[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉපදෙන මියයන ඉරණමට හසුනොවී මරණය පරාජය කරන හැටි

ඉපදෙන මියයන ඉරණමට හසුනොවී මරණය පරාජය කරන හැටි

මරණය පරාජයට පත්කිරීම ලෙහෙසි නැත. යමෙක් මරණය පරාජය කොට දිනුම ලබන්නේ නම්, ඔහු ලොව දිනූ පුද්ගලයා ය. ඔහුගේ දිනුම ස්ථිරසාර, නොවෙනස්, අනභිභවනීය දිනුමෙකි.

ඉපදෙන මැරෙන මේ ලෝකයෙහි එසේ මරණය දිනූ කෙනෙක් සිටියහ. ඒ ලොව දිනූ භාග්‍යවතුන් වහන්සේ ය. උන්වහන්සේ මරණය දිනූ සේක.

අවිද්‍යාව නමැති මහා අඳුරෙන් සියල්ල වසාලයි. තණ්හාව නමැති මහා බන්ධනයෙන් ආශා කළ දෙයෙහි පැටලී වෙළී යයි. එවිට ඔහුගේ දිවිය අවිද්‍යාවෙන් වැසී ඇත්තේ ය. තණ්හාවෙන් බැඳී ඇත්තේ ය. කර්මයෙන් සිර වී ඇත්තේ ය. එවැන්නකුට යළි යළි උපතත්, මරණයත් හැර අන් කුමක් ලබන්නට ද.

භාග්‍යවතුන් වහන්සේ ඒ අවිඳු අඳුර නසා ආලෝකය උපදවා ගන්නටත්, තණ්හාවේ අදිසි යදම් සිඳ බිඳ එයින් නිදහස් වෙන්ටත්, කර්මයේ සියලු බලපුළුවන්කාරකම් බිඳ දමන්ටත් සමත් වූ සේක.

ඒ සියල්ල කර ගනු ලැබුවේ තමන් වහන්සේ විසින් ම විමසා බලා සොයා ගන්නා ලද අංග අටකින් යුතු ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර ගැනීම නිසා ය.

භාග්‍යවතුන් වහන්සේ එතැනින් නොනැවතුණු සේක. උපත හා මරණයට පටලැවී, සිරවී අනේක ආත්මයන්හි රඳවමින්, අනන්ත දුක් කම්කටොලු ලැබ දෙන මේ ජීවිත රටාවෙන් නිදහස් වීමේ අද්භූත අත්දැකීම ලෝ සත ඉදිරියේ හෙළි පෙහෙළි කර දුන් සේක. එය වටහා ගැනීමට දක්ෂ වූවෝ උපත හා මරණයෙන් පිටතට පැනගත්තාහු ය.

පුද්ගලයකුට වෙනත් ලොවක උපදිනු පිණිස මරණය විසින් දොර හැර දෙන නමුත් ඔහු සමඟ මෙලොව ගතකළ අය ඔහුගේ වියෝව හේතුවෙන් බොහෝ දුක් විඳිත්. පි‍්‍රය විප්‍රයෝගයෙනුත්, අපි‍්‍රය සම්ප්‍රයෝගයෙනුත් පහස්නා ලද ඔවුහු හෙළනා කඳුළු මෙ පමණකි’යි කිව නොහැකි ය.

ජීවිතය හමුවන වාරයක් පාසා මරණය ද හමුවේ. මැරෙන වාරයක් පාසා බොහෝ දුක් දොම්නස් විඳින්න සිදුවේ. එය කෙතරම් සුවිශාල දැයි වටහා ගැනීමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙ කරුණ ය.

‘මහණෙනි, ඉපිද ඉපිද මැරි මැරී යන්න පටන් ගත් මේ දුක්ඛිත ජීවන රටාව කවදා කොතැනෙක කෙසේ පටන්ගත් දෙයක් දැයි එහි මුලක් සෙවීම නම් කිසිසේත් නොදැක්ක හැකි දෙයකි.

එහි මුල නොපෙනේ. ඒ තරම් ම කාලයක් ගෙවී ඇත්තේ ය. අවිද්‍යාවෙන් සැබෑ තතු වැසීගොස්, තණ්හාවෙන් බැඳී ගොස් යළි යළි ඉපිද මැරී යන මේ ගමන් මගේ ආ දුර සුළුපටු නොවේ.

