[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 85 කොටස: රජරට ආගමික ප්‍රබෝධය අපේ වාසියට හරවා ගතයුතුයි

දුටුගැමුණු මහ රජතුමා - 85 කොටස:

රජරට ආගමික ප්‍රබෝධය අපේ වාසියට හරවා ගතයුතුයි

‘කුමරියනි, ඔබට බොහෝම ස්තූතියි. ඔබට ඇති වූ සැකය අපටත් ඇති වූ නිසයි හදිසියේ ම රජතුමා හමුවන්නට ආවේ. මට ලැබුණු රහස් තල්පත තුණ්ඩිල හෝ දීඝාභය කියවා ඇති බව දැන් තහවුරු වෙනවා.”

“මා පැවසූ කිසිවක් නොදන්නා ලෙස පිය රජතුමා සමඟ සාකච්ඡා කරන්න.”

“මහ සෙනෙවිතුමනි, රජ කුමරිය රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නය පිළිබඳ අපට වඩා පුළුල් ලෙස සිතන බව පෙනී යනවා. එළාර මහ රජතුමා, දුටුගැමුණු රජු යටතේ ප්‍රාදේශීය රජකු ලෙස ඉන්නට කැමති නම් යුද්ධය නතර කළ හැකි බව ඇය පවසනවා. මේ රටේ අයිතිය ගැමුණු රජුට යැයි ඇය තර්ක කරනවා.”

“සිදුවිය යුතු දෙය සිදුවන රටක් නොවෙයි මේක. එහෙමනම් මට මගේ උරුමයන් ලැබෙන්නට ඕනෑ”.

‘දීඝාභය මහ සෙනෙවිතුමනි, මේ ආත්මාර්ථකාමීව සිතිය යුතු අවස්ථාවක් නොවෙයි. පොදුවේ අප මුහුණ පා ඇති ගැටලුවට සිත යොදමු. සදාචාර විරෝධීව ඔබට ආ ලිපියක් කඩා බැලූ ඔවුන් රජතුමාට කේලාම් කියනවා. රජතුමා ඔබ කෙරෙහි පවතින විශ්වාසය පළුදු කිරීමටයි ඔවුන්ට වුවමනා. එයින් ඔවුන්ට වන යහපතක් නැහැ. සිදුවන්නේ අයහපතක් ම පමණයි.”

‘අන්න කේලම්කරුවන් දෙදෙනා යනවා. අපි දැන් යමු රජ මාලිගයට. කිසිවක් නොදන්නා ලෙසට තල්පත රජතුමාට පිළිගන්වමු. කිසිවකු විසින් තල්පත කඩා කියවා තිබූ බව පමණක් කියමු.”

එළාර රජතුමා සෙන්පතිවරු දෙදෙනා පිළිගත්තේ ය. තල්පත කියවා බලා එය ආපසු දුන්නේ ය.

“මේ ඔත්තුකරුවා අල්ලා දඬුවමක් දෙන්නට ඕනෑ” යි කීවේය.

“සිරිනාග, තොප මේ පොසොන් පොහොයට පින්කමක් කරන්නට යන බව කෘෂ්ණා දියණිය කීවා. ඒ සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලැබේවි.”

මගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට රහතන් වහන්සේ දෙදහසකට දන් පිරිනැමීමට ආරාධනා කළා. දැන් එය සිව් ගුණයක් වෙලා. ජයනාථ මහ සිටුතුමා, සුමන මහ සිටුතුමා වෙනුවෙන් දෙදහසක් රහතන් වහන්සේට, රජකුමරිය මෑණියන් වහන්සේට පින් පිණිස දෙදහසක් රහතන් වහන්සේට ආරාධනා කරලා. පුණ්ණා ඇයගේ පියා මිත්‍ර මහ සෙනෙවිට පින් පිණිස දෙදහසක් රහතන් වහන්සේ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට තීරණය කරලා. එදා සවස පැවැත්වෙන බෝධි පූජාවට අනුරාධපුර රාජධානියේ සියලුම බෞද්ධයන් සහභාගි වෙතැයි අපේක්ෂා කරනවා.

