දිවයිනේ අදීන උරුමය

ලොවක ගරු පැසසුම් ලැබූ දහම් දිවයිනේ අදීන උරුමය

ක්‍රි.පූ. 6 වන සියවසේ 623 සිට 543 දක්වා ලොව විසූ ශ්‍රේෂ්ඨතම ශාස්තෲන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ තමන්ගේ ස්වයංභූත වූ ඤාණයෙන් සිව්සස් අවබෝධයෙන් සකල විධ වූ සත්වයන් සංසාරය නැමැති ඝෝර වූ භව ගමනින් නිරුද්ධ කළ සේක.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මෙලොව ජීවිතය සැපවත් ව, නීරෝගිමත් ව, දීර්ඝායුෂව සැනසිලිදායක ලෙස ජීවත් වන්නට මහත් වූ රුකුලක් විය. මිනිස් සංහතියට පමණක් නොව අපා, දෙපා, සිව්පා, බහුපා, ක්ෂුද්‍ර ජීවින්ට හා සමස්ත පරිසර පද්ධතියට ම යහපත පිණිස ම පැවැතුණි.

මේ උසස් දර්ශනය දඹදිව මධ්‍ය දේශයට පමණක් සීමිත වූ දර්ශනයක් නොවීය. තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රේෂ්ඨ ආගමක් ලැබුණේ ය. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්, සංස්කෘතියක් උරුම කර ගත් පිරිසක් ලෙස ථේරවාදී බුද්ධ ධර්මය සුරක්ෂිත රටක් ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්, අභිචාර විධි, අක්ෂර මාලාවක්, ගෘහ නිර්මාණ ශිල්පයක් නොවීය. දෙවනපෑතිස් රජ දවස මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ලක්දිව රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි.

එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස් සතුන් දඩයමේ ගිය අවස්ථාවේ දී රජු පිරිසෙන් වෙන්කොට හුදෙකලාව හමුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥාගෝචර ම ක්‍රියාවකි. උන් වහන්සේ තමන් වහන්සේ හා පිරිස කවුදැයි යන්න හඳුන්වා දුන්නේ ගාථාවක් දේශනා කරමිනි. තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දීම තුළින් රජුගේ බිය පහව ගියේ ය.

තමාගේ අදෘෂ්ඨ භාරතීය මිත්‍රයා වූ ධර්මාශෝක මහ රජුගේ එකම පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ හා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් යුතුව තමා අතැති දුනු, හී පසෙකලා උන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදිණි.

මෙහිදී මහින්ද මහ රහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහත් තෙරවරු ද සුමන නම් සාමණේරයන් වහන්සේ ද භණ්ඩුක අනාගාමී උපාසකතුමා ද මහරජුට පිළිවෙළින් හඳුන්වා දුන්හ. මෙම හඳුන්වා දීම තුළින් උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට ලක්ෂණයත්, බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත්, ප්‍රඥාගෝචර බවත් කදිමට පිළිබිඹු වන සාධකයන් ය.

මෙහිදී සන්සුන් වූ රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා නොකොට තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්ෂිත ධර්ම කාණ්ඩය අවබෝධ කර ගැනීමට තරම් මේ පුද්ගලයා ප්‍රඥාගෝචර දැයි දැන ගැනීම සඳහා අඹ ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විචාළෝ ය. මෙම ප්‍රශ්න විමසීම එක් අතකින් රජු දහම් ඇසීම සඳහා පෙළඹවීමක් විය.

වෙහෙර විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණුූ වූයේ මේ නිසා ය. කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව ලැබුවා වූ නිරාමිස ආස්වාදය අතිශයින් ම උත්කෘෂ්ඨය. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වේ.

මෙම උරුමයන් ආරක්ෂා කර ගැනීම තුළින් වර්තමානයට ලැබෙන්නේ දේශාභිමානී හැඟීම් විකසිත වන අරුත්බර චින්තනයකි. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන් ද, චිත්‍ර නිර්මාණයන් ද ලක්වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන් ය.

ඉතා දියුණූු තාක්ෂණයක් ඔස්සේ නිමවන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මඟින් පුබුදු වන බව නොරහසකි. විශේෂයෙන් ම චිත්‍ර කලාව පිළිබඳ කතා කරන විට සීගිරි බිතුසිතුවම් මඟින් ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවේ. ඒ අනුව මේ සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන් ය.

මේ අයුරින් සමාජය, සංස්කෘතික, ආගමික, නවෝදයක් ඇති කළ පොසොන් පොහොය ලක්වැසි ජනතාවගේ සදානුස්මරණීය උතුම් පූජනීය දිනයක් බවට පත්වූයේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත්ම කාර්යයක් වූයේ බුදු සසුන ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ට පැවරීමයි. මෙරට මව්පිය දෙපළකගේ දරුවකු මේ රටේ දී ම මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා, මෙහිදීම විනය සංගීතියක් පැවැත්වීමෙන් සසුන මුල් බැස ගන්නා බව උන් වහන්සේ වදාළේ දේශීයත්වයට ප්‍රමුඛස්ථානය දෙමිනි.

එසේම සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන් වහන්සේට ඉගැන්වූහ. ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවා ද පිළියෙළ කළහ. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝ අංකුර දිවයිනේ සෑම දිසාවක ම පාහේ රෝපණය කරවා දිවයින පුරාම තවත් වෙහෙර ඇති කරවූහ.

මහාවිහාර සීමාව පිහිටුවා සංඝයාගේ සුරක්ෂිතභාවය තහවුරු කළහ. සම්බුද්ධ ශාසනය චිරස්ථායි වීමට අවශ්‍ය සෑම අංගයක් ම ඇති කරවීමට මිහිඳු මාහිමියන් වහන්සේ ක්‍රියා කළ බව පෙනේ. උන්වහන්සේ එදා මිහින්තලාවෙන් අරඹා දිවයිනේ දසත විහිද වූ ධර්මාලෝකය ශ්‍රී ලාංකිකයාගේ ජන ජීවිතයෛ් සෑම අංගයකට ම කා වැදී ඇත.

මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයු පොසොන් සඳෙන් විහිදී ගිය ආලෝකය අද දක්වාත් පැතිරෙමින් පවතී.

පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]