කල්ප කෝටි ගණනකිනුත් කිව නොහැකි තරම් අතීතයක් සියලු සතුන්ගේ ජීවිත කතාවෙහි ඇත්තේ ය. මේ සා අති දීර්ඝ කාලයක් විඳින ලද්දේ සුළුපටු දුකක් නම් නොවේ.

මහණෙනි, මේ ගැන කිමෙක් සිතන්නේ ද? ඉතාමත් වැඩි කිමෙක් ද? මේ සා මහා දීර්ඝ කාලයක් පුරා ගෙවී ගිය ඈත අතීතයක ඒ ඒ අත්බැව්හි අපි‍්‍රයයන් හා එක්වීම නිසාත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම නිසාත් හඬා වැළපීමෙන් ඔබගෙන් වැගිර ගිය කඳුළු ද වැඩි? නැතහොත් සිව් මහා සමුදුරෙහි ජලය ද?

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම තුළින් ජීවිතය දෙස බැලිය යුතු දැක්මෙන් බලන කල්හි අප ද වටහාගෙන සිටිනුයේ මෙලෙස ය.

මේ සා මහත් දීර්ඝ කාලයක් පුරා ගෙවුණු මහත් අතීතයේ, ඒ ඒ අත්බැව්හි අපි‍්‍රයයන් හා එක්වීමෙනුත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමෙනුත් දරාගත නොහැකි සෝ දුකින් හඬා වැළැපෙන කල්හි අප නෙතින් වැගිර ගිය කඳුළු ම බොහෝ ය. සිව් මහ සමුදුරෙහි ජලය එතරම් නැත්තේ ය.’

‘මැනවි, මැනවි මහණෙනි, සැබැවින් ම එය එසේ ම ය. මා දෙසූ දහමින් දිවියේ සැබෑ තතු දෙස බැලූ අයුරු මැනවි. ඔබ විසින් මේ සා මහත් දිගු කලක් මුළුල්ලේ ගෙවී ගිය සුවිසල් අතීතයෙහි ඒ ඒ අත්බැව්හි අපි‍්‍රයයන් හා එක්වීමෙනුත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමෙනුත් දරා ගත නොහැකි සෝ දුකින් වැළපුණු තොප නෙතින් වැගිර ගිය කඳුළු බොහෝ ය. සිව් මහා සමුදුරෙහි යම් ජලයක් ඇද්ද, එහි එතරම් නැත්තේ ය.

මහණෙනි, මේ සා දිගු අතීතයේ ඒ ඒ අත්බැව්හි ඔබගේ මවගේ මරණයට පත්වීම හේතුවෙන් සෝක දුකින් පහස්නා ලදුව වැළපෙන නෙතින් වගුළ කඳුළු ම බොහෝ ය. සිව් මහ සමුදුරු ජලය එතරම් නැත්තේ ය.

හෙලූ කඳුළු පිළිබඳ කතාව එපමණකින් නිමා නොවේ. ඒ ඒ අත්බැව්හි තොප පියාගේ මරණයෙනුත්, සොයුරු සොයුරියන්ගේ මරණයෙනුත්, අඹුදරුවන්ගේ මරණයෙනුත්, නෑසියන්ගේ මරණයෙනුත්, තමන් සතුව තිබූ උපභෝග පරිභෝග වස්තූන් නැසීයාමෙනුත්, බිහිසුණු රෝ දුක්වලට බඳුන් වීමෙනුත් අකැමැති දෙය ම ඔබ හා එක්විය.

කැමති දෙය ම ඔබගෙන් වෙන් විය. එකල්හි දරා ගත නොහැකි සෝදුකින් පහර කන ලදුව නෙතින් වගුළ කඳුළු ම ඉතා බොහෝ ය. සිව් මහ සමුදුරෙහි ජලය එතරම් නැත්තේ ය.

එහෙයින් මහණෙනි, මෙසේ ඉපිද ඉපිද මැරි මැරී යන දුක්ඛිත ජීවන රටාවට මෙසේ ගොදුරු වී සිටීම ගැන කළකිරිය යුතු නොවේ ද? නොඇලිය යුතු නොවේද? මේ දුක්ඛිත ඉරණමෙන් නිදහස් විය යුතු නොවේද?