“මේ ආගමික ප්‍රබෝධය අපට වාසිදායක වන ලෙසට සංවිධානය කරන්න. එදිනට ඒකරාශි වන සියලුම ජනතාවට ආහාරපාන රජවාසලෙන් සැපයීමට කටයුතු සූදානම් කරන්න.”

“දීඝාභය, සිංහල බෞද්ධ ජනතාව මා කෙරෙහි වූ කලකිරීම් දැන් අඩුයි. මම හැමදාමත් කල්පනා කළේ මේ දිවයින අපේ රාජධානියක් කර ගන්නයි. ප්‍රාදේශික රාජ්‍යයන් කිහිපයක් අපට යටත් කරගත හැකි වුවත් කාවන්තිස්ස, කැලණිතිස්ස රජවරු ඒකට කැමැති වුණේ නැහැ. කාවන්තිස්ස රජු ඉතා සූක්ෂ්ම විදියට ඒ රාජ්‍ය කිහිපය අල්ලා ගත්තා.”

“මේ තත්වය ළඟදීම වෙනස් වෙනවා. ලබන වසරේ මුල් භාගයේ දී මගේ බෑනා කෙනකු පහළොස් දහසක අශ්ව සේනාවක් අරගෙන මෙහි එනවා. අලුත් පන්නයේ ආයුධ තොගයකුත් ලැබෙනවා. එයින් පසුව අපට ලංකාවම යටත් කරගත හැකි වේවි.”

“එවිට ඒ ප්‍රාන්ත රාජ්‍යයන් පවරන්නේ මගේ විශ්වාසවන්ත මහ සෙනෙවිවරුන්ටයි. සිරිනාග වගේ කැපවී වැඩ කරන තවත් දසදෙනකු සිටියා නම් මේ වන විටත් අපට මුළු රටම යටත් කර ගන්නට තිබුණා. සියලු අභ්‍යන්තර ආරක්ෂක කටයුතුවල වගකීම පැවරෙන්නේ සිරිනාගට.”

“රජතුමනි, සිරිනාග කෙරෙහි යුද්ධ මණ්ඩලයේ සියලුම සෙනෙවිවරුන්ගේ විශ්වාසය පසුගිය දා පළවුණා. මේ තල්පත ලද විගසම අප ඔබතුමාට හමුවන්නට ආවේත් ඒ ප්‍රසාදය නිසයි.”

“ඒ ගැන කලබල වෙන්නට එපා. තුණ්ඩිල, දීඝජන්තු දෙදෙනාගේ අදහස් මම පිළිගන්නේ නැහැ.

අනුරාධපුරයේ සහ මිහින්තලයේ පැවැත්වෙන පොසොන් පින්කම වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම බෞද්ධයෝ රජරටට පැමිණියහ. කිසිදු බාධාවකින් තොරව සියලුම මුරකපොලුවලින් හා තොටමුණුවලින් බෞද්ධ සැදැහැවතුන්ට එන්නට ඉඩ දිය යුතු ය” යන රජ අණ නිසා රාජධානියේ බොහෝ පිරිස් රජතුමා කෙරෙහි ප්‍රාසාදයට පත්වූහ. ඒ අසා එළාර රජු බොහෝ සතුටට පත්විය. එය විශේෂයෙන් රජුට ම දැනගන්නට සිරිනාග විසින් නිර්මාණය කරන ලද ප්‍රවෘත්තියක් බව රජතුමා නොදත්තේ ය.

වසර පනහකට පමණ පසු මුළු අනුරාධපුරයම සුදුවතින් හා කසාවතින් බැබළෙනු දකින්නට ලැබීම බෞද්ධයන්ගේ සතුටට කරුණක් විය. අගනගරය පමණක් නොව ගම්නියම්ගම්වල ද සෑම නිවසක ම බෞද්ධ කොඩි ලෙළ දුන් අතර එය බෞද්ධ රාජ්‍යයක් පහළවීමේ පෙරනිමිති වැනි විය. සිංහල බෞද්ධයෝ පමණක් නොව දෙමළ පුරවැසියෝ ද සතුටට පත්ව සිටියහ.

