[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සකල සත්වගට ශාන්තිය ළඟා කරන ආනුභාව සම්පන්න පිරිත් සජ්ඣායනාව

සකල සත්වගට ශාන්තිය ළඟා කරන ආනුභාව සම්පන්න පිරිත් සජ්ඣායනාව

ත්‍රිභූවනශේඛර ලෝකස්වාමි තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපරිමිත මෙත් කරුණාධ්‍යාශයෙන් තුන්ලෝ සත්වගට අපරිමිත සෙත සදා බුදුකිස නිමවා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා කල සක්දෙව් රද අමතා මතුදා බුදුසස්න ලක්දිවැ පිහිටන බවත්, පිරිවර සහිතව ලක්බිම ගොඩබට, මනෝරම්‍ය සිරිලක් දිවයිනේ මතු ලංකේශ්වරයාණන් - විජය නිරිඳාණන් ඇතුළු සේනාව මනාකොට රැකගනුවයි වදාළ සේක.

බුද්ධාවවාදය හිස්මුදුනින් වැඳ පිළිගත් සක්දෙව් රදු ලංකාද්වීපය ද විජය කුමරු ඇතුළු සත්සියයක් සේනාවේ රැකවරණය ද උපුල්වන් දෙව්රජුට භාර කළේ ය.

ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ නියමයෙන් පරිබ්‍රජාක වේෂයෙන් ලක්දිව බට උපුල්වන් දෙව්රදාණෝ රුක්මුලෙක හිඳ තථාගත සම්බුදුරදුන් පිරිනිවීමට සැතපුණු දා සිරිලකට ගොඩබට විජයකුමරු ඇතුළු පිරිස අමතා

‘පින්වත මේ මිනිස් වාසයෙන් තොර ලක්දිවයි. මෙහි තොපට භයක්, භීතියක් නොවන්නේ යැයි පවසා විජයකුමරු ඇතුළු සමූහයාට පැන් කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉස, පිරිත්හුය බැඳ, පෙරළා දෙව්ලෝ වැඩියෝ ය.

සුනඛ වේෂයක් මවාගත් යකිනියකගේ මෙහෙයවීමෙන් බල්ලකු ඇතිවිට ගම්බිමක් ද විය යුතු ය යන අදහසින් දර්ශනය වූ බලු රූපය පසුපස විජය කුමරුගේ පිරිස ගමන් ගත්හ. ඔවුහු කපු කටනා තවුසියක් සෙයින් රුක් මුලෙක හුන් කුවේණිය ළඟ නතර වූහ.

එදා මේ පිරිස ගොදුරු කර ගන්නට කුවේණි යකිනි සමාගමට නොහැකි වූයේ බලගතු පිරිත් හුයේ ආනුභාවයෙනි. පිරිත් පැන් හි අනුහසිනි.

සම්බුද්ධ ශාසනය ලක්දිවැ ප්‍රතිෂ්ඨාපනය කිරීමට පෙරාතුව තම්මැන්නාවට ගොඩබට විජයකුමරුගේ රැකවරණය උදෙසා තුනුරුවන් ගුණ බෙලෙන් ඔබට සෙත්වේවා'යි එදා පරිබ්‍රාජක වේෂයෙන් පෙනී සිටි උපුල්වන් දෙව්රද විජය රජ සුරතේ බැඳි පිරිත් හුය ගැන පුවත සිරිලක් වංශ කතාව ගෙනහැර පායි.

පිරිතේ, පිරිත් හුයේ, බලසම්පන්න බව හා අනුහස ද එදා පටන් පිරිත කෙරෙහි ජන මනසේ වූ ගෞරවය හා විශ්වාසය ද මෙබඳු සිද්ධීන්ගෙන් මොනවට තහවුරු වෙයි.

එදා මෙදා මානව ඉතිහාසය පිරික්සීමේ දී සත්වයා මුහුණ පාන දුක් ගැහැට, අතුරු අන්තරා, රෝගී බව මැඩ පවත්වා සැනසිලිදායක ජීවිතයක් උදෙසා නොයෙක් ශාන්ති කර්ම, තොවිල් පවිල්, පුද සිරිත් අභිචාරවිධි අනුගමනය කළ බැව් අපට පෙනීයයි.