වරක් භාග්‍යවතුන් වහන්සේ උපමාවෙකින් ඉපදෙන මැරෙන කතාව පැහැදිලි කළ සේක. ‘මහණෙනි, ලී දණ්ඩක් අහසෙහි උඩට වේගයෙන් දැමූ විට වරෙක මුලින් වැටේ. තව වරෙක මැදින් වැටේ. යළි අගින් වැටේ. එක ම ආකාරයෙන් එක ම රටාවට නොවැටේ.

මහණෙනි, මේ සත්වයාට සිදුවූයේ ද මෙබඳු ම දෙයකි. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් ගැටගැසී කර්ම විපාකයට හසුවී වරෙක මැරී වෙනත් ලොවෙක යයි. එතැනින් මැරී තව ලොවකට යයි. එතැනින් මැරී තවත් ලොවකට යයි. එතැනින් මැරී යළි මෙලොව එයි. යළි මෙලොවින් වෙනත් ලොවක යයි. ඉමක් කොණක් නොමැතිව හිස හැරුණු අත ඉබාගාතේ යන ලෙසින් මෙසේ ඉපදෙන්නටත් මැරෙන්නටත් සිදුවූයේ කුමක් නිසා ද? මේ සා මහත් අතීතයේ දිගු කලක සිට අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් ගැටගැසී කර්ම විපාකයට සිරවෙන්නට සිදුවූ නිසා ය.

වරක් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේ ය. ‘මහණෙනි, මේ සා අති දීර්ඝ කාලයක ගෙවී ගිය මහත් අතීතයේ එක් කල්පයක දී එක් පුද්ගලයකු මැරි මැරී යන වාර ගණන දෙස බලන්නේ නම්, ඒ මෙසේ ය.

ඔහු උපන් වාර ගණනේ දී ඒ කල්පය පුරා මරණයට පත්වන වාරයක් පාසා අත්හළ ඇටසැකිළි ගොඩගැසුවේ නම්, එසේ ගොඩගසන ලද ඇටසැකිලි නොදිරා ගියේ නම්, මේ සා විශාල වූ විපුලගිරි පර්වතය තරම් උඩට ගොඩගැසෙන්නේ ය. එසේ වූයේ මන්ද?

දුර ඈත සෙනසුනෙක විසූ තිහක් පමණ භික්ෂු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරගනු පිණිස රජගහ නුවර වේළුවනයට පැමිණියෝ ය.

ඒ භික්ෂූන් දෙස බැලූ භාග්‍යවතුන් වහන්සේ තුළ මේ අදහස ඇති විය. ‘පාවා නුවර වැසි තිස්නමක් පමණ වූ භික්ෂූහු හැමදෙන අරණ්‍යවාසීහු ය.

ගෙපිළිවෙළින් පිඬුසිඟා පමණක් දන් වළඳන්නෝ ය. පාංශුකුල සිවුරු පමණක් දරන්නෝ ය. එහෙත් තවමත් මේ භික්ෂූන්ගේ සිත් ඉපදෙන මැරෙන ලෝකයට ගැටගැසී ඇත්තේ ය. මේ හිඳින තැන දී ම ඒ සියලු ක්ලේශ බන්ධනයන්ගෙන් මේ භික්ෂූන්ගේ සිත් නිදහස් වන අයුරෙන් දහමක් දෙසුව මනා ය.’ මෙසේ සිතූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘මහණෙනි, මේ සා අති දීර්ඝ කාලයක් මහත් අතීතයක් පුරා ගෙවී ගිය අනන්ත කාලයෙහි ඉපදෙමින් මැරෙමින් ඔබ මෙතෙක් පැමිණි ජීවන රටාවේ මූලාරම්භයක් දැක්ක නොහැක්කේ ය.

එහි අක්මුල් නොපෙනේ. මේ රටාවට හසු වූ සත්වයෝ අවිද්‍යාවෙන් මුළා ව, තණ්හාවෙන් ගැටගැසී කර්මයට දාස ව සිටිති. ඔබට සිදුවූයේත් එය මය.

