[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව්ලොව දෙවිවරු ද පින් කුසල් රැස් කරති

දෙව්ලොව දෙවිවරු ද පින් කුසල් රැස් කරති

“නිදුකාණන් වහන්ස, දන්දීම කෙතරම් හොඳ දෙයක් ද? බොහෝ අය මසුරුකමත්, ප්‍රමාදයත් නිසා දන් දෙන්නේ නැහැ. ටිකක් තිබෙද්දී දෙන දානය මහා දානයක් තරම් වටිනවා. දන්දීම හොඳයි. ටිකක් තිබෙද්දී දීම වඩාත් හොඳයි. එහෙත් භාග්‍යවතුන් වහන්ස, ශ්‍රද්ධාවෙන් දන්දීම ඉතාමත් හොඳයි.

ස්වාමීන් වහන්ස, දන් දීම, යුද්ධයක් කරනවා වගේ වැඩක්. බොහෝ මසුරු පුද්ගලයන් පරදවා සුළු දෙනෙක් තමා ශ්‍රද්ධාවෙන් දන් දෙන්නේ. ඔවුන්ට පරලොව සැප ලැබෙනවා යැයි කියා සිටියා.

මහා කාරුණික අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං ගුණයෙන් යුක්ත යි. උන්වහන්සේ දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයන්ට අනුශාසනා කරන හෙයින් ද, සසර දුකෙන් අත්මිදීමට මාර්ගය කියාදෙන බැවින් ද, ඒ සියලු දෙනාගේ ශාස්තෘන් වහන්සේ වන සේක.

උන්වහන්සේ හැර නිවන පිණිස දහම් දෙසන වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් අපට හමු නොවේ. උන්වහන්සේ මිනිස් ලොව වැඩ හිඳිමින් දෙව්ලොව සමඟ සෘජු සම්බන්ධකම් පැවැත් වූ ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේ මිනිසුන් මෙන්ම දෙවියන් කෙරෙහි ද, අනුකම්පාවෙන් ධර්මය දේශනා කළ අතර ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මිනිසුන් මෙන්ම දෙවියන් ද සසර දුකෙන් එතෙර වුණා.

දේවතා සංයුත්තයේ සඳහන් වන ආකාරයට දෙවියන් තීක්ෂණ බුද්ධියකින් යුතු බව පැහැදිලි වෙනවා. ඔවුන් බුද්ධ ශාසනයට මහත් සේ ගරු කළ ආකාරයත්, ඔවුන්ගේ ශ්‍රද්ධාවත් දේවතා සංයුත්තයෙන් ප්‍රකට වෙනවා.

දේවතා සංයුත්තයේ නින්දාතන්දී සූත්‍රයේ දී එක් දෙවියෙක් තථාගතයන් වහන්සේ වෙත පැමිණ අසා සිටිනවා. “භාග්‍යවතුන් වහන්ස, නින්ද, බත්මත, ඇඟමැලි කැඩීම, කුසල් දහමට ඇති අරතිය (ධර්මයට ඇති අකැමැත්ත) ආදී දේ තුළින් මනුෂ්‍යයාගේ ආර්ය මාර්ගය ප්‍රකට වන්නේ නෑ නේද? කියලා.

එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළා. "දේව පුත්‍රය, නින්ද, කම්මැලිකම, ඇඟමැලි කැඩීම, ධර්මයේ නො ඇලීම, බත්මත ආදිය දුරුකළ යුත්තේ වීර්යයෙනි. වීර්ය දියුණු කළ පුද්ගලයාට ආර්ය මාර්ගය පිරිසුදු වන්නේ ය.

තවත් දිනෙක දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ කියා සිටිනවා. භාග්‍යවතුන් වහන්ස, බාලයාට, අඥාන පුද්ගලයාට මහණදම් පුරන්න බැහැ. එය ඔහුට ඉවසන්නත් බැහැ කියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා

දේවපුත්‍රය, සිත වරදින් වළකින්නේ නැතිනම් කී දවසක් මහණදම් කරන්න ද? පාපී විතර්කයන්ට වසඟව පියවරක්, පියවරක් පාසා අරමුණක් අරමුණක් පාසා ඔහු පසුබසිනවා.

