[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන පින්කෙත අනුරාධපුර පූජනීය අටමස්ථානය

පින් වැඩෙන පින්කෙත අනුරාධපුර පූජනීය අටමස්ථානය

වර්තමාන ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ අගනගරය අනුරාධපුරය යි. අනුරාධපුරයේ ආරම්භය ක්‍රි.පූ. සයවැනි සියවස තෙක් ඈත අතීතයට දිව යයි. විජය රජුගේ ඇමතියකු වූ අනුරාධ නැමැත්තා ස්වකීය නාමය මුල් කොටගෙන අනුරාධගාම නමින් ග්‍රාමයක් ඉදි කළේ ය.

එයට වසර කිහිපයකට පසුව තවත් අනුරාධ නම් කුමරෙක් වාසස්ථානයක් හා වැවක් ද තනාගෙන එහිම විසුවේ ය. අනුරාධ ග්‍රාමයේ ආරම්භය ගැන කරුණු දක්වන මහාවංසය අනුරාධ නම් කුමරුන් දෙදෙනකුට වාසභූමි වීම හා අනුරාධ නම් නැකතින් ඉදිකරවීම යන කරුණු සඳහන් කරයි.

11 වැනි ශත වර්ෂය මුල දී සිංහල රාජ්‍යය සොළීන්ට යටත් වන තෙක්ම කෙටි කාලයක් හැරුණුවිට සෑම රජකුගේ ම වාසස්ථානය වූයේ අනුරාධපුරය යි. එබැවින් එදා එය ශ්‍රී ලංකාවේ අගනුවර ද වූයේ ය.

පුරාතනයේ පටන්ම ලංකාවේ ප්‍රධාන සිද්ධස්ථාන වශයෙන් සැලකෙන සොළොස් තැනක් ( 16) තිබෙන බව මහියංගනං නාගදීපං යනාදී පාලි ගාථාව අනුව පෙනේ. මෙම සිද්ධස්ථාන දහසය අතුරෙන් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය හා සේල චෛත්‍යය යන ස්ථාන හතම පිහිටා තිබෙන්නේ ඵෙතිහාසික අනුරාධපුර ශුද්ධ නගරයේ ය.

අටමස්ථානය

අනුරාධපුරය ආශි‍්‍රතව පිහිටා ඇති අටමස්ථානය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේ දී අටමස්ථානය නමින් හැඳින් වූ සිද්ධස්ථාන කලින් කල වෙනස්වී ඇති බව දත හැකි ය. ප්‍රථමවරට අටමස්ථානය යන වචනය සඳහන් ව ඇත්තේ දඹදෙණි සමයේ රචිත පූජාවලියෙහි ය. ඒ මෙසේ ය.

අනුරාධපුර නුවරට වැඩ දකුණු මහ සෑය පිහිටි තැන මහමෙවුනා උයන් මැද, ශ්‍රී මහා බෝධිය පිහිටි තැන, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත් ලා ගෙය පිහිටි තැන, දන්තාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පතස් භූමියෙහි රුවන්වැලි මහ සෑය පිහිටි තැන, මිහින්තලයෙහි මහ සල සෑය පිහිටි තැන යැයි යන මේ අටමස්ථාන ය.

සද්ධර්මාලංකාරයේ සඳහන් වන අන්දමට අටමස්ථානය වශයෙන් හැඳින්වෙන ස්ථාන මෙසේ ය. “ මහමෙවුනා උයනේ රජගෙට දකුණු දිගින් පිහිටි මාලක සීමාව, උතුරින් පිහිටි ඡන්තඝර නම් පොකුණ, නැගෙනහිර වාසල් දොර, මහා බෝධිස්ථානය, ලෝවාමහාප්‍රාසාදය, ලහබත්ගෙය, චතුස්ශාලාව පිහිටි ස්ථානය, මහා භෝජන ශාලාව, රත්නමාලි චෛත්‍යස්ථානය.