මහණෙනි, මේ සා දිගු කලෙක, ගෙවී ගිය මහ අතීතයෙක ඔබ ගවයන් ව උපන් කල ගෙල සිඳින ලදුව මැරීයාමේ දී ගලා ගිය රුධිරය.... මීගවයන් ව උපන් කල... එළුවන් ව උපන් කල... බැටළුවන් ව උපන් කල... මුවන් ව උපන් කල... ඌරන් ව උපන් කල.... කුකුළන් ව උපන් කල.... නේක සතුන් ව උපන් කල.... මනුලොව ඉපිද ගම් පහරන සොරුන් ව සිටි කල දඬුවම් ලැබ.... මනුලොව ඉපිද පර අඹුවන් කරා ගොස් හසුවී දඬුවම් ලැබ..... තොප නොයෙක් අරගල, යුද කෝලාහලවලට හසුවී ඒ ඒ තැන ගෙල සිඳින ලදුව මරණයට පත්වීමෙන් ගලා ගිය යම් රුධිරයක් ඇද්ද, එය ඉතා වැඩි ය. සිව් මහා සමුදුරු ජලය නොවේ.

මෙවන් අතිදුක්ඛිත ඉරණමකට තොප ගොදුරු වූයේ මක් නිසා ද? මහණෙනි, මේ සා මහ දිගු කලක්, ගෙවීගිය මහා අතීතයක් පුරා ඒ ඒ අත්බැව්හි ඉපදෙන්නටත්, මැරෙන්නටත් සිදුවන ඉරණමට හසුවීම නිසා ය. ගෙල සිඳුනු ලැබ සිව් මහා සමුදුරු ජලය ඉක්මවා ගිය රුධිරය ම වැඩි වූයේ, ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමට මෙසේ හසුවී සිටීම නිසා නම්, ඒ ගැන තොප කළකිරිය යුතු නොවේද? නොඇළිය යුතු නොවේ ද? මේ දුක්ඛිත ඉරණමෙන් නිදහස් විය යුතු නොවේද?’

භාග්‍යවතුන් වහන්සේ වදාළේ පිටස්තර පුද්ගලයකුගේ ඉරණම පිළිබඳ උපුටා දක්වා අසවලාට වූ දේ බලන්නට කියා නොවේ. තම තමන්ගේ අක්මුල් නොපෙනෙන අතීතයේ සැඟව ගිය කඳුළු පිරි යටගියාව ගැන ය. සාගර ජලය ඉක්ම යන තුරු ලේ කඳුළු ගලා ගිය, ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණම ගැන ය. එහි සැබෑ තතු නොදැන තමාගේ ම ඇසටත්, කනටත්, නාසයටත්, දිවටත්, කයටත්, මනසටත් තණ්හාවෙන් ගැටගැසී සිටීම ගැන ය. ඇසින් දක්නා රූපයටත්, කනින් ඇසෙනා ශබ්දයටත්, නාසයෙන් දැනෙනා ගන්ධයටත්, දිවට දැනෙනා රසයටත්, කයට දැනෙනා පහසටත්, සිතෙහි මැවෙනා ලොවටත් තණ්හාවෙන් ගැටගැසී සිටීම ගැන ය. එහි ම ඇලී ගැලී සිටීම ගැන ය. එනිසා ම තමා මුහුණ දුන් දුක්ඛිත ඉරණම ගැන ය.

ඒ තිහක් පමණ වූ භික්ෂූන්ට තමන්ගේ ම අතීතය පිළිබඳ සැබෑ චිත්‍රය මැනවින් දිස්වූයේ ය. වඩවඩාත් පැහැදිලි ව වැටහී ගියේ ය. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් ගැටගැසී කර්මයට දාස ව බිහිසුණු ඉරණමක සිරවී සිටි බව වැටහී ගියේ ය. ඔවුන්ගේ නුවණැස පෑදුණේ ය. ගැටගැසී තිබූ හැම කෙලෙස් බැමි ලෙහුණේ ය.

ඉපදෙන මැරෙන රටාවෙන් පිටතට පැනගත් අය මරණය දිනුවෝ ය. ඉන් පසු ඔවුනට ඉපදීමත් මරණයත් කිසිසේත් අදාළ නැත. එය ඔවුන්ගේ විෂයයට අයත් නැත. ඒ භූමියෙහි ඔවුන් නැත.