මහාපාලි දාන ශාලාවේ හත් දහසක් මහ රහතන් වහන්සේට ද, දහසකට අධික භික්ෂුණීන් වහන්සේටද දානය ගෙන එන සැදැහැවතුන්ගෙන් ප්‍රදේශයම පිරී පැවතුණි.

කුණ්ඩල බ්‍රාහ්මණතුමා විසින් මිහින්තලා පූජා භූමිය සැරසිලි කරවන ලද්දේ විය. ශ්‍රී මහා බෝධින් වහන්සේ, ඉසුරුමුණිය, ථූපාරාමය ආදි පූජනීය ස්ථාන වන්දනා කරමින් සැදැහැවතුන් නඟන සාධු නාදයට එක්වන බෙර, දවුල්, හොරණෑ, නාදය පෙර රජ දවස පින්කමක අසිරිය සිහිපත් කරන්නක් විය. කෘෂ්ණා කුමරියත්, පුණ්ණා, අමිතා, දන්තී ආදි යෙහෙළියෝ දාන ශාලාවේ අඩුපාඩු විමසමින් කටයුතු සම්පාදනය කළෝ ය.

දන් පිරිනමන අවස්ථාවේ දීි කුණ්ඩල බ්‍රාහ්මණතුමා ද අමාත්‍ය මණ්ඩලයෙහි කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ. සවස් වරුවේ චිත්තගුත්්ත මහතෙරුන් වහන්සේ සිදුකළ ධර්ම දේශනයෙන් පින්කම අවසන් විය.

උත්සව ශී‍්‍රය නරඹමින්, එළාර මහ රජතුමා ද ඇතු පිට නැඟී නගරය පුරා සංචාරය කළේ ය. දීඝජන්තු ඇතුළු සෙනෙවිවරු ග්‍රාමීය ප්‍රදේශවල සැරිසරමින් ජනතාවගේ පහසුකම් සොයා බැලූහ. නමුත් උපතිස්ස හෝ දීඝාභය නොපැමිණීම කුතුහලයට හේතු විය.

“සිරිනාගගේ පින්කම ඉතාමත් හොඳයි. නමුත් එයින් අප බලාපොරොත්තු වූ දෙය ඉටු වුණේ නැහැ. පිට ප්‍රදේශවලින් ආපු මිනිසුන් නගර වැසියන් ගේ සිත්වලට වැරැදි ආකල්ප ඇතුල් කරලා . සිංහල මිනිසුන්ට විතරක් නොවෙයි දෙමළ මිනිසුන්ගේ සිත් තුළත් වැරදි චිත්‍රයක් මවලා.”

රාජ සභාවේ දී එළාර මහ රජතුමා කීවේ ය. සිරිනාග පුදුමයට පත් විය.

“නැහැ, දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ පාලන කාලය තුළ දී මෙබඳු පින්කමක් කිරීම ගැන සියල්ලෝ ම සතුටු වුණා. ඔබතුමා කෙරෙහි ප්‍රසාදය පළකළා.”

“පුරාවස්තු විනාශ කරලා. බුදු පිළිම කඩා දාලා, විහාර කොල්ලකාලා අනේ මෙහෙමත් අපරාධයක්” කියමින් සොළී පාලනයට සාප කළාලු.

“එබඳු ස්ථාන කිහිපයක් ම පොදු ජනයාට යා නොහැකි ලෙස අප වසා දැමුවා. ථූපාරාමයේ එක් බුදු පිළිමයක් කඩා දමා තිබුණා. එය ඉවත් කරන්නට අපට ඉඩක් ලැබුණේ නැහැ.”

ඉතිරි කොටස ඉල් පුර අටවක පෝදා (01)අන්තර්ජාල කලාපයේ පළවේ

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]