[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සදහම් ආලෝකයෙන් සිරිලක ඒකාලෝක වූ දා

සදහම් ආලෝකයෙන් සිරිලක ඒකාලෝක වූ දා

පොසොන් මාසය එකල ලක්දිව සැණකෙළි සමයක් විය. පොහෝ දිනය නැකැත් කෙළියේ උත්කර්ෂවත් දිනය විය. මෙදින දේවානම්පියතිස්ස රජතුමා හතළිස් දහසක් රජ සෙනඟ පිරිවරා ගෙන මිස්සක පර්වතය අසල මුව දඩයමෙහි යෙදුනේ ය. රජතුමා මුවකු ලුහුබැන්දේ, පිරිසගෙන් ඈත්ව වනයේ අතරමං විය. ගිමන් ඇරීම සඳහා පර්වතය පාමුල නතර විය. බලාපොරොත්තු නොවුණු මිහිරි හඬක් දෙසවන ඇමතුවේ ය.

“තිස්සයෙනි, මෙහි එන්න”

ඒ හඬ ආවේ පර්වතය මුදුනෙනි. කඳු මුදුන බැලූ රජතුමාට කසා වස්ත්‍රයෙන් සැරසී ගත් මිහිඳු තෙරණුවන් දකින්නට ලැබුණි. මොහු මනුෂ්‍යයෙක් ද? නැතිනම් දෙවියෙක් ද? රජුට සැක ඇති විය. මිහිඳු හිමියෝ,

“අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. දඹදිව සිට ඔබට ම අනුකම්පාවෙන් ඔබගේ ම යහපත සලකා මෙහි පැමිණියෙමු යැයි” තම පිරිස හඳුන්වා දුන්හ.

තෙරණුවන්ගේ ශාන්ත දර්ශනයෙන් මෙන් ම දඹදිවින් පැමිණි බව ඇසීමෙන් රජු සතුටු විය. දෙදෙනා සුහද සාකච්ඡාවකට යොමු විය. මේ සුහද සාකච්ඡාවේ දී රජතුමා බුද්ධ ධර්මය වටහා ගැනීමට තරම් නුවණ මුහුකුරා ගිය අයකු බව මිහිඳු මාහිමියන්ට වැටහිණි. සාමීචි කතාව අතරතුර රාජ භටයෝ ද එහි ළඟා වූහ. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ රැස් වූ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ.

මිහිඳු තෙරණුවන් එදා දේශනා කළ සූත්‍ර දේශනාව අභිනවයෙන් බුදුදහම වැළඳ ගන්නා පිරිසක් සඳහා අතිශයින් ම උචිත වූවක් විය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි නිදාන කතාව වනුයේ “ජානුස්සෝණි නම් ධනවත් තරුණයකු පිලෝතික නම් වූ දූතයකුගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසා ප්‍රසාදයට පත්වීමේ සිද්ධියයි. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවක් වන මෙයින් මුළු බුදුදහම සංක්ෂිප්තව දක්වා ඇත.

තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා වාරිත්‍ර චාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබයි. ගිහි ගෙයින් නික්මී බඹසර විසීමට රුචි කරන්නේ ක්‍රමයෙන් ආර්ය වූ සීලයෙන් ද, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් ද, ආර්ය වූ මනා සිහියෙන් ද යුක්තව කෙලෙසුන් නසා සදාකාලික සැනසීමට යෝග්‍ය වූ ත්‍රිවිද්‍යා ප්‍රඥාව උපදවා ගනී.

අලුතින් බුදුදහම දකින ජනතාවකට ස්ථිර ආචාර ධර්ම පදනමක වැදගත්කමත් ඒ ආචාර ධර්ම කෙබඳු ඒවාද යන්නත් මෙහිදී විග්‍රහ කර දක්වයි. රටක ශාසනය පිහිටන්නේ භික්ෂූන් වහන්සේ හේතු කොට ගෙන බවත්, ක්‍රමයෙන් කෙනකු ප්‍රවෘජ්‍යා භූමියට පිවිසෙන අයුරුත්, එහි ඇති වැදගත්කමත් විවරණයට ලක්වෙන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ලක්දිව මුලින්ම දේශිත සූත්‍ර දේශනාව වශයෙන් අතිශයින් ම යෝග්‍ය වන්නේ ය.

සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ එන ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුගුණ අසා පැහැදී සිය රථයෙන් බැස බුදුරදුන් සිටින දිශාවට ඇඳිලි බැඳ “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් නමස්කාර පාඨය කියයි. අද දක්වාම අප භාවිත කරන මෙම නමස්කාර පාඨය ලක්දිව බෞද්ධයින් පුහුණුූ වූයේ එදා දෙවනපෑතිස් රජතුමා චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් බණ ඇසූ තැන් සිට විය යුතුයි.

ස්වකීය මිත්‍ර ධර්මාශෝක අධිරාජයා වෙතින් බුදුදහම ගැන මුලින් අසා සිටි ලක්දිව රජතුමා මිහිඳු මා හිමියන් ඇතුළු දූත පිරිසගේ ආකල්ප දැකීමෙන් හා ධර්ම දේශනාවට සවන්දීමෙන් තව තවත් ප්‍රසාදයට පත්වූයේ ය. මේ උතුම් ධර්මය තම මිත්‍ර ධර්මාශෝක රජුගේ පුත්‍රයාගෙන් ම අසන්නට ලැබීම ගැන මහත් සේ සතුටු වන්නට ද ඇත. රජු සමඟ සිටි හතළිස් දහසක් පිරිස ද බුදු දහමෙහි පැහැදී රජු සමඟම තෙරුවන් සරණ ගියේ ය. මුල් දිනයේ ම මේ සා විශාල පිරිසක් බුදු දහම වැළඳ ගැනීම ශීඝ්‍රයෙන් ලක්දිව බුදුදහම පැතිර යාමේ පෙර නිමිත්තක් ද වූයේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ අහසින් වැඩම කළ වග රජතුමා කලින් ම දැන සිටියේ ය. පසුදින ධර්ම දූතයන් වහන්සේ වැඩමවා ගෙන ඒමට යවන ලද රථය හිස්ව පිටත් කළ දූතයන් වහන්සේ රථය මාලිගාවට එන්නට පෙරාතුව ම අහසින් අනුරාධපුරයට වැඩම කළහ. විකාල භෝජනයෙන් වැළකී සිටීම, අසුන් යෙදූ රථයෙහි නොනැඟීම, උසසුන්, මහසුන් පිළිනොගැනීම වැනි භික්ෂු ආකල්ප නියම වශයෙන් ම දැනගත් රජතුමා ඇතුළු පිරිස බුදුසසුන කෙරේ වඩාත් පැහැදුණහ.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව වැඩම කළ දෙවැනි දින දහවල් දන් වළඳා රැස්ව සිටි පිරිසට සරල ධර්ම දේශනාවක් පවත්වා ක්‍රමයෙන් සිව්සස් දහම පිළිබඳව ද වැටහීමක් ලබා දුන්හ. පේතවත්ථු කථා, විමාන වත්ථූ කථා හා සච්ච සංයුක්තය මෙහිදී ධර්ම දේශනාවලට මාතෘකා විය. යහපත් ක්‍රියාවෙන් සැප විපාකත්, අයහපත් ක්‍රියාවෙන් දුක් විපාකත් ලැබෙන අයුරු සහ පුනර්භවය පිළිබඳව ද, සත්‍යාවබෝධයේ වටිනාකම පිළිබඳව ද විස්තර කියැවෙන දේවදූත සූත්‍රයෙන් සහ බාල පණ්ඩිත සූත්‍රයෙන් ධර්මය දෙසූහ.

බණ ඇසූ අනුලා දේවිය ඇතුළු කුල ස්ත්‍රීහු පන්සියයක් බුදුදහම වැළඳ ගත්හ. පැවිදි බව ලබන්නට ද කැමැත්ත ප්‍රකාශ විය.

දහම් පණිවිඩය ක්‍රමයෙන් රට පුරා පැතිරී ගියේ ය. බණ අසන්නට එන පිරිස ද වැඩි විය. තාවකාලික ධර්මශාලාවක් බවට රාජකීය ඇත්හල සූදානම් කළේ ය. භික්ෂූන් වහන්සේගේ විහරණය වෙනුවෙන් රජතුමන් විසින් මහමෙව්නා උයන ද සසුනට පූජා කළේය.