ලෝකයෙන් එතෙර වීම යනු මෙය ය. මරණයට යට නොවී මරණය පරදවාලීම යනු මෙය ය. එවන් නිකෙලෙස් උතුමකු වයසින් කුඩා වුව ද සිතන රටාවෙන් ගාම්භීර ය.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩසිටි සමයෙහි රජගහ නුවර එක්තරා දරුවෙක් බුදුසසුනෙහි පැවිද්ද ලබා ගත්තේ ය. ඔහු වයසින් කුඩා නමුත් නුවණින් වැඩිහිටියෙකි. ඒ දරු තෙමේ සාමණේර භූමියේ සිටිය දී ම ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමෙන් පිටතට පැන ගන්න සමත් වූයේ ය. දැන් ඒ හෙරණ නමගේ සිත උපතට හෝ මරණයට අයත් නැත්තේ ය. එයින් නිදහස් ය.

ඒ කුඩා රහත් හෙරණගේ නම අධිමුත්ත ය. හේ තවත් සඟ පිරිසක් හා වස් වසනු පිණිස ඈත පිටිසර වනගත පෙදෙසකට පිටත් විය. සැටනමක් පමණ වූ සඟ පිරිසට උවටැන් කරන මේ නිහතමානී සාමණේරයන් මරණය දිනුවෙක් බවත්, ජීවිතයත් මරණයත් පොරබදින දුක්ඛිත සසර සයුර තරණය කළ අයකු බවත් කිසිවකුට දැනගත නොහැකි විය.

කුඩා භික්ෂුවක් ව සිට පවා සිය සිතෙහි ඇති අද්භූත වෛරාග්‍යයෙන් නිපන් සිතැඟි අන්‍යයන්ට නොපවසා එදෙස උපේක්ෂාවෙන් බැලීම මරණය දිනුවන්ගේ ලකුණෙකි.

ඒ වනයේ දරුණු සොරමුලක් සැරිසැරූහ. ඔවුහු වන ගැබෙහි ඇති වනස්පති මහා වෘක්ෂයකට අරක්ගත් යකින්නක උදෙසා වාර්ෂිකව මිනිස් බිල්ලක් දෙන්නට පොරොන්දු ව සිටියෝ ය. මෙවර ඒ මිනිස් බිල්ලට සුදුසු අයකු සොයන විට ඒ වන අසපුවෙන් බැහැර පිටත් ව ගිය තරබාරු මහල්ලකු හමුවිය. මහල්ලා කියා සිටියේ තමා වැනි ජරපත් මාල්ලකු බිල්ලට දීමෙන් තොපගේ දේව මාතාව සතුටු නොකළ හැකි බව ය. ‘ඉදින් ගුණ නුවණැති සුසිල්වතකු බිළිදිය හැකි නොවේද? එකල්හි ඒ දේව මාතාවෝ තොප කෙරෙහි පහන් වන්නී තොප රකින්නී නොවේ ද? එබඳු තපස්වීහු අසවල් තැන සිටිත්. ම වැන්නකු කුමට?’දැ යි කීවේ ය.

මෙය අදහාගත් සොරුන්ගේ සිත් එදෙසට යොමු විය. ඔවුහු ආරණ්‍යය වටකළෝ ය. වැඩිහිටි තෙරවරුන් එකිනෙකා සොරු සමඟ යන්ට පෙළගැසෙන්නට පටන් ගත් විට අධිමුත්ත හෙරණ නම ඒ හැම වළකා තෙමේ ම ඉදිරිපත් විය.

