[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2022-07-07

සතුරා හඳුනාගැනීම

මෛත්‍රිය යනු හිතමිතුරු බව ය. කෙනකුට තමන් ඇතුළු සියලු ලෝ සතුනට අවංක සිතින් මෙත් වඩන්නට හැකි නම් සතුරන් දුරුවී සියලු ලෝ සතුන් මිතුරු බවට පත්වනු ඇත. එහෙත් බොහෝ දෙනෙක් දිවි ගෙවන්නේ විවිධ වෙස්ගත් බාහිර සතුරන්ගෙන් තමන්ට කවර මොහොතක හෝ විපතක්, කරදරයක් වේ යැයි සංකා සිතිනි. තැතිගත් බවිනි. තමන්ට වැරැදී ඇත්තේ ද ඒ සිතිවිල්ල තුළ ම බව දන්නේ ශ්‍රී සද්ධර්මය පිළිබඳ දැනුම්වත් වූ තැනැත්තා ම ය. එනම්, ඒ සියලු බාහිර සතුරන්ට වඩා භයානක සතුරා සිටින්නේ තමන් සමීපයේ ම බව ය. ඒ අන් කවරකු හෝ නොව වැරැදි මඟ ගමන් කරවන තමන්ගේ ම සිතය. බාහිරින් පැමිණෙන සතුරු කරදර, විපත් ඒ සිදුවීමෙන් අවසන් වෙයි. එහෙත් සිත වරදෙහි බැඳුණේ නම්, අයහපතෙහි යෙදවූයේ නම් එයින් වන විපාක තමන් වෙත ම ලුහුබඳිමින් පැමිණේ. අවසානයක් නොවේ. එය මේ බවයෙන් නො නැවතී සසර පුරා ම අප පසුපස පැමිණිය හැකි ය.

ජීවිතයේ මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න ඇතුළු බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමේ දී සිත වැරැදි මඟ ගමන් කිරීමට ඇති ඉඩ වැඩි ය. ජීවත්වීම සඳහා ඕනෑම අයහපතක්, වැරැදි මාර්ගයක් තෝරා ගන්නට ඇති ඉඩ වැඩි ය. ඇතැම් කෙනෙක් එවන් ගැටලුකාරි තත්ත්වයක් නොවුණ ද ලෝභ, ද්වේෂ, මෝහා දී අකුසල සිතිවිලි නිසා සිත මෙහෙයවා බොහෝ පව් රැස් කර ගන්නා අවස්ථා ද විරල නැත. කවර තත්ත්වයක් හමුවේ වුව ද සිත සතුරු වූයේ නම් තමන්ට එයින් ගැලවීමක් නැත.

සුමනා කුමරිය සිටුතුමාගේ බාලම දියණිය යි. ඇය ඉතා සැදැහැවත් ය. දැහැමින්, යහපත් සිතිවිල්ලෙන් ම ජීවත් වූවා ය.

ඇය ධර්මය අසා සකෘදාගාමී ඵලයට ද පැමිණියා ය. එහෙත් ඕ තොමෝ ටික කලෙකින් බලගතු ලෙස රෝගාතුර විය. ආහාර පවා ගැනීමට නොහැකි විය. මරණ මොහොත ළඟා වූ බව දැනුණු ඇය තම පියාණන් දකිනු කැමැති විය. සිටුතුමා එහි ගොස් තම දියණියගෙන් සුවදුක් විමසීය. තමන් කැඳවූයේ කුමටදැයි ඇසුවේ ය.

එවිට සුමනා කුමරිය බාල සහෝදරය, මේ ඔබ කුමක් කියන්නේ දැයි ඇසුවා ය. එවිට පියාණන් ඇසුවේ දියණිය නන්දොඩවන්නේ කුමක් නිසා ද යනුවෙනි. එවිට ඇය “බාල සහෝදරය, මා නන්දොඩවන්නේ නැතැ’යි කීවා ය. “එසේ නම් මගේ දියණිය බියට පත් වී “දැයි සිටුතුමා ඇසුවේ ය.

“බාල සහෝදරය, බිය වන්නේ කුමටද?” ඇය පිළිතුරු දුන්නා ය. සිටුතුමා තම දියණිය ගේ වදන් අසා බොහෝ දුකට පැමිණුනි. එයින් මද වේලාවකින් ඇය කළුරිය කළා ය.

සිටුතුමා සෝවාන් වී සිටිය ද තම දියණියගේ හදිසි වියෝව දරා ගන්නට නොහැකි විය.අවසන් කටයුතු නිමවා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් හඬා වැළපුණේ ය. මරණ මොහොතේ දියණියගේ හැසිරීම ගැන පවසමින් තමන් හඬන්නේ, මරණය ගැන නොවන බවත්, පවට ලජ්ජා බිය ඇතිව ජීවත්වූ තමන්ගේ දියණියට මිය යන මොහොතේ සිහි එළවා ගත නොහැකිව තමන්ට බාල සහෝදරයා ලෙස තෙවරක් ම කීම නිසා බවත් පැවසුවේ ය.

එවිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඇය මඟඵල ලැබීමෙන් සිටුවරයාට වඩා වැඩිමහල් නිසා එසේ පැවසූ බවත්, මියගොස් තුසිත දෙව්ලොව උපන් බවත් ය. සුමනා කුමරියගේ මිතුරු සිත ඇය අපායෙන් මුදවා ගත්තේ ය. එහෙයින් කවර තත්ත්වයක් හමුවේ වුව ජීවත්ව සිටින තාක් පිරිසුදු සිතින්, පින් දහම්හි අප්‍රමාදී විය යුතු ය. පවට ලජ්ජා, බිය ඇතිකර ගත යුතු ය. පුරුදු පුහුණු කරන ලද යහපත් සිතම පින් කෙතකි. එහි මිත්‍රශීලි අස්වනු අනුන්ට නොව තමන්ට ම ය.

ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]