දුරාතීතයේ භාරතීය සමාජයේත්, බුදුදහම ප්‍රතිෂ්ඨාපනය වීමට පෙර සිරිලක් සමාජයේත් මෙබඳු අභිචාර විධි දුලබ නොවීය. කෝටි ශත සහස්‍ර අතිදීර්ඝතර කාලයක් පුරා බුදුරදුන් පිරූ අපරිමිත පාරමිතා බල සුළුපටු නොවෙයි.

විශ්වයේ මහා ශාන්තිදායකයාණෝ බුදුරදාණෝ යැ. එබඳු උත්තමයකු මුවින් වෑහෙන වදන ද අසීමිත බලසම්පන්න යැ. මෙත් කරුණාධ්‍යාශයෙන් පොහොසත් බුදුවදන තිලොව සත්වගට මහා ආශිර්වාදයකි. සිරිමුවඟින් වෑහුණු වදනේ ජීව ගුණ බෙලෙන් ආතුරයාට සැනසිල්ල වේවා යන පරම පවිත්‍ර චේතනා පෙරදැරිව ශීලාදි ගුණ යුතු උතුමන් සිදුකරනු ලබන පිරිත් සජ්ඣායනාව මහා බලසම්පන්න ශාන්තිකර්මයකි. පිරිතේ සෑම අක්ෂරයක, වචනයක, අසීමිත බුදුබල ගැබ්ව පවතියි. සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මයේ බල අෂ්ටාර්ය පුද්ගල මහා සඟරුවනේ අනන්ත බල ඇතුළත් ව පවතියි. අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ්, අප්පමාණෝ සංඝෝ යනුවෙන් බුද්ධ ධම්ම සංඝ අසීමිත සුපරිශුද්ධ ගුණබල සජ්ඣායනාව පරිත්‍රාණ ධර්ම දේශනයේ දී සිදුවෙයි.

සැබෑ ලෙසම පිරිත බලසම්පන්න ශාන්ති කර්මයකි. බලගතු සත්‍ය ක්‍රියාවකි. පේවී පිරිත් දේශනා කිරීම එදා සිට පැවැතෙන පුරාණ චාරිත්‍ර විධික්‍රමයයි. නිවැරැදි ක්‍රමෝපායයන් අනුව ශීලයෙහි පිහිටා මෙත් සිත් පෙරදැරිව සිදුකරන පිරිත් දේශනාවෙන් බලසම්පන්න චිත්තවේගධාරා උපදියි. ඉන් මිනිසාට, ගහකොළ, සතාසීපාවාට අසීමිත ශාන්තියක් අත්පත් කර දෙයි.

පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි විශ්වයේ සකල සත්වගට සැනසිල්ල දානය කළ උත්තමයාණන් වහන්සේගේ සුවාසුදහසක් ධර්මස්කන්ධය උතුම් බුදුවදන සජ්ඣායනා කිරීම පරිත්‍රාණ ධර්ම දේශනාවේ දී සිදුවෙයි.

සත්වගට වන භය උපද්‍රවයන් වළකා, හැම අතින් ම ආරක්ෂා කරන්නේ ය යන්න පිරිත, පරිත්ත වචනයන්හි අර්ථයයි. මෙම ශාන්තිදායක පිරිත් සජ්ඣායනාව බලවත් උපද්‍රව, දුක් ගැහැට පිරිවන මුලිනුපුටා දමා සෙත ශාන්තිය පිණිස යොදා ගනියි. භාවිත කරයි.

විශාලා මහනුවර සිදුකළ මහා ශාන්ති කර්මය, තුනුරුවනේ අසීමිත ගුණ තෙද පෑ රතන සූත්‍රය දේශනාවයි.

බුදුරදුන් ජීවමාන සමයේ වජ්ජි ජනපදයේ විශාලා, අගනුවර විශාලා නුවරට අත්වූ ඛේදනීය ඉරණම ගැන බොහෝ අය අදත් කතා කරති. දුර්භික්ෂය, රෝගය, අමනුෂ්‍යය යන තුන් බියෙන් එදා විශාලා වැසියෝ පීඩිත වූහ.

