[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මකාමී ශික්ෂාකාමී ශිෂ්‍ය පිරිසක් ගොඩනඟනවා

ධර්මකාමී ශික්ෂාකාමී ශිෂ්‍ය පිරිසක් ගොඩනඟනවා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණී කාරක සභික මැලේසියාවේ ප්‍රධාන සංඝනායක කුඩාඅරුක්ගොඩ ශ්‍රී මහේන්ද්‍රාරාමය කිදෙල්පිටිය වැල්මිල්ල ශ්‍රී නිකේතනාරාමය උභය විහාරාධිපති මලක්කාවේ සෙක්ක්‍යා විහාරාධිපති අලුබෝමුල්ලේ රතනසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

කුඩා කාලයේ උතුම් වූ පැවිදි බිමට පත්ව දේශීය සහ විදේශීය ධර්මදූත ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකටව වැඩ සිටින ඔබ වහන්සේ මේ තත්ත්වයට පරිවර්තනය වීම සඳහා ගුරු හාමුදුරුවරුන්ගෙන් ලැබුණු ආභාසය මොන වගේද? අපේ හාමුදුරුවන

1969 වර්ෂයේ ජුනි 29 වැනි දා අලුබෝමුල්ලේ රතනසිරි යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රව්‍රජ්‍යාභාවය ලබා ගැනීමට තරම් මම පුණ්‍යවන්ත වුණා. අලුබෝමුල්ල කුඩාඅරුක්ගොඩ ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථාන පුණ්‍යභූමියේ දී පැවැත්වුණු උතුම් පැවිදි පින්කම සඳහා වැඩමවා වදාළ මගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ ඇරැව්වල පඤ්ඤාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, දඹර සුමනරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේම උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ එවකට ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ වශයෙන් වැඩසිටි අතිගෞරවාර්හ මොල්ලිගොඩ අරියවංශ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුණ්‍යානුමෝදනාපූර්වක ව කෘතවේදී ව ගෞවරයෙන් සිහිපත් කළ යුතුයි.

ඒ වගේම නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරමින් සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාවෙහි පිළිපන් සංඝ නේතෘන් වහන්සේගේ සෙවණේ පැවිදි දිවියට ඇවැසි සාමණේර බණ දහම් මූලික ශාසනික වත් පිළිවෙත් හොඳින් පුරුදු පුහුණු වෙමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු සඳහා පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනට ඇතුළත් වුණා.

එවකට එම පිරිවෙනෙහි වැඩ සිටි සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන්, සංඝ ශෝභන ගුණයන්ගෙන් පිරිපුන් ශාස්ත්‍රඥයන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගැනීමට භාග්‍යවන්ත වුණා. එවැනි වියත් ඇදුරුමඬුල්ලක් හමුවේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමෙන් ලැබුණ ශික්ෂණය, ශ්‍රමණ සාරුප්‍යයේ පූජනීයත්වය පැවිදි දිවිය ප්‍රභාෂ්වරවීමට හේතු වුණ බවත් මේ අවස්ථාවේ දී ගෞරවපූර්වකව සිහිපත් කිරීම වැදගත්.

එම කාලපරිච්ඡේදයේ දී ම නිසි වයස සම්පූර්ණ වීමත් සමඟ පැවිදි ආචාර්යයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක ධුරන්දර අතිපූජනීය වන්දනීය ලබුගම ලංකානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදා ශීලයට පත්වීමට තරම් ලබා තිබූ සංසාරගත පුණ්‍ය මහිමය බලවත් වුණා.

ඒ කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය ලබමින්, ලබුගම ලංකානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේ යටතේ දීප්තිමත් පරිවේණස්ථානයක් වශයෙන් සම්භාවනාවට පාත්‍රවුණ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ ඉංගී‍්‍රසි ආචාර්යවරයකු වශයෙන් ගුරු සේවය ආරම්භ කළා.

සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, තායි, ජපන් ආදී භාෂාන්තරඥානයෙන් පිරිපුන් ඔබවහන්සේ වියත් පඬිරුවනක් වශයෙන් ජාතික සහ ජාත්‍යන්තරව එතෙක් මෙතෙක් සිදුකරන ලද සේවාවන් කෙටියෙන් දැනුවත් කරන්න හාමුදුරුවනේ,

මූලිකවම තායිලන්තයේ බැංකොක්නුවර වටිපක්නාම් විහාරස්ථානයට වැඩම කරමින් වසරක පමණ කාලයක් තායි භාෂාව හදාරමින් ධර්මදූත සේවයේ නිරත වුණා. ඒ අතර නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයෙන් විශේෂ පාඨමාලාවක් හැදෑරුවා. මැලේසියාවේ තයිපිං නගරයේ බෝධි ලංකාරාම විහාරස්ථානයේ ආගමික කටයුතුවල නිරත වුණා.

පසුව ජපානයේ කබෝෂිමා නගරයේ ඩ්ධඵඵඩධණඪ ජපන් විහාරස්ථානයේ වසර 12ක් වැඩ සිටිමින් බුදුදහම තුළින් ලැබුණු ශික්ෂණය උපයෝගි කර ගෙන විදේශීය ජනතාවට ඇවැසිවුණු නිර්මල බුදුදහම ලබා දෙමින් ඔවුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කළා.

අනතුරුව කොරියාවට වැඩම කරමින් විහාරස්ථානයක් ආරම්භ කිරීමත් සමඟ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බූටාවත්තේ සරණංකර නායක ස්වාමින් වහන්සේගේ ආරාධනාව මත නැවත මැලේසියාවට වැඩම කිරීමට සිදුවුණා. මලක්කාව නගරයේ ගරාවැටෙමින් තිබුණු සෙක්ක්‍යා ඉන් ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් සියලු විහාරාරාංගයන්ගෙන් අලංකාරවත් අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට සංවර්ධනය කළා. වසර 20කට අධික කාලයක් එම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන එම ප්‍රදේශයේ සිටින සෑම චීන ජාතිකයකුට ම හොඳට පිරිත් කියන්න පුරුදු පුහුණු කළා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්වාමින් වහන්සේ මලක්කාව ථෙරවාදී විහාරස්ථානය වෙත වැඩම කරමින් වාර්ෂික කඨින පින්කම් වගේම වෙසක් පොහොය නිමිති කරගෙන වාර්ෂිකව විශේෂ පෙරහරක් සංවිධානය කරනවා. සෙක්ක්‍යා ඉන් ථෙරවාදී විහාරස්ථානය මලක්කාවේ තිබුණත්, ලංකාවේ විහාරස්ථානයක තිබෙන අසිරිය දකින්න පුළුවන්. එම ප්‍රදේශවල ස්වාමින් වහන්සේ අඩු නිසාම පාංශුකූලය වෙනුවෙන් වෙනම ගිහි කණ්ඩායමක් සූදානම් කර තිබෙනවා.

2005 වර්ෂයේ දී තරුණ ලෝක බෞද්ධ සංවිධානයේ නියෝජ්‍ය සභාපතීන් වහන්සේ වශයෙන් රටවල් 140ක් නියෝජනය වන ආකාරයට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට කටයුතු කළා. එම සමුළුව මලක්කාව සෙක්ක්‍යා ඉන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවැත්වුණ නිසාම එම විහාරස්ථානයටත්, මලක්කාවටත් ජාත්‍යන්තර වශයෙන් විශේෂ කීර්තියක් ලැබුණා.

මලක්කාවේ සිදුකරන ජාත්‍යන්තර ආගමික, ශාසනික සේවය සම්භාවනාවට පත් කළ මලක්කා රාජ්‍ය ඉන්දියාවේ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වෙමින් ආචාර්ය උපාධියක් පිරිනැමීමටත් කටයුතු කළා.

මැලේසියාව, ජපානය, ජර්මනිය, ඉතාලිය, වියට්නාමය, කාම්බෝජය, ඔස්ට්‍රේලියාව ආදි රටවල ධර්ම සාකච්ඡා පවත්වමින් බුදුදහමේ මූලික හරය ඔවුන්ට අවබෝධ කරදීමටත් කටයුතු කළා.

