[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අමාවක 2022-10-24

තාවකාලික සතුට හා සදාකාලික දුක

ජීවිතයේ සතුට හඹා යන බොහෝ දෙනකුට අවසානයේ උරුම වන්නේ තාවකාලික සතුට හා සදාකාලික දුක ය. ඒ තැනට වැටෙන්නේ ජීවිතයේ ඇත්ත අවබෝධ කර නොගැනීම හා දහමට අනුව ජීවිතය පවත්වා ගැනීමට උත්සාහ නොවීම තුළ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළ අපට අවධාරණය කොට තිබෙන්නේ, අනුශාසනා කරන්නේ සතුටින් ජීවත්වන මඟ ය. එහෙත් අප බොහෝ දෙනකුට සතුට දුර ය. නුදුරේ ම සතුට ඇතැයි පෙනුණ ද මිරිඟුව සේ එය දුරස්ථ ය. ළඟා වීමක් නොමැති තරම් ය.

බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංච ශීල ප්‍රතිපදාව තුළ ම ලැබෙන සතුට අපමණ ය. පරපණ නැසීමෙන් වැළකීම තුළ ම සුරැකෙන්නේ තමාගේ ම ජීවිතයේ සුරක්ෂිත බව ය. මම කිසිදු විටෙක, කිසිදු හේතුවක් නිසා අන්සතු ජීවිතයක් විනාශ නොකළෙමි යන සතුට මිල කළ නොහැකි ය.

තමන්ගේ දෙයක් අන්සතු වුවහොත් දැනෙන දුක, වේදනාව මොනතරම් ද? තමන්ට සේ ම අන්‍යයන්ට ද එය එසේ ම ය. අන්සතු දේ සොරකමින් වැළකීම තුළ සුරක්ෂිත වන්නේ තමන් සතු දෙයෙහි ආරක්ෂිත බව ය. කොපමණ අසරණ තැනකට වැටුණේ වුව ද අන් සතු දෙය සොරකම් නොකළෙමි. කිසිවකුට වංචා නොකළෙමි. මම මගේ ජීවන වෘත්තියට වංචා නොකළෙමි. ආදී ලෙස ලැබෙන සතුට තාවකාලික සුවයක් නොවේ. ඒ සතුට සදාකාලික ය.

කාමය වරදවා හැසිරීම, බොරුව, රහමෙර පානය ආදි දුරාචාරයන්ගෙන් වෙන්වීම ද සදාකාලික සතුට ලැබෙන මඟකි. මේ ජීවිතය තුළ මම පස්පවින් දුරුවුණෙමි යන ආත්මාභිමානී සිතිවිල්ල සමාජය ඉදිරියේ දී ද අභිමානයකි. බෞද්ධයකු නම් ඒ අභිමානය තිබිය යුතු ම ය.

භෞතික ජීවිතයේ සතුට සොයා යන කෙනකුට අණන සූත්‍රය සුවිශේෂී ය. එහි සතුට ලැබෙන සැප හතරක් ගැන කියැවේ. ඒ අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ හා අනවජ්ජ සුඛය යි.

කෙනකුට අත නොපා ජීවත්වීමට හැකිනම් ඒ ජීවිතය ගෞරවණිය ය. අනුන් ඉදිරියේ හිස නොනැමෙන්නකි. එසේ තමන්ගේ ජීවිතය, තම අඹුදරුවන්ගේ ජීවිතය දුෂ්කරතාවකින් තොරව පවත්වා ගැනීමට හැකි ලෙස භෞතික සම්පත් කළමණාකරණය කර ගත් පුද්ගලයාට අත්ථී සුඛය ලැබේ.

ඇතැම් අය මොන තරම් හරිහම්බ කළ ද ඒ සියල්ල තම පරිභෝජනයට පමණි. බෙදාහදා ගන්නට නො දනී. ඒ තුළ සතුටක් නැත. සතුට ලැබෙන්නට නම් තමන් සතු දෑ බෙදා හදා ගනිමින් පරිභෝජනය කළ යුතු ය. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකළ යුතු ය. ඒ තුළ ලැබෙන තෘප්තිය භෝග සුඛය යි.

අණන සුඛය නම් ණය නැති බව ය. තමන් හැදූ වැඩූ මව්පියන්ගේ සිට, පවුලට, ගමට, රටට, ජාතියට, ආගමට මේ පරිසරයට ණයකරුවකු නොවන ලෙස ජීවත්වන පුද්ගලයාට යි. ඒ සතුට ලැබෙනුයේ.

යහපත් දේ සිදු කළොත් ලැබෙන්නේ යහපත් ප්‍රතිපලයකි. අයහපතෙහි විපාකය අයහපත ම ය. බෞද්ධයා නම් අනිවාර්යයෙන් ම කර්මපල විශ්වාස කරන්නෙක් විය යුතු ය. ඒ විශ්වාසයෙන්, නරකින් ඉවත්ව නිවැරැදි ජීවන පැවැත්මක් සකසා ගැනීම තුළ ලබන සතුට, සුවය අනවජ්ජ සුඛය යි.

මෙලෙස භෞතිකව සතුටු වන පුද්ගලයා ආධ්‍යාත්මික ව ද තම සිතිවිලි කළමණාකරණය කර ගත යුතු ය. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ලෝභය, මෝහය ආදී කෙලෙස් සිතිවිලි වැඩෙන්නට, වැඩෙන්නට වර්ධනය වන්නේ දුක ය.

එම කෙලෙස් මුල්වීම නිසා සිදුකරන අවසාන පලය ගැන කෙනෙක් යම් මොහොතකට වියරු සතුටක් ලබනවා විය හැකි ය. එහෙත් සදාකාලික ව ඔහු පසුපස එන්නේ දුක ය. තාවකාලික සතුට ලැබ සදාකාලික දුක උරුම කර ගන්නවා ද? තෝරා ගැනීම තම තමන් සතු ය.

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]