සෞභාග්‍යවත් විශාලාවට මෙබඳු දුර්භාග්‍යයක් උදා වූයේ දැඩි නියඟය නිසාවෙනි. නිල්ල පිරුණු ඒ පුරවරයේ ගහ කොළ කෙත්වතු කාන්තාර බවට පත්විය. ඇළ දොළ, ගංගා සිඳී ගියේ ය. එයම දුර්භික්ෂයකට මඟ පෑදුවේ ය. ශරීර ශක්තිය හීන වී දුර්වලව හුන් ජනතාව අතර වසංගත රෝගයන් ද පැතිරීමෙන් එදා විශාලා වැසියනට මුහුණපෑමට සිදු වූ මේ දුර්භාර්ග්‍යය බුදුගුණ අලංකරයේ වීදාගම මෛත්‍රිය මාහිමියන් මෙසේ දැක්වූහ.

ගොඩ ගොඩ ඇට සැකිලි
තැන තැන තිබූ බලි බිලී
මඟ මඟ රෙදි වැරලි
එපුර හැම තැන බලත් පිළිකුලි

දොර දොර මිනී බෙර
ගෙයි ගෙයි හඬය බියකර
පිළ පිළ අදින මර
දුගී ගිලනුන්ගෙන් නැත වසර

එදා වජ්ජි රට විශාලාවට බලපෑ තුන් බිය පහව සමෘද්ධිය අත්පත් වූයේ තුනුරුවන් ගුණ ඇතුළත් රතන සූත්‍ර දේශනාව පැවැත්වීමෙනි.

බුදුරදුන් වෙතින් රතන සූත්‍රය උගත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ සතට පෑ කුළුුණ හදින් විශාලා නුවර පුරා ජනතාවට සෙත් පැන් දිය ඉසිමින් මෙම රුවන්සුතුර සජ්ඣායනා කළ සේක. විසල්පුර දුක්ඛිත දනෝ ඉන් සුඛිත මුදිත වූහ.

එසේම දැඩි සේ ගිලන්වැ හුන් ගිරිමානන්ද හාමුදුරුවන්ගේ තදබල රෝගී තත්ත්වය ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් තථාගත සම්බුදුරදුන්ට සැළ කරනු ලැබූහ.

එකල්හි දස සංගා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය රෝගී තෙරණුවන්ට දේශනා කරන්නැයි දන්වා බුදුපියාණෝ ආනන්ද හිමියන්ට ගිරිමානන්ද සූත්‍රය ඉගැන් වූ සේක. එසේ උගත් ගිරිමානන්ද සුතුර දැඩිව ගිලන්ව හුන් ගිරිමානන්ද හාමුදුරුවන්ට ආනන්ද හිමියෝ දේශනා කළහ.

ඉමහත් කරුණාවෙන් මෛත්‍රී හදින් මෙම සුතුර සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධ පහවැ සන්සිඳී ගිරිමානන්ද හාමුදුරුවෝ පූර්ණ සුව සහනය අත්කර ගත් සේක. එදා බුදුරදුන්ගේ උපදෙසින් දෙසූ මෙම ගිරිමානන්ද සූත්‍රය රෝගාබාධයන්ගෙන් පෙළෙන බොහෝ දෙනකුට බොහෝ රෝගාබාධයන්ගෙන් සන්සිඳීමට මහෝපකාරී වෙයි.

එසේම බුදුරදුන් දවස මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ දැඩි සේ ගිලන්වැ පිප්ඵලී ගුහායෙහි වුසු කල උන්වහන්සේ වෙතට වැඩම කළ බුදුපියාණෝ මහකසුප් තෙරණුහට සත්වැදෑරුම් බෝධ්‍යාංග ධර්මයෝ සිහිගන්වා මහා කස්සපත් ථේර බොජ්ඣංග සූත්‍රය දේශනා කළ සේක.

පහවු ආබාධයෙන් තෙරණුවන්ට සුව සහනය අත්විය.

