[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර පූජනීය අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණෝ ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ

අනුරාධපුර පූජනීය අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණෝ

ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ

අනුරාධපුර අටමස්ථානාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය 18 දින අපවත්වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ හැත්තෑ වැනි වියේ පසුවූහ.

උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුරු දැරූ බෝමලු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතින් වහන්සේ ය. වර්ෂ 1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූහ. පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුදුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියාණන් වූයේ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේතුමා ය. මෑණියන් දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාව ය. මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. හත්වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වර්ෂයේ මැයි මාසයේ දිනක දී රුවන්වැලි මහා චෛත්‍යාරාමයේ දී එවකට අටමස්ථානාධිපති ව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන් බිමට ඇතුළත් විය.

ඉන් අනතුරුව උන්වහන්සේ භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් කිරීමට පල්ලේගම ධම්මරක්ඛිත නා හිමියෝ කටයුතු කළහ. ඉන් අනතුරුව කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනින් ද අධ්‍යාපනය ලබා 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

1975 වර්ෂයේ වෙසක් මස 06 වැනි දින ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී හේරත් හල්මිල්ලෑවේ රේවත නා හිමි, පල්ලේගම ධම්මරක්ඛිත නා හිමි, පල්ලේගම ඤාණරතන නාහිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

1977 වර්ෂයේ දී අටමස්ථානාධිපති ව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නා හිමියන් අපවත් වූයෙන් අටමස්ථානාධිපති ධූරයට පත් වූයේ පල්ලේගම ඤාණරතන හිමියන් ය. අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරි හිමියන් ලෙස මාස තුනක් පමණ බොහෝ කැපකිරීමෙන් කටයුතු කිරීමට සිරිනිවාස හිමියන්ට සිදු වූහ.

උසස් පෙළ අධ්‍යාපන කටයුතුවලට හුණුපිටිය ගංගාරාමයට වැඩම කළ සිරිනිවාස හිමියෝ එහි සිට අධ්‍යාපන කටයුතු සිදු කරන අතර අටමස්ථානාධිපති ඤාණරතන නා හිමියන්ගේ ඉල්ලීමකට අනුව බෝමලුව විහාරයේ නිත්‍ය වාසය සඳහා වැඩම කළහ.

පැවිදි බිමට පත් සිරිනිවාස කුඩා ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ පළමු වැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පළමු රන්වැටේ ප්‍රථම රන් කණුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේ සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත වරම ලැබීම ය.

බෝමලුව විහාරයට වැඩම කිරීමත් සමඟ ම දිනපතා උදේ, සවස ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ වාසනාව හිමි විය. අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධි ස්ථානයට පැමිණි උන්වහන්සේ ටික කලක් එහි වැඩමවීමෙන් පසුව, අටමස්ථානාධිපති නා හිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය විහාරස්ථානයේ ද, අභයගිරි විහාරස්ථානයේ ද භාරකාරත්වය උන්වහන්සේ දැරූහ.

කලක් එහි වැඩ විසීමෙන් පසුව, අටමස්ථානාධිපති නා හිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරි ලෙස සිරිනිවාස හිමියෝ පත් කෙරිණි. වර්ෂ 1994 දී අභයගිරි චෛත්‍යාරාමයේ වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස නා හිමියෝ අපවත් වී වදාළහ. ඒ අනුව අටමස්ථානාධිපති ඤාණරතන නා හිමියන්ගේ බලවත් ඉල්ලීමකට අනුව සිරිනිවාස හිමියන්ට අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කිරීමට සිදු විය. උන්වහන්සේට අභයගිරි විහාරයේ වැඩ විසීමට සිදු වූයේ වසරක පමණ කාලයකි.

1995 වර්ෂයේ දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන නා හිමියෝ අපවත් වී වදාළහ. ඉන් අනතුරුව අටමස්ථානාධිපති නා හිමියන් විසින් සිරිනිවාස හිමියන් රුවන්වැලි මහා චෛත්‍යය රාමාධිකාරි ධූරයට පත් කරන ලදී.

වර්ෂ 1995 දී මහත් ගෞරව බහුමානයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කෙරුණි. මෙම පදවිය ලැබීමත් සමඟ ම පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නා හිමි නම් වූහ.

පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට සුදුසු ස්වාමීන් වහන්සේ වූයේ සිරිනිවාස නාහිමියන් ය. 44 වැනි වියෙහි පසු වූ සිරිනිවාස නා හිමියන් අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත් වූ ළාබාලම භික්ෂූන් වහන්සේ බවට පත්වූහ.

පෙර රජ දවසින් පසු වර්තමානයේ ජය ශ්‍රී මහා බෝධි මලුවේ දක්නට ලැබෙන සියලු ඉදිකිරීම් සහ නිර්මාණ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සංකල්පනාවන් අනුව සිදු වූ ඒවා බව සඳහන් කළ යුතුව ඇත.

අටමස්ථානය සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් අතිපූජනීය සිද්ධස්ථාන අටකි. එම අටමස්ථාන බලා ගැනීමේ වගකීම ඉතා ගරු ගාම්භීර කටයුත්තකි. එම ගරු ගාම්භීර කටයුත්ත මීට පෙර අටමස්ථාන අධිපති පදවි හෙබ වූ නා හිමිවරුන් වහන්සේ සේ ම පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද ඒ වගකීම ඉතා හොඳින් ඉටු කළ යතිවරයන් වහන්සේ නමකි.

ශ්‍රී මහා බෝධින්වහන්සේ ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ දීර්ඝ කාලයක් ඉටුකළ ලෝක ශාසනික සේවාව අගයමින් තායිලන්ත රජය මඟින් ආචාර්ය උපාධියක් ද පිරිනමනු ලැබීය.

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරි නිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කොට සිටිමු.

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]