[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වටිනාකම් රැකෙන්නේ වත්පොහොසත්කම් මත ම නොවේ

වටිනාකම් රැකෙන්නේ වත්පොහොසත්කම් මත ම නොවේ

අනුරාධපුර යුගයේ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලක්දිව පුරා ව්‍යාප්ත වුණා. භික්ෂූන් වහන්සේත් ඒ ධර්ම මාර්ගයේ පිහිටා කටයුතු කරන්න පටන් ගත්තා.

මෙකල තිබුණා උත්තරෝලිය නම් ගමක්. අනුරාධපුර නගරයට ඈතින් තමයි පිහිටලා තිබුණේ. ගම්වැසියෝ ජීවත්වීමට විවිධ රැකියාවල නිරත වුණා. එක් මහලු මවක් සහ පුතෙක් ජීවත් වුණා බොහෝම දුක සේ. වගා කරන්න ඔවුන්ට අයත් ව ඉඩමක්වත් තිබුණේ නෑ. ජීවත් වෙන්න කළේ පොහොසත් මිනිසුන්ට සේවය කිරීමයි.

පුතා කලක් දුර පළාත්වල සේවය කළා. එහෙත් මව රෝගීවීමත්, මහලු වියේ සිටීමත් නිසා නිවසේ සිටම රැකියාවක් කරන්න තීරණය කළා. ගම් පෙදෙසේ රැකියාවක් සොයා වෙහෙසුණත් ලැබුණේ නෑ.

විශාල ගව පට්ටියකට හිමිකම් කියන මිනිසෙක් රැකියාවක් සොයා වෙහෙසෙන තරුණයා දැක ගවයන් බලා ගැනීමට කැමැති දැයි අසා ඔහුට ගොපල්ලකු ලෙස සේවය කිරීමට අවස්ථාව දුන්නා. තරුණයාත් සතුටින් රැකියාව කරමින් කල්ගත කළා. මවත් රැක බලා ගත්තා.

දවසක් මව අලුයම නැඟිට වැඩට යන්න සූදානම් වන පුතා අමතා කිව්වා.

‘පුතේ උදේට කාලා යන්න කිසිම දෙයක් නෑ, බඩගිනි වුණහම කන්න මේ කටු අල කෑල්ල අරගෙන යන්න’යි කියා එක් කටුඅල කෑල්ලක් දුන්නා. එහෙත් එය පිලුණු වී තිබුණා.

තරුණයාගේ පිරිසුදුකමක් නම් නෑ. නිතර දූවිලිවලින් පිරී ගිය ශරීරයකින් සහ කෙවිටක් සහිතවයි දකින්න ලැබුණේ. තරුණයා කොතරම් අපිරිසුදුවට හිටියත් ඔහුගේ සිත කරුණාවෙන් පිරී තිබුණා. ගවයින්ට ආදරයෙන් කථා කළා. තණ කැවීම් සහ ජලය පෙවීම් ආදිය ආදරයෙන් ඉටුකළා.

දූවිලි පිරුණු අත්වලින් කටු අල කෑල්ලත්, කෙවිටත් අරගෙන පිටත් වුණා.

අතරමඟ දී එක් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ නමක් දැකලා ඔහුට හිතුණා කටුඅල කෑල්ල පූජා කරන්න. පාත්‍රයට ඉතා ශ්‍රද්ධාවෙන් එය පූජා කළා. තෙරුන් වහන්සේ තරුණයාගේ හැඩරුවත්, ශ්‍රද්ධා මහිමයත් දුටුවා.