සොරමුල පොඩිනමත් රැගෙන වනස්පතී මහා වෘක්ෂය වෙත ගියේ ය. අවට මහා අඳුරු සෙවණැලි වසා මූසල නිහැඬියාවකින් පිරී ගිය තැනෙකි. සිංගාරයන්ගෙන් තැන තැන රත්පැහැ ගන්වා, වදමල් පුදා, සිහින් රතුවතින් පිරිකෙව් කොට තිබිණ. රුක් සෙවණේ යහනක හැඩය ගත් ගලක් තැන්පත් ව තිබිණ. හෙරණ නම එහි හිඳුවීය. අරණ්‍යයෙහි දී මුණගැසෙන කල්හි පොඩිනමගේ මුව මඬලෙහි තිබුණේ යම් සිරියාවෙක් ද, එය නොවෙනස් ව එලෙසින් ම තිබුණේ ය. ඒ මඳ සිනහවෙන් ද දිගටම මුව සැරසී තිබුණේ ය. කඩුවෙන් සිඳ මරණයට පත්කොට බිලිදෙන්ට සූදානම් ව හිඳුවා සිටින මේ ළදරු පැවිද්දාට එහි වගක් නැති සේ ය. මරණය යනු කුමක්දැයි නොදන්නා සේ ය. මැරෙනවුන් දැක නැති සේ ය. මරණෙන් භ්‍රාන්ත වූවන්ගේ වියරු විලාපය කිසි දින අසා නැති සේ ය.

සොර දෙටුවා පොඩිනම දෙස නෙතු පිය නොසලා බලා සිටියේ ය. හාත්පස පහන් දල්වා, වදමල් පුදා යකින්නට බිලි පුද දෙනු පිණිස ස්තෝත්‍ර කියැවේ. සීනුහඬ නැංවේ. උඩැක්කි වැයේ. මේ කුඩා ශ්‍රමණයාණන් දෙස බලා සිටි සොර දෙටුවාට පුදුම නොවී සිටින්නට බැරි විය. මොහු උමතු වූවෙක් ද? සිහිකල්පනාව නැති වූවෙක් ද? මෙසේ නොවෙනස් වූ මඳ සිනහවෙකින් නිර්භය දෙනෙතින් සුව සේ බලා සිටිනුයේ කෙසේ ද? දැන් බිල්ලට කැපවන බව නොදන්නේ ද? හේ යාදින්න මඳකට නවත්වා දේව මාතාවට බිළිදෙන්ට කැප කළ කුඩා ශ්‍රමණ නමගෙන් මෙසේ විචාළේ ය.

එම්බා දරුව අප පෙර, අල්වා මෙතැන ගෙන ආවුන් කැප කරද්දී බිල්ලට වැළපේ. වනය දෙවනත් කොට පැහැර ගැනුමට ධනය, නැසුමට කඩු එසවූ විට සියලු වස්තුව පුදා, ඉල්ලුවෝ ම ය ජීවිත.

සලිත ව මරණ බියෙන්, වියරු වැටී ගිය ඔවුහු
සිහිසුන් ව
වැටුණෝ, බැගෑ හඬ නැඟුවෝ
වගුළෝය බොහෝ කඳුළු,
ගැහි ගැහී සිටියෝ
තොප මහ අමුතු යැ,
බිය තැතිගැනුම් නැත කිසිත්
මරණය ළං ව එන විට,
තොප පැහැ දිලේ වැඩියෙන්
අසිපතින් වටකොට,
මරණය යි තොප කැඳවන
මෙවන් මොහොතක කිම,
නොහඬා නොවැළපී
අමුතු සන්සුන් බවෙකින්,
වෙනසක් නැතිව ඉන්නේ?

එකල්හි ඒ පොඩිනම කිසි වෙනසක් නොදක්වා සතුටු පිරුණු මුව මඬලින් යුතුව, නිදහස් සිතින් යුතුව, බිය තැතිගැනීමක් යනු කුමක්දැයි නොදන්නා සිතින් යුතුව, මරණය පිළිබඳ තමන් තුළ ඇත්තේ කවර දැක්මෙක්දැයි සොර දෙටුවාට පහදා දුන්නේ ය.

එම්බා මිතුර අසව මා බස,
දිවියේ ඉදිරි මොහොතට
පවතින්ට කිසි ලෙසට, ඕනෑකමක් නැතියකුට
මරණය පැමිණි විට, බියවන්ට
කරුණෙක් නැත
ගැටගැසී තිබූ හැම කෙලෙස්,
මැනවින් ලිහා ගත්විට
බිය තැතිගැනීම්වලින්, ඔහු
පිටට පැන ගත්තෙකි

උතුම් අරිඅටඟි මඟ වැඩී
ඇත මා තුළ හොඳින්
ඒ මඟ මනාකොට ප්‍රගුණ වී ඇත මා හට
දුකින් විඳ වූ රෝගයක්,
සුව වූ අයකුහට
රෝගයක් තමාහට,
තිබුණු බවවත් සිහි නැත
එලෙසින් ම මා හට,
මරණ බිය තිබුණු බවවත්