ඉදිබුවා තම අවයවයන් සිය කබල තුළ බහාලන්නාක් මෙන් යම් භික්ෂුවක් විතර්කයන් ප්‍රහාණය කරමින්, අනුන් නොවෙහෙසා වාසය කරන විට ඒ භික්ෂුවට මේ ධර්මය අවබෝධ කර ගත හැකි වනවා.

“අරහන්ත සූත්‍රයේ” දී එක් දෙවියෙක් අසනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, චතුරාර්ය සත්‍ය අවබෝධය, මාර්ගඵල අවබෝධය ඇති කරගෙන ආශ්‍රවයන් ක්ෂය කළ රහතන් වහන්සේ සිටිනවා. ඒ රහතන් වහන්සේ “මම” කියාත් “මට” කියාත් යම් යම් හේතුන් නිසා කියනවා. ඒ කියමන හරිද කියායි ඒ දෙවියා ඇසුවේ.

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා,

ඒක ඇත්ත දේවපුත්‍රය. අන්තිම ශරීරය දරා සිටින නිකෙලෙස් වූ රහතන් වහන්සේ සිටිනවා. ඒ රහතන් වහන්සේ “මම” කියා කියනවා. “මට” කියා කියනවා. එයට හේතුව උන්වහන්සේ මේ ලෝක ව්‍යවහාර පිළිබඳ දක්ෂ වීම, එවිට ඒ දෙවියා අසනවා.

“භාග්‍යවතුන් වහන්ස, ඒ රහතන් වහන්සේලා මම කියමි, මට කියමි කියා කියන්නේ මාන්නයකින් නොවේ ද?

දේවේන්ද්‍රය, මාන්නය ප්‍රහාණය කළ රහතන් වහන්සේ මාන්නයට ගැට ගැහෙන ස්වභාවයක් නැහැ. උන්වහන්සේ සියලු මාන ගැට ප්‍රහාණය කරලයි සිටින්නේ. සියලු හැඟීම් ඉක්මවා ගොස් තිබෙන්නේ. එනිසා රහතන් වහන්සේ මම, මට ආදී දේ කියන්නේ ලෝක ව්‍යවහාරයෙන් විතරයි. සාමාන්‍ය සමාජයේ මනුෂ්‍යයින් “මම” කියන වචනයට බය වෙලා තිබෙනවා. ඔය බිය නිසා තමයි අර්බුද හට ගන්නේ.

“සර සූත්‍රයේ” දී එක දෙවි කෙනෙක් ඇසුවා භාග්‍යවතුන් වහන්ස, මේ සැඩපහර නවතින්නේ කොතැනින්ද? සසර ගමනට සසර සුළියට හසු නොවී ඉන්නේ කොහොම ද? නාමරූප ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොහිදී ද?

දේවේන්ද්‍රය, යම් තැනක පඨවි, ආපෝ, තේජෝ, වායෝ නොපිහිටයි ද, එතැන තමා සසර ගමන නවතින්නේ. එතැන තමා සංසාර සුළිය කැරකෙන්නේ නැතිව යන්නේ. එතැනයි නාමරූප ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ.

“මහද්ධන සූත්‍රයේ දී” එක් දෙවියෙක් අසනවා ස්වාමීනී, මහබල ඇති, මහත් ධනය ඇති, ක්ෂත්‍රීය රජවරු ඉන්නවා. ඔවුන් කාමය නිසා සෑහීමකට පත්වන්නේ නැහැ. නැවත නැවත ඔවුන් කාම සැපය ම ප්‍රාර්ථනා කරනවා.

මේ ලෝකයේ බොහෝ දෙනා කාමයන් ම ප්‍රාර්ථනා කරමින් වාසය කරද්දී භව සැඩ පහරට හසු වී ලෝකයේ කාමයට හසු නොවී වාසය කරන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේ වදාළා ගිහිගෙය අතහැර, අඹු දරුවන් රන්, රිදී, මුතු, මැණික් අතහැර රාග, ද්වේෂ, මෝහය, අවිද්‍යාව ප්‍රහාණය කළ රහතන් වහන්සේ මේ ලෝකයේ ඉන්නවා. උන්වහන්සේ කාමය සෙවීමේ කිසිදු උත්සාහයක් නැතිවයි ඉන්නේ.