‘මේ තරුණයා ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනෙක්, මට පූජා කළ මේ ආහාරය පෘථග්ජනව වැළඳුවහොත් ලැබෙන ආනිශංස අඩු වෙන්න පුළුවන්. රහත් බවට පැමිණ මිස මෙය වළඳන්නේ නම් නෑ”යි අධිටන් කරගෙන විහාරයට වැඩම කර විදසුන් වඩා අර්හත් භාවය ලබා ගෙන එය වැළඳුවා. තෙරුන් වහන්සේ පිලුණු වූ කටුඅල කෑල්ල විසි කර දමා වෙනත් ආහාරයක් අපේක්ෂාවෙන් පිණ්ඩපාතයේ වැඩම කළේ නෑ. තරුණයාගේ අපිරිසුදුකම දැක ඉවත් කළේ නෑ. හොඳින් සකස් නො කළේ යැයි ඉවත් කළේත් නෑ. කිලිටි අත්වලින් ගෙන ආවේ යැයි ඉවත දැමුවේත් නෑ. ගොපලු තරුණයා කෙරෙහි කරුණාවෙන් ම එය වැළඳුවා.

ඔහුගේ පරලොව ජීවිතය සාර්ථක කර දුන්නා. තරුණයාගේ ආයු කෙළවර කළුරිය කොට එගම ම එක් කුල ගෙයක කුල කාන්තාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තා.

මහරහතන් වහන්සේ නමකට කටුඅලයක් පූජා කිරීමේ පෙර පින් බලයෙන් මහා නිධානයක් ඔහු වෙනුවෙන් පහළ වුණා. උත්තරෝලිය ගමේ පිහිටා තිබුණා මහා වැවක්. කුමාරයාගේ මව වැවට පැමිණෙන තුරු නිධානය වැවේ ඔබ මොබ පාවෙමින් තිබුණා.

දිනක් ගම්වැසි ස්ති‍්‍රයක් ස්නානයට වැවට ගිය වේලේ නිධානය දැක එය ලබා ගන්න උත්සාහ කළා. බොහෝ වේලාවක් කැප කර නිධානය අතින් අල්ලා ගත්තා. ඇගේ අත නිධානයේ ඇලී ගියා. එවිට ඒ අත ඇදගෙන අනෙක් අතින් අල්ලා ගත්තා. කිහිප විටක්ම මෙසේ කර නිධානය ගොඩට ගැනීමට උත්සාහ කළා. නිධානයට අධිගෘහිත දෙවියන් ඇයගේ අත ගැනීමට නොහැකි ලෙසට ම නිධානයට බද්ධ කළා. ස්ති‍්‍රය බොහෝ බියට පත් ව, තමන් සතු ආභරණ සහ වස්ත්‍ර නිධානයට දමා දෙවියන් යදිමින් ජීවිතය ඉල්ලා සිටියා. ඇය එවිට එයින් නිදහස් වුණා.

ස්ත්‍රිය මේ පුවත ගම පුරාම ප්‍රචාරය කළා. වැවේ පාවෙන නිධානය බලන්න ගම් වැසියන් වගේම අවට ගම්වල අයත් පැමිණෙන්න පටන් ගත්තා. වැව වටේට ම පිරිස පිරී ඉතිරී ගිහින්. ඒ හැමෝම ‘අනේ දෙවියනි, මගේ ළඟට නිධානය පැමිණේවා, මගේ ළගට නිධානය පැමිණේවා’යි ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා. නිධානය ඒ කිසිම කෙනෙක් ළගට ගියේ නෑ.

තරුණයා පිළිසිඳගෙන සිටින මවත්, අරුම පුදුම නිධානය බලන්න පුංචි පුතු ඇකයෙනුත් අරගෙන එතැනට ගියා. සෙසු පිරිස් වගේ ම ඇයත් නිධානය ලබා ගන්න ප්‍රාර්ථනා කළා.

පළමුව තමන්ගේ පුණ්‍ය මහිමයක් වේ නම් නිධානය පැමිණේවා’යි ප්‍රාර්ථනා කළා. එහෙත් පැමිණියේ නෑ.

දෙවැනියට ඇකයේ සිටින දරුවාගේ පින් බලයක් වේ නම් පැමිණේවා’යි ප්‍රාර්ථනා කළා. එයට ද නිධානය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ.