පූජාවලියේ අටමස්ථානය ලෙස සැලකෙන ස්ථානයන්ගෙන් ථූපාරාමය හා මිහින්තලයේ මහසල සෑය සද්ධර්මාලංකාරයේ පූර්වෝක්ත ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ. මේ අනුව පැහැදිලි වනුයේ අටමස්ථානය යනුවෙන් පිළිගත් විශේෂ සිද්ධස්ථාන 08ක් අනුරාධපුරයේ පැවැති බවත්, කලින් කලට ඒවා වෙනස් වූ බවත් ය. අනුරාධපුර රාජධානිය පරිහාණියට පත්ව ජනශූන්‍ය ප්‍රදේශයක් වීමෙන් පසුව එහි වෙහෙර විහාර ද ක්‍රමයෙන් ගරා වැටෙන්නට වූ හෙයින් ඒවා හඳුනාගැන්ම ද දුෂ්කර විය. ඒ අනුව වර්ෂ 1872 දී එවක ආණ්ඩුව නිකුත් කර ඇති ලේඛනයක් මඟින් යළි අටමස්ථානය පිළිබඳ සංශෝධනයක් සිදු කොට තිබේ. අටමස්ථානයට අයත් භූමි ප්‍රමාණයන් ද වෙන්කොට දී ඇති එම වාර්තාවේ අටමස්ථානය ලෙස නම් කොට ඇත්තේ පහත සඳහන් සිද්ධස්ථාන යි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා විහාරය, ලංකාරාමය, ථූපාරාමය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය, ලෝවාමහාපාය.

තවද වර්ෂ 1908 දී අටමස්ථාන කොමිටිය නම්න් සභාවක් ද පත් කරගෙන තිබේ. වර්ෂ 1909 දී එවක ආණ්ඩුකාරවරයා හා පූර්වෝක්ත සභාවේ සාමාජිකයනුත් අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අටමස්ථාන කොමිටියේ ලේකම් විසින් අටමස්ථානය වශයෙන් පිළිගත යුතු සිද්ධස්ථාන අටක නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලදී. ඒ මෙසේ ය.

ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ලංකාරාමය, ථූපාරාමය, ලෝවාමහාපාය

දැනට අනුරාධපුර අටමස්ථානය වශයෙන් ද සලකනුයේ මෙම සිද්ධස්ථාන අටයි. ශ්‍රී ලංකාවේ නොයෙකුත් පළාත්වලින් අනුරාධපුරයට වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් වඳින්න යන ස්ථාන හතකුත් , බලන්න යන ස්ථානයකුත් මෙසේ අටමස්ථානය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඒ අනුව වඳින්න යන ස්ථාන වනුයේ ඉහත දැක්වූ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ පටන් ථූපාරාමය දක්වා වූ සිද්ධස්ථාන හතයි. බලන්න යන ස්ථානය වනුයේ ලෝවාමහාපාය යි. වර්ෂ 1909 දී රජයේ පාලනයෙන් නිදහස් කෙරුණු මෙම බෞද්ධ සිද්ධස්ථාන අද දක්වා පාලනය වන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාරක සභාවක් මඟිනි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

දැනට පිළිගෙන තිබෙන අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටෙන් පළමුවැන්න ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. එය අනුරාධපුර මහමෙවුනා උයනේ ලෝවාමහාපාය අසල උඩමලුව නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටා තිබේ. අනුරාධපුරයේ පූජනීය වස්තූන් අතර ඵෙතිහාසික කීර්තියක් හා උරුමයක් ඇත්තා වූ පූජනීය වස්තුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය.

මෙම බෝධි ශාඛාව ලක්දිවට වැඩමවන ලද්දේ ක්‍රි.පූ 3වන ශත වර්ෂයේ දී ය. දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ විශේෂ අනුග්‍රහය මත මෙය සිදුවුණි. සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩම වන ලද මෙම බෝධි ශාඛාව රෝපණය කිරීම සඳහා සුදුසු ස්ථානය තීරණය කළේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.