තව දෙවි කෙනෙක් පෙනී සිට භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අත් දෙකත්, කකුල් දෙකත් තිබෙන රෝද හතරක් වගේ තමයි මේ ශරීරය තිබෙන්නේ. අසුචියෙන් පිරී තිබෙන මේ ශරීරයට දොරටු නවයකුත් තිබෙනවා.

ලෝභයෙන් යුක්ත මේ ශරීරය මවුකුස නමැති මඩේ උපන් දෙයක්. භාග්‍යවතුන් වහන්ස, මෙවැනි ශරීරයකින් එතෙර වන්නේ කොහොම ද? බුදුරජාණන් වහන්සේ වදාළා

දෙවිය, රැහැනත්, වරපටත්, ලාමක ආශාවත්, ලෝභයත් සිඳ තෘෂ්ණාව සහමුලින් ම උදුරාලීමෙන් මේ ශරීරයෙන් නික්ම යාමක්, මිදීමක් වෙන්න පුළුවන් බව.

ඒ වගේම දේවතා සංයුක්තයේ “සාධු සූත්‍රයේ දී” දෙවියන් දන්දීම වර්ණනා කොට තිබෙනවා. දෙවිවරු පිරිසක් මුළු ජේතවනාරාමය ම ඒකාලෝක කරමින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ අසා සිටියා.

“නිදුකාණන් වහන්ස, දන්දීම කෙතරම් හොඳ දෙයක් ද? බොහෝ අය මසුරුකමත්, ප්‍රමාදයත් නිසා දන් දෙන්නේ නැහැ. ටිකක් තිබෙද්දී දෙන දානය මහා දානයක් තරම් වටිනවා. දන්දීම හොඳයි. ටිකක් තිබෙද්දී ට වඩාත් හොඳයි. එහෙත් භාග්‍යවතුන් වහන්ස, ශ්‍රද්ධාවෙන් දන්දීම ඉතාමත් හොඳයි. ස්වාමීන් වහන්ස, දන් දීම, යුද්ධයක් කරනවා වගේ වැඩක්. බොහෝ මසුරු පුද්ගලයන් පරදවා සුළු දෙනෙක් තමා ශ්‍රද්ධාවෙන් දන් දෙන්නේ. ඔවුන්ට පරලොව සැප ලැබෙනවා යැයි කියා සිටියා.

එවිට තට දෙවියෙක් මෙසේ කියනවා. භාග්‍යවතුන් වහන්ස, කුමක් දුන්නා ම ද බලය දුන්නා වෙන්නේ? කුමක් දුන්නා ම ද හැඩරුව දුන්නා වෙන්නේ? කුමක් දුන්නා ම ද සැපය දුන්නා වෙන්නේ? කුමක් දුන්නා ම ද ඇස් දුන්නා වෙන්නේ? මේ සියලු දේ දෙන්නේ කුමක් දීමෙන්ද?

භාග්‍යවතුන් වහන්සේ වදාළා, දෙවිය, දන්පැන් දුන්නාමයි බලය දුන්නා වෙන්නේ. වස්ත්‍ර දුන්නාම හැඩරුව දුන්නා වෙන්නේ, යාන වාහන දුන්නාම සැප දුන්නා වෙන්නේ. ආලෝකය දුන්නාම තමා ඇස් දුන්නා වෙන්නේ.

යම්කිසි කෙනෙක් ගෙවල් දොරවල් දෙනවා නම් ඔහු හැමදේම දුන්නා වෙනවා. ඒ වගේම යම් කෙනෙක් ශ්‍රී සද්ධර්මය දෙනවා නම් ඔහු තමා අමෘතය දන් දෙන්නේ.

මේ සියලු දෙයින් අපට මනාව පැහැදිලි වෙනවා දෙව්ලොව සිටින දෙවියන් සද්ධර්මයට කොතරම් කැමැති ද කියලා. ඔවුන් ඉතාමත් බුද්ධිමත්, දෙවිවරු ද බොහෝ සේ පින් කර ගන්නා පිරිසක් බව මෙයින් පැහැදිලියි.

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]