[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අව අටවක 2023-06-10 

ජීවිතය නුවණින් දකින්න

ඕනෑම කෙනෙකුට ජීවිතය පිළිබඳ පැහැදිලි අරමුණක් තිබිය යුතු ය. ජීවත් වනවාට ජීවත්වීම බොහෝ දෙනකුගේ ස්වභාවය බවට පත්ව ඇති ආකාරයක් වර්තමානයේ නිතර ඇස ගැටේ. පව පින නොහඳුනන, කළ යුත්ත නොකළයුත්ත නොහඳුනන පිරිස් නිසා, අර්ථයෙන් ධර්මයෙන් ජීවත්වීමට උත්සාහ ගන්නා සාමකාමී මිනිසුන්ට ද බරක්, හිසරදයක් වන අවස්ථා විරල නොවේ. මෙවැනි පිරිස් සමාජ සාමයට, යහ පැවැත්මට අනර්ථකාරීහුය.

බෞද්ධ සමාජයේ සිව් පිරිස ගිහි පැවිදි වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අතර මේ දෙපිරිසේ ජීවන අරමුණු එකිනෙකට වෙනස් ය. අරමුණු වෙනස් වුව ද එය සාර්ථක කර ගන්නට නම් ගිහියාටත්, පැවිදි උතුමන්ටත් හොඳ අවබෝධයකින්, නුවණින් ක්‍රියාකිරීමේ හැකියාව තිබිය යුතු ය.

වර්තමානයේ ඇතැම් පිරිස් මුදල පසුපසම හඹා යමින් සමාජයක මිනිසුන් අතර විවිධ ගැටුම්, කලහකාරී තත්ත්වයන් ඇතිවන ලෙස වචනය හසුරුවන්නේ කිසිදු ලජ්ජාවකින් තොරව ය. උසුළු විසුළු කරමින්, තමන් තරම් දන්නා කෙනෙක් නොවන බව හඟවමින් කෙනෙක් කිසිදු ලජ්ජාවකින් තොරව නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් තමන් හසුරුවන අයගේ පහත් අරමුණු ඉටුකර දෙන්නට ඉදිරිපත් වෙති. ඇතැම් අයට තමන් ගැහැනියක වන බව පවා අමතක ය. මෙවැනි අයගේ ඉදිරිය දුක්ඛිත ය.

අපේ තරුණ පරපුර, කුඩා දරුවන් මෙවැනි සමාජ පිළිලයන්ගෙන් ආරක්ෂා කර නොගත්තේ නම් අනාගතයේ ඔවුන් ද මේ ජරා ජීර්ණ මඩ ගොහොරුවේ ගිලී විනාශයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. ඒ ඔවුන්ට සත්‍ය කුමක්ද අසත්‍ය කුමක් ද යන්න වටහා ගැනීම අසීරු විය හැකි බැවිනි.

සමාජයේ දැන උගත් වැඩිහිටියන් මෙවැනි අවස්ථාවන්හි ඉතා නුවණින් ක්‍රියා කළ යුතු වන්නේ මෙවැනි අමනොඥ ක්‍රියාවන් අනුමත නොකිරීමට හා දරුවන් ඒ වැරැදි මඟට අනුගත වීමෙන් වළක්වා ගැනීමට ය. එහිදී වැඩිහිටියන් සේ ම බාල, තරුණ පරපුර ද ජීවිතයේ අරමුණ හොඳින් තේරුම් ගෙන විවිධ වෙසින් තමන් ඉදිරියේ දිස්වන බලවේගවලට හසු නොවී සිටීමට ඥානවන්ත විය යුතු ය.

සම්බුදු දහම බෞද්ධයාට සතුටින් ජීවත්වීමට යහපත් ධනෝපායන මාර්ගයන් පෙන්වා දී තිබේ. ඒ මාර්ගය තුළ කිසිවකුට ඉරියව්වකින්, වචනයකින් හෝ අවැඩක්, සිත් රිදීමක්, අනර්ථයක් නොවන්නේ ය. බෞද්ධයා විසින් නිරන්තරයෙන් පරිශීලනය කරමින් ජීවිතයට ගළපා ගත යුතු ග්‍රන්ථයක් ලෙස ගෞරවාදරයට පත් ධම්මපදයේ සඳහන් වන්නේ තමන්ට යමක් කර ගන්නට උපරිම ශක්තිය ධෛර්යය ඇති තරුණ වයසේ දී යහපත් ධනෝපායන මාර්ගයක් තෝරාගෙන එය සාර්ථක කර ගන්නට අනලස් වූයේ නම් ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවිය හැකි බව ය.

එසේ නොවන්නේ නම් මසුන් නැති, දිය සිඳී ගිය විලක් අසල සුසුම්ලන කොස්වා ලිහිණියන් මෙන් තැවෙන්නට වන බව ය. වැරැදි මාර්ගයේ යමින් පහසුවෙන් ධනය සොයන්නට සැරසෙන, කුමන හෝ අනර්ථකාරී දෙයක් කරන අඥානයින්ගේ අනාගතය ද එවැනි ය. එහෙයින් එවැනි පිරිස්වලට හසු නොවන්නටත්, එවැනි මඟ නොයන්නටත් සුපරික්ෂාකාරී වී යහපත් ජීවන මාර්ගයට පිවිස නුවණින් කටයුතු කිරීමට බොදු සමාජයේ ලොකු කුඩා සෑම දෙනාම ස්ථිර අධිෂ්ඨානයකින් කැප විය යුතු ය.

පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]