ශ්‍රී මහා බෝධිය රෝපණය කොට තිබෙන්නේ පොළොව මට්ටමෙන් උස්ව පිහිටි වේදිකා තුනකින් සමන්විත මලුවේ ඉහළම තලයෙහි ය. පොළෝ මට්ටමේ සිට බෝධීන් වහන්සේ පිහිටි ඉහළම මලුවට අඩි 21ක් පමණ උස ය. බෝධිය වටකොට තනවා ඇති රන්වැට දක්නට ලැබෙන්නේ මෙම මලුව වටා ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි භූමියේ තවත් පරිවාර බෝධීන් වහන්සේ රැසක් රෝපණය කර තිබේ. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා ය. පහළ මලුව වටා බැඳ ඇති අඩි 5ක් පමණ ඝනකම ඇති අඩි 10 -12ක් පමණ උස සුවිසල් ප්‍රාකාරයක් වේ. මෙය එක් පැත්තක් අඩි 350ක් ද, අනෙක් පැත්ත අඩි 275ක් ද දිග ය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිගෘහිතව සිටින්නේ කළුදේවතා බණ්ඩාර යන දේශීය නමින් හැඳින්වෙන විෂ්ණු දෙවියන් බව සාම්ප්‍රදායික පිළිගැනීම යි.

ශ්‍රී මහා බෝධිය උදෙසා පැවැත්වෙන ආගමික පූජා අතුරෙන් අලුත් සහල් මංගල්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. එසේම අලුත් අවුරුදු මංගල්‍යය ද, පැරැණි අවුරුදු මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන උත්සව ද ශ්‍රී මහා බෝධින් වහන්සේ හා බැඳුණු ආගමික උත්සව කිහිපයකි. වර්ෂ 2003 දී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දෙවැනි මලුව වටා ද අලංකාර රන් වැටක් ඉදි කරවීම මෙහිදී තවත් සැලකිය යුතු කරුණකි.

රුවන්වැලි මහා සෑය

සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම වෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහා සෑය පිළිබඳ මහාවංසයේ සඳහන් ව ඇත්තේ මහාථූප යනුවෙනි. මහාථූපය තැනවීම පිළිබඳ ප්‍රවෘත්තිය මහාවංසයේ ද, ථූපවංසයේ ද සවිස්තරාත්මකව දක්වා තිබේ.

ස්තූපය තැනවීම ආරම්භ කිරීමේ උත්සවය අනුරාධපුරයේ සිදු වූ ඉතාමත් අලංකාර උත්සවයක් ලෙස වංශකතාවන්හි සඳහන් වෙයි. ස්තූපයේ කටයුතු අවසන් වීමට පෙර දුටුගැමුණු රජු මියගියෙන් සද්ධාතිස්ස රජු ස්තූපයේ ඉතිරි කොටස් නිම කළේය. ස්තූපය වටා ඇති ඇත් පවුර සාදවන ලද්දේ ද සද්ධාතිස්ස රජු විසිනි. ඉන්පසුව තවත් බොහෝ රජවරු මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හා නව කර්මාන්ත කළහ.

ස්තූපය එකල අඩි 120ක් උස විය. සාංචි හා භාරුත් ස්තූපයන්ට සමාන නිර්මාණ ලක්ෂණ දරන මෙම ස්තූපය අත්තිවාරමේ සිට අවසානය දක්වාම ඉතා පරීක්ෂාවෙන් තනවා ඇති බව වංශ කතා විස්තරයෙන් පෙනේ. මෙම ස්තූප කර්මාන්තයෙහි යෙදෙන කිසිවකුට කුලී නොගෙන වැඩ කිරීම තහනම් කිරීමෙන් ම දුටුගැමුණු රජුගේ අපරිමිත ශ්‍රද්ධාව ප්‍රකට වෙයි.

රුවන්වැලි මහා සෑය ගරා වැටීමෙන් පසු මෑත යුගයේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද්දේ නාරංවිට සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ අනුශාසකත්වය යටතේ රත්නමාලි චෛත්‍ය සංවර්ධන සමිතිය මඟින් වර්ෂ 1870 දී මෙම භාරදූර කාර්යය ආරම්භ කෙරිණි. ඒ අනුව එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද්දේ නාරංවිට සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

උන්වහන්සේගේ අනුශාසකත්වය යටතේ රත්නමාලි වෛත්‍ය සංවර්ධන සමිතිය මඟින් වර්ෂ 1870 දී භාරදූර කාර්යය ආරම්භ කෙරිණි. ඒ අනුව එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කොට වර්ෂ 1840 ජූනි මස 17 වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දින චූඩා මාණික්‍යය පැළඳවීය. සලපතළ මලුවේ ඉතිරිව තිබූ නටබුන් අනුව සෑදවූ පරිවාර ස්තූප සතරෙහි කොත් පැළඳවූයේ වර්ෂ 1970 දී ය. ප්‍රතිසංස්කරණයට පසු ස්තූපයේ උස අඩි 338 කි. විෂ්කම්භය අඩි 294 කි. පරිමාව අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25 කි. රුවන්වැලි මහා සෑය අක්කර පහක හතරැස් මලුවක් මත පිහිටා තිබේ. මලුවේ එක් පැත්තක දිග අඩි 465 කි. ඒ වටා තිබූ පුරාණ ඇත් පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් තනවා ඇත.