එසේම එදා ගිජුකුළු පව්වේ මුගලන් මහ රහතන් වහන්සේ වැඩ වාසය කරන කල හටගත් ආබාධයකින් පීඩා වින්දහ. බුදුරදුහු සප්ත බෝධ්‍යංග ධර්ම සිහිගන්වා මහා මොග්ගල්ලාන ථේර බෝධ්‍යාංග සූත්‍රය දේශනා කළ සේක. බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කළ අවස්ථාවක ගිලන් වු කල වේළුවනාරාමයට වැඩම කළ චුන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරදුන්ගෙන් උගත් සප්ත බෝධ්‍යාංග ධර්ම සජ්ඣායනා කළ සේක.

ඒ අසා පිළිගැනීමෙන් බුදුරදුන්ගේ බුදුකයට හටගත් ආබාධය පහවැ ගියේ ය.

රෝගාබාධ දුරු කර ගැනීමට පිරිත් සූත්‍ර ධර්ම උපකාරවත් වූ අයුරු ඉහත දුෂ්ටාන්තයන්ගෙන් පෙනි යයි.

එසේම කෙනකු තුළ භයක්, තැති ගැන්මක් රෝමෝද්ගමනයක් ඇති විටෙක වීතරාගී, වීත දෝසී, වීත මෝහ වූ උතුම් බුද්ධරත්නය සිහිකළ යුතු ය. නෛර්යාණික වූ ශ්‍රී සද්ධර්මය සිහි කළ යුතු ය.

පුඤ්ඤක්ෂේත්‍රය වූ ආර්ය සංඝරත්නය සිහිකළ යුතු ය. එකල්හි බියෙන් හෝ තැති ගැන්මක් හෝ රෝමෝද්ගමනයක් නොවන්නේ ම ය. ධජග්ග සූත්‍රයේ සාරය එයැයි.

එසේම ජන ජීවිතය හා බැඳී පවතින පිරිත් සූත්‍ර අතර අංගුලිමාල පිරිතට අත්වන්නේ සුවිශේෂී තැනකි. ඒ අන් කවරක්වත් නිසා නොව මව්පදවි අපේක්ෂිත සෑම බොදු කුල කතක්ම තමාගේ ද, දරු ගැබේ ද ආරක්ෂාව පතමින් දරු ප්‍රසූතිය අතුරු අන්තරාවන්ගෙන් තොරව සිදු කර ගැනීමට මහ සඟරුවන වෙතින් අංගුලිමාල සූත්‍රය සජ්ඣායනා කර ගන්නා නිසාවෙනි. සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වෙතින් මෙම පිරිත උගත් අංගුලිමාල මහරහතන් වහන්සේ දරු සම්පත් අපේක්ෂිත මව්වරුන්ට දරු ප්‍රසූතිය පහසු කරවනු පිණිස මෙම සූත්‍ර ධර්මය දේශනා කළ සේක් ඉමහත් කරුණා මෛත්‍රී අධ්‍යාංශයෙනි.

“මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන ප්‍රාණියකුගේ දිවි තොර නොකෙළෙමි” ඒ සත්‍යානු භාවයෙන් මවට ද දරු ගැබට ද සෙත්වේවා’යි කළ බලගතු සත්‍ය ක්‍රියාවක් අංගුලිමාල සූත්‍රයේ දක්නට ලැබෙයි.

පිරිත් පොතේ එන සූත්‍ර අතර අන් සූත්‍ර ධර්මයන්ගෙන් වෙනස් වූ සුවිශේෂී සූත්‍රයකි, ආටානාටිය සූත්‍රය. බුදුරදුන් ගිජුකුළු පව්වෙහි වැඩවාසය කරන සමයේ දිනෙක බුදුපියාණන් වෙත සැපත් සතරවරම් දෙව් මහ රජවරුන් විසින් බුදු සිරිපා කමල් වැඳ බුදුපියාණන් වහන්ස භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් පිරිසට ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන යකුන් යක්ෂණියන්ගෙන් වන ගැහැට හිංසා පීඩා අපි දකිමු. එනිසා ඔවුනගේ ආරක්ෂාවට, උවදුරු වළක්වා පහසු විහරණය පිණිස මේ ආටානාටිය ආරක්ෂාව උගන්වන සේක්වා‘යි දන්වා සිටියහ.