මිහිඳු මා හිමියන් වහන්සේ රජු සමඟ උයනෙහි හැසිරෙමින් මහා සීමාව, සීමා මන්දිරය, ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, රුවන්වැලි සෑය ආදී පූජනීය ස්ථාන පිහිටන තැන් ද පෙන්වා දුන්හ.

මහමෙව්නා උයනේ දී ද මිහිඳු තෙරණුවන් විසින් අග්ගික්ඛන්ධෝපම සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය,අනමතග්ග සංයුක්තය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී දේශනා රාශියක් ධර්ම දේශනා වශයෙන් ඒ ඒ දිනවලදී දේශනා කරන ලදී.

මේ වන විට ලක්දිව බොදුනු පිරිස දස දහස් ගණනක් වුව ද මෙතෙක් බුදු සසුන මෙහි මුල් බැස නොගත් බවත්, ඒ සඳහා උපෝසථ කර්මය කිරීමට සීමාවක් සාදවා ලංකාවේ ම උපන් දරුවකු මෙහිදීම පැවිදි උපසම්පදාව ලබා විනය ඉගෙන, විනය සංගායනාවක් කළ යුතු බව මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජුට පහදා දෙන ලදී. මේ අනුව මුල් මාසය තුළම අරිට්ඨ කුමරු ඇතුළු පනස්පස්දෙනෙක් (55) සිය කැමැත්තෙන් ම පැවිදි බිමට පත්ව මහමෙව්නා උයනේ සම්මත කරන ලද සීමා මාලකයේ දී උපසම්පදාව ලදහ. මහා අරිට්ඨ තෙරුණුවන්ගේ ප්‍රධානත්වයෙන් ථූපාරමයේ දී විනය සංගායනාව පවත්වන ලදී.

සංඝරත්නයේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වත්ම වැඩි වැඩියෙන් ආවාස පහසුකම් සැලසීම ද අවශ්‍ය විය. මිහින්තලාවේ අට සැට ලෙන් ඒ සඳහා සකස් විය. පළමු වස්කාලය මිහිඳු මා හිමි ඇතුළු සැට නමක් මිහින්තලාවේ ආරාමවල වස් විසූහ.

වස් කාලය අවසානයේ සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රධාන පිරිසගේ වැඩම කරවීමත්, ලක්දිව භික්ෂුණී ශාසනයේ ආරම්භයත්, ජය ශ්‍රී මහා බෝධි රෝපණයත්, ලක්දිව ප්‍රථම ස්ථූපය වන ථූපාරාමය ඉදිකරවීමත්, පාත්‍රා ධාතුව ලක්දිවට වැඩම කරවීම ආදි වැදගත් ශාසනික සිදුවීම් රාශියක් ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු කෙරිණ.

දෙවනපෑතිස් රජු බෞද්ධයකු ලෙස අභිෂේක ලැබීම නිසා ක්‍රි.පූර්ව තුන්වැනි සියවසේ සිට අද දක්වාම ලක්දිව රාජ්‍යාගම වූයේ බුද්ධාගමයි. ලංකා රාජ්‍යයේ අභිෂේක ලබන්නට නම් බෞද්ධයකු ම විය යුතුª බව එකල පිළිගත් අදහස විය.

1815 මාර්තු මස 02 දින මහනුවර දී අත්සන් කරන ලද ඉංගී‍්‍රසි, සිංහල ගිවිසුමේ බුද්ධාගම හා භික්ෂූන් වහන්සේ හා සිද්ධස්ථාන ආරක්ෂා කිරීම සඳහා පස්වන වගන්තියෙන් පොරොන්දුවක් දීමට ඉංගී‍්‍රසින්ට ද සිදු වූයේ එදා මහා මහින්ද අනුබුදු මහරහතන් වහන්සේ විසින් ස්ථාපනය කරන ලද ලංකා රාජ්‍ය හා බුද්ධාගම පිළිබඳ වීර සම්බන්ධතාව සිංහලයන් විසින් පමණක් නොව විදේශිකයන් විසින් ද පිළිගෙන තිබුණු නිසා ය.

පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]