ජේතවනාරාමය

අනුරාධපුරය දාගැබ් අතර සෙසු හැම දාගැබකට ම වඩා විශාල වූ ජේතවනාරාම දාගැබ මහසෙන් රජු ( ක්‍රි.ව. 276 -304) විසින් කරවන ලද්දකි. මහා පරිමාණ ස්තූපයක් වන මෙය 12 වැනි ශත වර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. අද වන විට එය නටබුන් ස්මාරකයක් ලෙස දක්නට ලැබේ.

ලෝක සංස්කෘතික උරුමයේ බිම්කඩක් ලෙස නම්කොට ඇති ජේතවනාරාම ස්තූපයේ විෂ්කම්භය අඩි 370 කි. දැනට අඩි 231 ක පමණ උසින් යුක්ත වන අතර අතීතයේ දී අඩි 400ක් උස් වූ බව කියැවෙයි. දාගැබ් මලුව අක්කර 7ක බිමක් වසා සිටියි. ස්තූපය වටා වාහල්කඩ සතුරකුත්, දාගැබ් මලුව වටා ඇත් පවුරකුත් තනවා තිබේ. බුදුරදුන්ගේ පටී ධාතුවෙහි කොටසක් මෙහි තැන්පත් කොට ඇති බව සඳහන් වෙයි.

අභයගිරිය

ධම්මරුචි නිකායේ මූලස්ථානය වූ අභයගිරි විහාරයේ ප්‍රධාන ස්මාරකය මෙන්ම පූජනීය ගොඩනැඟිල්ල වනුයේ, අභයගිරි ස්තූපය යි. අනුරාධපුර නගරයට උතුරු දෙසින් පිහිටි මෙම ස්තූපය පැරැණි ශිලා ලිපිවල අබගිරි විහරති උතර මහ චෙත යනුවෙන් සඳහන් වෙයි.

මහා වංසයේ මෙය අභයුත්තර මහාථූප යනුවෙන් දැක්වෙයි. ක්‍රි.පූ 1 වැනි ශත වර්ෂයේ දී යුද්ධයෙන් පරාජය වී පැන ගිය වළගම්බා රජුට ගිරි නිගණ්ඨයා විසූ ආරාමය අසලින් යාමට සිදු විය. එහිදී එහි වාසය කළ අය මහකලු සිංහලයා පැන යනවා යැයි කියා රජුට විහිළු කළ බව මහාවංසයෙහි දැක්වෙයි.

පසු කලෙක දී සතුරන් පළවා හැර ලක් සිහසුන නැවත හිමි කර ගත් එතුමා තම නමේ අග කොටස ද, ගිරි නිගණ්ඨයා ගේ නම ද යෙදෙන පරිදි අභයගිරිය යැයි විහාරයක් කරවීය. එය පූජා කළේ තමාට බොහෝ උපකාර කළ මහාතිස්ස හිමියනට ය.

මුලදී පැවැති අන්දමට අභයගිරි ස්තූපය අඩි 400 ක් උස වූ අතර එය ඉන්දියාවේ කණිෂ්ක රජුගේ අඩි 638ක් උස ස්තූපයට පමණක් දෙවැනි විය. දැනට අභයගිරි විහාරයේ දක්නට ලැබෙන්නේ 12 වැනි ශත වර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජු විසින් අඩි 350ක් උසට ප්‍රතිසංස්කරණය කරන ලද ස්තූපය යි. මෑත යුගයේ එනම් වර්ෂ 1890 දී යළිත් මෙය ප්‍රතිසංස්කරණය කරවීය. දැනට මෙහි උස අඩි 245 කි. විෂ්කම්භය අඩි 587 කි. සුප්‍රකට සමාධි පිළිමය පිහිටා ඇත්තේ ද අභයගිරි භූමි ප්‍රදේශයේ ය.