කිසි මතකයක් නැත
හොඳින් දමනය කොට සිත
නැණින් දැන ඇති තතු
විමුක්තිය පසක් කළ විට
සැබෑ අස්වැසිල්ලක්, නොපවතින මේ ලොව
පවතින නිසරු බව යස රඟට දිස්වේ
විසක් වමනය කොට, සුවපත් වූ අයකු ලෙස
මරණය ද මා හට වමනය
කළ විසක් බඳු වේ

ඉපදෙමින් මැරෙමින්, හැඬු
කඳුළින් එයට මැදි වී
ඉතා දුකසේ ආ රටාවෙන් පිටට පැන්නෙමි
කිසිවකට කිසිදු අයුරින්
පැටලී නොමැත මේ සිත
මෙලෙසින් නිදහස් වූ විට
කළ යුත්ත කොට හමාර ය
මරණයේ දංගෙඩියෙන්, මිදීගත් අයකු ලෙස
ආයුෂ ගෙවීගිය හෙයින් ඒ ගැන සතුටු වෙමි

මා ඇසූ දරාගත්, දහම අති උත්තම වේ
එදහම කියූ තැනට ම මගේ සිත පත් වී ඇත
මෙලොව පරලොව ගැන මසිතෙහි හැඟීමෙක් නැත
නිදහස් වූ සිතට කිසිදු පැතුමක් අදාළත් නැත
ගිනිගත් ගෙයින් පිට පැන සුව ලැබූවෙක් විලසට
මරණය ඉදිරියෙහි නොඒ සෝදුක් මසිතට
තොපට මේ කය ගෙන,
කරන්නට ඇත්නම් යමක්
බිලි පුදට හෝ අනිකකට යමක් කරනට සිතවී නම්
තොපට රිසි සේ කරව් ඒ දෙය ඒ ගැන කිසිවිටක
ගැටීමක් හෝ ඇලීමක් නැත්තේ ය මා සිත තුළ

සිය මරණය ගැන අල්පමාත්‍ර වූ සංවේදී බවක් නොමැති,මරණයට අයත් නැති, මරණය දිනූ ඒ කුඩා රහත් නමගේ වදන් ඇසූ සොරුන්ගේ කය ලොමුඩැහැ ගැනුණේ ය.

අනේ පින්වත් ළදරු ශ්‍රමණය
කෙසේ නම් අදහගන්ට ද
මෙවන් බබළන නුවණක්
එළිය විහිදෙන අසිරිමත් බස්
කවුද මෙවන් අරුම පුදුම දේ
තොපට පැවසූ ගුරු දෙවි?
කවරෙකු වෙත අවුත්
ලද්දේ ද තොප මේ සෝක නැති බව?
එවිට අධිමුත්ත සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගැන ඔවුනට කියා දුන්හ.

මාගේ ගුරුදෙවිදු, දනිති
ලොව ඇති සැම දෙය
ඒ සම්බුදු නුවණට විවර වී
ඇත සියලු ලෝ තතු
ලෝ සතගෙ හැම භව දුක්,
නිමා කරනා අම ඔසු
තුන්ලොව සිසාරා සියලු සත
වෙත බෙදා දෙනුයේ
ඒ මගේ භගවත් මුනිඳු ය
ඒ මුනිඳුගේ සසුනේ මම් ලදිමි
මේ සෝක නැති බව

ජීවිතයේ පළමු වතාවට ඔවුන් දුටු ඉතා අද්භූත ලොමු ඩැහැගැන්වෙන සිදුවීම මෙය විය. සොරුන්ගේ කටයුතු එතැනින් ම හමාර විය. ඔවුහු සොරකම අත්හළෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් පැවිද්ද ලබා ගත්තෝ ය. එදා බිලි පුදසුන මත හුන් පොඩිනමගේ මුවින් පිටවූයේ යම් දෙයක් ද, ඒ සියල්ල එලෙසින් ම සැබෑ විය. ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමේ සිර වී වූසු ඔවුන්ට ද එයින් පැනගන්ට හැකි විය.

ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]