[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෙළදිව පළමු රහත් මෙහෙණින් වහන්සේ...

හෙළදිව පළමු රහත් මෙහෙණින් වහන්සේ...

මහින්දාගමනයත් සමඟින් හෙළදිව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම මහත් වූ ශාසනික සමාජීය දයාද හිමි විය. කාන්තාවගේ සුන්දරත්වය රඳා පවතින්නේ සංවරකම මතයි. අසංවර වූ කාන්තාව සසරේ දුගතියට පත්වේ.

බාහිර පරිසරයෙන් මොනතරම් බලපෑම් ඇති වුණත් සංවර කර ගත් සිතට කිසිදු බලපෑමක් කළ නොහැකි ය. ජීවක අඹ වනයේ සිටි සුභා තෙරණිය හමුවට පැමිණි කාමුක තරුණයකු උන්වහන්සේ වසඟයට ගැනීමට දැඩි උත්සාහ කරද්දී ඇසක් උගුලා තරුණයා අතෙහි තැබීමට තරම් පුදුම ආත්මශක්තියක් සුභා තෙරණියට තිබුණි.

ඉන්පසු ආයෙ නම් එවැනි කතා කියන්නේ නැති බව තරුණයා කීවේ ය. සුභා තෙරණිය රුධිරය වෑහෙමින් ඒ ඇසත් අතින් අරගෙන සැවැත් නුවරට වැඩි සේක. බුදුරජාණන් වහන්සේ පෙනෙන ආසන්නයේ ඇස ප්‍රකෘතිමත් ව සුවපත් ව ඇත. නිකෙලෙස් සිතේ ආශ්චර්යය මෙයින් පැහැදිලි වේ.

සෑම දෙනා ම පි‍්‍රයකරන ගෞරවය කරන, දුගතියට පත් නොවෙන කතක් බවට පත්වන්නට නම් ගුණවන්ත, සීලවන්ත විය යුතු ය. සම්බුද්ධ ශාසනය තුළ කාන්තාවට ලබා දී ඇති ඉහළ ම ගෞරවය වූයේ භික්ෂුණී පැවිද්ද ලබා දීමයි.

බුදුරජාණන් වහන්සේ දවස ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන් පිරිසක් ශාසනයේ පැවිදි වන්නට අවසර ඉල්ලීය. මෙවැනි ම සිදු වීමක් ලක්දිවත් සිදු වී ඇත. උතුම් පොසොන් පුන් පොහෝ දිනක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා දීපයට වැඩම කළ අවස්ථාවේ ප්‍රථමයෙන්ම දේවානම්පියතිස්ස රජතුමාගේ සිත් පහදවා දෙවැනි දින රාජ මාලිගයේ දී විමාන වත්ථූ, පේත වත්ථු සහ සච්ච සංයුත්තයෙන් ධර්ම දේශනා කළ සේක. එම දේශනාවෙන් පසුව අරිට්ඨ කුමරු පැවිදි වන්නට අවසර ඉල්ලීමෙන් පැවිද්ද ලබා දුන්නේ ය. එම අවස්ථාවේ අනුලා දේවිය ද සෝවාන් තත්ත්වයට පත් විය. ඒ ලක්දිව ප්‍රථමයෙන් සෝවාන් ඵලයට පත්වූ කාන්තාවයි. අනතුරුව සකෘදාගාමී බවට පත්ව සිටි මහානාග යුව රජුගේ මෙහෙසිය වූ අනුලා දේවිය පැවිද්ද ලබා දෙන හැටියට ආයාචනය කළා ය. ශාසනයේ භික්ෂුවකට කාන්තාවක් පැවිදි කිරීමට අවසර නැත. පැවිද්ද ලබා දීමට නම් දඹදිව සිටින තම නැඟණිය වූ සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවා ගත යුතු බව මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පැවසූහ. ඉන්පසු අරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් යවා ආරාධනාව සිදු කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස උඳුවප් පුර පසළොස්වක පොහෝදා සංඟමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රැගෙන තවත් භික්ෂුණීන් වහන්සේ සමඟින් ලක්දිවට වැඩම කළහ.

අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පිරිස හිස මුඩු කරගෙන කසාවත් හැඳ පොරවා පැවිද්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දසසිල් සමාදන් වී සිටියහ. අනුලා දේවිය ඇතුළු කාන්තා පිරිස පැවිදි භාවයට පත් කළහ. ඉන්පසු බණ අසා රහත්භාවයට පත් වූ පළමු මෙහෙණින් වහන්සේ අනුලාවයි. මේ සිදු වීමත් සමඟින් ලාංකික භික්ෂුණී ශාසනය ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය විය.

බුදුන් දවස ලබා දුන් අගතනතුරුවලින් මනාව පැහැදිලි වන්නේ කාන්තාවට ආධ්‍යාත්මික වශයෙන් ඉහළ ම තත්ත්වයට පත් විය හැකි බවයි.

විශ්වසනීය වචන ඇති උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය නකුලමාතා ගෘහපතිනිය, මෛත්‍රි ධ්‍යාන සිතින් වාසය කරන උපාසිකාවන් අතුරින් සමාවතිය, ධර්මය අවබෝධ කර ගන්නා භික්ෂුණීන් වහන්සේ අතර අග්‍රස්ථානය කුණ්ඩලකේෂී භික්ෂුණිය, අධික වීර්යය ඇති භික්ෂුණීන් වහන්සේ අතර අග්‍රස්ථානය සෝණා භික්ෂුණිය වෙති.

අතීතයේ දී ද කාන්තාව ශාසනයේ අගතනතුරු ලබා උතුම් තත්ත්වයට පත් වූයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශීල, සමාධි, ප්‍රඥාව වැඩීම තුළිනි. එවැනි සැනසීමක් ලබා ගැනීමට අතීත කුල කතක් මෙන් වීර්යවන්තව කටයුතු කොට දුක්ඛිත සසරින් මිදීමට උත්සාහ කරන්න.

පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]