මිරිසවැටිය

දුටුගැමුණු රජු විසින් ප්‍රථමයෙන් ම ඉදි කරවන ලද දාගැබ මිරිසවැටිය යි. මෙය ඉදිකොට තිබෙන්නේ තිසා වැවත්, අභය වැවත් අතර පිහිටි භූමි භාගයක ය. තිසා වැවේ ස්නානයට යන කල දුටුගැමුණු රජතුමාගේ ජයකුන්තය එක්තරා ස්ථානයක සිටුවා ගියේ ය. ස්නානය අවසන් කොට පැමිණි රජතුමාට එය ආපසු ගැනීමට නොහැකි විය. විශ්මය දනවන ලෙස එය එතැනම සවි වී තිබෙනු රජුට දැනිණ. රජු තම ජයකුන්තය වැසෙන සේ දාගැබක් බැඳ වූයේ ය. එය මිරිසවැටිය යි. තව ද සංඝයා වහන්සේට පූජා නොකොට තමන් අනුභව කළ මිරිස් මාළුවක් ගැන සිහිපත් කළ දුටුගැමුණු රජු එයට දඬුවමක් වශයෙන් මෙම ස්තූපය ඉදි කළ බව මහාවංසය කියයි. මිරිසවැටි යන නම ලැබුණේ ඒ නිසා යැයි ද කියවේ.

සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු රජු සිහසුනට පත් වූ පළමුවැනි සතියේ දී ආරම්භ කළ මෙම වෛත්‍යයේ වැඩ අවසන් කිරීමට වසර තුනක් ගත වූයේ ය. 1 වැනි ගජබාහු රජු මෙම චෛත්‍යය විශාල කොට එහි විසූ මහා සංඝයාට ගම් වරයක් ද පූජා කළේ ය. වෝහාරිකතිස්ස රජු ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර ද කරවීය. 5 වැනි කාශ්‍යප රජු ස්තූපය හා විහාරයේ සියලු ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරවීය.

බෞද්ධ පූජනීය වස්තූන් විනාශ කිරිමෙහි යෙදුණු සතුරු ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරවලට මිරිසවැටිය ද හසු වී විනාශ වී පැවති හෙයින් පසුව මහා පරාක්‍රමබාහු රජු එය අසූ රියනක් වන සේ විශාල කළේ ය. මිරිසවැටිය ස්තූපයේ මුලින් තිබුණු උස ගැන මහාවංසයේ සඳහන් නොවේ. පසුව එය ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ අඩි 160ක් උසට ය.

ලංකාරාමය

වළගම්බා රජු කරවූ සිලසොබ්භඛණ්ඩක චේතිය වර්තමාන ලංකාරාමය ලෙස හඳුනාගෙන තිබේ. රජ බිසව වූ සෝමා දේවිය ගේ ඉල්ලීම මත කරවූ මණිසෝමාරාමය එම ස්තූපය සහිත සංඝාරාමයේ මුල් නම විය. කණිට්ඨතිස්ස රජු එයට විශාල පිරිවෙනක් කරවා ස්තූපයට ථූපඝරයක් ද ඉදි කරවීය. ගෝඨාභය රජු ථූපඝරය ප්‍රතිසංස්කරණය කරවීය.

ලංකාරාම ස්තූපය හා ථූපඝරය දරා සිටින වෘත්තාකාර පාදම වේදිකා දෙකකින් යුක්ත ය. දෙකේම මුළු උස අඩි 8 අඟල් 5කි. පහළ වේදිකාවේ විෂ්කම්භය අඩි 44 අඟල් 2 කි. උස අඩි 03 අඟල් 08කි. යට වේදිකාව ගලින් තනවා තිබේ. උස වේදිකාව මුළුමනින් ම ගඩොලින් තනවා තිබේ. එහි උස අඩි 4 අඟල් 1කි. එහි විෂ්කම්භය අඩි 40 කි.

ලංකාරාම වෛත්‍යයේ විෂ්කම්භය අඩි 38ක් වෙයි. ඉහළ වේදිකාවේ සිට ස්තූපයේ අවශේෂ කොටස් එනම් හතරැස් කොටුව මුදුනට උස අඩි 33 අඟල් 7කි. නැගෙනහිරින් දකුණින් හා උතුරින් පඩි පේළි සහිත දොරටු තුනකි.