තෙවැනියට කුසහොත් දරුවාගේ පුණ්‍ය මහිමයක් වේ නම් නිධානය පැමිණේවා’යි ප්‍රාර්ථනා කළා. ඇයගේ එම ප්‍රාර්ථනාවත් සමඟ වැව මැදින් වහා නිධානය මතු වී ඇය ඉදිරියට පැමිණ කැරකෙන්න පටන් ගත්තා. නිධානය ගෙන යන්න ඇයට නොහැකි නිසා ‘ඔබට සුදුසු තැන ඔබම දනුව‘යි ප්‍රකාශ කළා.

ඇයගේ වදනත් සමග නිධානය පෙරළෙමින් නිවසට ගොස් සුදුසු තැනක පිහිටියා. කුමාරයා බිහි වී පස්වැනි වියට පා තැබුවා. නිධානයෙන් සියලු අවශ්‍යතා ඉටුකර ගත්තා. කුමාරයාගේ අවශ්‍යතාවලට පමණයි එයින් යමක් ලබා ගත හැකි වන්නේ.

කුමාරයාගේ වයස අනුව අකුරු කියවන්න නැකැත් යොදා දිනයක් ද වෙන් කර ගත්තා. නිධානයෙන් ගත් ආභරණ සහ වස්ත්‍ර ගෙන එදින කුමාරයා සැරසුවා. ගම්වැසියන්ටත්, නෑදෑයින්ටත් ආරාධනා කළා.

වැවට ගොස් නිධානය ලබා ගැනීමට උත්සාහ කළ ස්ති‍්‍රයත් මෙදින පැමිණ සිටියා. ඇය කුමාරයාට අන්දවා ඇති වස්ත්‍ර දැක ඒවා තමාගේ බව කියමින් දබර කරන්න පටන් ගත්තා. කුමාරයාගේ මව සියලු පුවත් ඇයට දැන්වූවා.

ඇය, රජුට හොරෙන් නිධානයක් භුක්ති විඳින බවත්, නිධාන නම් රජුට අයත් බවත් පවසමින් පුවත් සියල්ල රජුට වාර්තා කළා. රාජපුරුෂයන් යවා එය ගෙන්වා ගැනීමට නියෝග කළා. නිධානයට අත ගසන හැමෝම නිධානයට ම ඇලී යන බවත්, නැවත අත් මුදවා ගන්නට නොහැකි බවත් රජුට දැන්වූවා.

‘එසේ නම් නිධානය හිමි අය සමග නිධානය ගෙන එන්න’

යැයි නියෝග කළා. කුමාරයාත්, මවත්, පියාත් සෙසු නෑයිනුත් රජු වෙතට එළැඹ පෙනී සිටියා.

රජතුමා ඔවුන් අමතා

‘පින්වත, ඔබගේ නිධානයෙන් මටත් ධනය දෙව‘යි නියෝග කළා. කුමාරයා ජල බඳුනකින් ජල බිඳු කිහිපයක් නිධානයේ කටට ඉස්සා. අදහා ගත නොහැකි ධන රාශියක් එයින් නිකුත් වුණා. රජතුමා මහත් සතුටට පත් ව උත්තරෝලිය ගම ඔහුට ම පවරා දී බොහෝ තෑගි භෝගත් පිරිනැමුවා. ඔහු වැඩිවියට පැමිණ බොහෝ පින්කම් කොට දිවි කෙළවර අඹුදරුවන් සමඟ දිව්‍ය සම්පත් හිමි කර ගත්තා.

යමෙක් පැහැදුණු සිතින් ඉතා කුඩා දෙයක් හෝ සිල් ගුණයෙහි පිහිටි අයකුට දෙන්නේ නම්, එයින් විපුල ඵල ලබන බව මේ කතා පුවත පෙන්වා දෙනවා. දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ දී සිල්වත්, ගුණවත් උතුමන් වහන්සේ හමුවන අවස්ථාවල දී ප්‍රයෝජන ගෙන පරලොව සාර්ථක කර ගන්නා ලෙස මේ කතා පුවත උපදෙස් දෙනවා.

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]