එම ජාත්‍යන්තර සම්බන්ධතා පදනම් කර ගෙන සදහම් පණිවුඩය ලෝකයාට බෙදාදෙමින් සමාජසේවා කටයුතු සිදුකර ගෙන යනවා. ලංකාවට විපතක් පැමිණි හැම අවස්ථාවක දී ම ආධාර උපකාර කිරීමට කටයුතු කළා. අපේ දරුවන්ගේ නැණ නුවණ දියුණු කිරීමේ අරමුණින් ඔවුන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට හැකි සෑම උපකාරයක් ම තවදුරටත් සිදුකරගෙන යනවා.

කුඩාඅරුක්ගොඩ ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානය වැල්මිල්ල ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානය සංවර්ධනය කරමින් සම්බුද්ධ ශාසනයට ඇවැසි ධර්මකාමී ශික්ෂාකාමී ශිෂ්‍ය පිරිසක් බිහිකිරීම සඳහා කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා ශ්‍රමණ සාරුප්‍යයෙන් පිරිපුන් භික්ෂු ආකල්පයන්ගෙන් පෝෂණය වුණු භික්ෂු පිරිසක් ගොඩනැඟිය යුතුමයි.

බුදුදහම වගේම බෞද්ධ දර්ශනයේ හරය ලෝකයා වෙත දායාද කරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකරන සේවය සම්භාවනාවට පාත්‍ර කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට කටයුතු කළා.

ධර්ම විනයධර බහුශ්‍රැත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන ඔබ වහන්සේගේ කුඩා කාලය ආවර්ජනය කරමින් වර්තමාන කුඩා භික්ෂූන් වහන්සේ අතර දක්නට ලැබෙන ප්‍රවණතාවන් පිළිබඳ දරන අදහස පැහැදිලි කරමින්ම සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ

අපි පුංචි කාලයේ අපට බොහොම අඩුපාඩුකම් තිබුණා. අඩු පහසුකම් යටතේ කටයුතු කිරීමට සිදුවුණත්, සම්බුද්ධ ශාසනය පිළිබඳ ගෞරවයෙන් උතුම් භික්ෂු ආකල්ප ගොඩනඟාගෙන උත්තරීතර පැවිදි ජීවිතයකට අවශ්‍ය පසුබිම ගොඩනඟා ගත්තා. නමුත් වර්තමාන ලංකාවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ප්‍රතිරූපය පිළිබඳ ජාත්‍යන්තරය තුළ පවතින අදහස් එතරම් සුදුසු නැහැ. කොණ්ඩ රැවුල වවාගෙන හර්තාල් කරනවා. බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය මේකද? භික්ෂුවගේ විනය මේකද? කියලා ඔවුන් හිතනවා. එම ප්‍රතිරූපය බෞද්ධ භික්ෂුවකට එතරම් ගැළපෙන්නේ නැහැ. මම ලබාගත් අත්දැකීම් තුළින් පැරැණි ශාසනික සම්ප්‍රදාය අනුගමනය කරමින් සුවිශේෂී ශිෂ්‍ය පිරිසක් ගොඩනැඟීමට කටයුතු කරගෙන යනවා.

විශාල ප්‍රමාණයෙන් ලංකාව පුරාම සිදු කළ නොහැකි වුණත්, මගේ ශක්ති ප්‍රමාණයෙන් ශාසන සාරුප්‍ය රැකගෙන කටයුතු කරන ධර්මකාමී ශික්ෂාකාමී ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම අරමුණ කරගෙන කටයුතු කරනවා. අධ්‍යාපනයේ දී වුණත්, ප්‍රාචීන භාෂාවන්ට මුල්තැන දෙමින් විදේශීය භාෂාන්තර ඥානය මුල්කරගෙන පැරැණි ශාසනික සම්ප්‍රදාය අනුගමනය කළ යුතුයි. පැරැණි දින චර්යාව බොහෝදුරට ගිලිහී ඇති බවත් පේනවා. එම ස්වභාවය මඟහරවා ගැනීම වැදගත්. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම, අභිවෘද්ධිය වෙනුවෙන් හැකි සෑම ආකාරයකින් ම කටයුතු කර ගෙන යනවා.

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]