ථූපාරාමය

ථූපාරාමය අනුරාධපුරය මහා ආවාස පහෙන් එකකි. මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඉදි වූ මුල්ම ඵෙතිහාසික ස්තූපය ථූපාරාමය යි. ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරවන ලදී. රුවන්වැලි මහා සෑයට මඳක් උතුරු දෙසින් ද, අභයගිරියට දකුණින් ද අභය වැව හෙවත් බසවක්කුලමට ඊසාන දෙසින් ද ථූපාරාමය පිහිටියේ ය.

මෙම දාගැබෙහි නිධන් කොට ඇත්තේ බුදුරදුන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ බව මහාවංශයේ සඳහන් වෙයි. බුදුරදුන් තෙවැනිවර ලක්දිවට වැඩම වූ අවස්ථාවේ දී සුළු වේලාවක් සමාධියෙන් වැඩ සිටීමෙන් පාරිශුද්ධත්වයට පත් වූ භූමි ප්‍රදේශයක මෙම ථූපාරාම දාගැබ පිහිටා තිබේ.

පොළෝ මට්ටමෙන් අඩි 11 1/2ක් උස කවාකාර වේදිකාවක් මත ථූපාරාමය පිහිටා තිබේ. මෙම කවාකාර වේදිකාවේ විෂ්කම්භය අඩි 164 අඟල් 6 කි. වෛත්‍යයේ විෂ්කම්භය අඩි 59ක් වන අතර උස අඩි 63 කි. සෙල්ලිපිවල ථූපාරාමය හඳුන්වා ඇත්තේ “ තුඹරුප් වෙහෙර” යනුවෙනි. එකල ථූපාරාමය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ බව විශ්වාස කෙරේ. වර්තමානයේ දක්නට ඇත්තේ වර්ෂ 1862 ප්‍රතිසංස්කරණ අවස්ථාවේ දී නිර්මාණය කළ ඝණ්ඨාකාර ස්වරූපය යි.

ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනුවෙන් හැඳින්වෙන්නේ මහා විහාරයේ පොහොය ගෙය යි. ශ්‍රී මහා බෝධියත්, රුවන්වැලි මහා සෑයත්, අතර නැගෙනහිර පැත්තට බරව ලෝවාමහාපායෙහි නටබුන් පිහිටා තිබේ. එක් පේළියකට මහා ගල් කුළුණු 40 බැගින් පේළි හතළිහක මුළු ගල්කණු සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමින් එම ගල් කණු සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදි ය. ගල්කණු තිබෙන භූමිය හරි හතරැස් වෙයි. යටින් ඇති අත්තිවාරම එක් පැත්තට අඩි 200 බැගින් වෙයි. මුල් ලෝවාමහාපායේ පළල අඩි 200ක් විය.

මෙය ලෝවාමහාපාය නම් වූයේ දුටුගැමුණු රජුගේ කාලයේ දී ය. ඒ නව මහලක් ඉදිකොට වහල තඹ උළුවලින් සෙවිලි කොට තිබූ නිසා ය. මෙම ලෝවාමහාපාය දෙවනපෑතිස් රජු විසින් ඉදිකරවන ලද අතර පසුව එය දුටුගැමුණු රජු විසින් නවමහල් කොට විශාල කරන ලදී. මහාවංසය සඳහන් කරන පරිදි මෙහි යට මාලයේ මාර්ගඵල නොලත් පෘථග්ජන භික්ෂූන් වහන්සේ ද, දෙවැනි මහලේ ත්‍රිපිටකධාරි භික්ෂූන් වහන්සේ ද, තෙවැනි සතර වැනි හා පස්වැනි මහල් හි පිළිවෙලින් සෝවාන් , සකෘදාගාමි, අනාගාමි භික්ෂූන් වහන්සේ ද, පස්වැනි මහලේ නව වැනි මහල දක්වා රහතන් වහන්සේ ද වැඩ සිට ඇත. මෙහි ඉතා මෑතක දී ගල් කණු මත තනි මහලකින් යුත් පොහොය ගෙයක් තනවා තිබේ.

 
 

ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]