බුදුරජාණන් වහන්සේ එය ඉවසූ විට වෙසමුණු දෙව්රද තෙමේ ආටානාටිය පිරිත ප්‍රකාශ කළේ ය. යකුන්, යකිණි, ගන්ධම්බ කුම්භාණ්ඩාදි අමනුෂ්‍ය සංහතියෙන් සිදුවන උවදුරු පිරිපත මැඩ සිව්වනක් පිරිසේ රැකවරණයට මෙ ආටානාටිය නම් වූ බලගතු ආරක්ෂා විධිය භාවිතා කරන්නැයි මෙම වෛශ්‍රවණ දිව්‍ය පුත්‍ර තෙමේ බුදුරදුන් වෙත කියා සිටියේ එය මනුලොව මනුසතට දන්වනු පිණිස ය.

මෙයින් පෙනී යන්නේ පෙනෙන ලොව රෝදුක් පීඩාදිය පමණක් නො වැ නොපෙනෙන ලොවැ බලපෑමෙන් සිදුවන යම් යම් උපද්‍රවාදියෙන් සර්වාරක්ෂාව පිණිස ද පිරිත් ධර්මය මිනිසාට පිහිට වී ඇති ආකාරයයි.

එනිසා මිනිසා පෙළන රෝ දුක් අමනුස්ස, උවදුරු ආදියෙන් ද තිරිසන් ලොව රුදුරු විෂඝොර සපුන්ගෙන් ද, සිංහ කොටි වග වලසුන්ගෙන් පැමිණෙන භය සන්ත්‍රාසයන් ද වළකා සාමකාමීව උවදුරු උපද්‍රවාදියෙන් බේරි සැනසිලිදායක දිවිපෙවෙතකට තුනුරුවනේ ගුªණ තෙද බල රැඳි

මහානුභාව සම්පන්න පරිත්‍රාණ දේශනාව මිනිසාට පිහිට වී ඇති ආකාරය සක්සුදක් සේ ප්‍රකට කරුණකි. මහානුභාව සම්පන්න මෙම පිරිත් ධර්මයේ ප්‍රතිඵල සැබෑ ලෙස අත්විඳීමට නම් ගරු ගාම්භිරතා පූර්වකව, ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව ම තුනුරුවන් ගුණ බල රැඳි පිරිත් ධර්මය සජ්ඣායනා කළ යුතු වෙයි. එසේම ශීලාදි ගුණයන්ගෙන් තොරවැ චරිත පාරිශුද්ධියෙන් හීනවැ පිරිත භාවිත කරයි නම්, ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ද හීනය.

පිරිතේ උසස් ප්‍රතිඵල සඳහා චාරිත්‍ර වාරිත්‍ර උපචාරවිය නියමාකාරයන් දේශක ශ්‍රාවක දෙපාර්ශවය ම අනුගමනය කිරීම අනිවාර්ය සාධකයකි. ඉමහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව ශීලයෙන් පොහොසත් වැ පේවී පිරිත් සජ්ඣායනාව සිදු කිරීමෙන් පිරිතේ අර්ථ සිද්ධිය නොමඳව ලැබෙයි. පිරිතේ නොමඳ තෙද බලය ද මනා කොට අත්විඳීමට හැකිවෙයි.

සැබැවින් ම රතනාත්‍රයානුභාව පූර්ණ සත්‍ය බලය කා වැදුණු පිරිතේ බලමහිමය, නිසි විධික්‍රමවේදයන්ට අනුකූලවම භාවිත කළෝ එහි ප්‍රතිඵල ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂවම අත්විඳිති.

පිරිත් ධර්මය ශ්‍රවණයෙන් පිරිත් දේශනාවෙන්, අසන දෙසන කොයිකාගේත් චිත්තවේග ප්‍රසන්න වෙයි. සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත චිත්තයෝ හදසන්තානයන්හි ජනනය වෙති. කවරාකාරයේ බරපතළ කායික මානසික රෝගයක් වුව සුවකර ගැනීමට තරම් වූ නෛසර්ගික බලශක්තියක් මේ උතුම් පරිත්‍රාණ ධර්මය තුළ අන්තර්ගත වෙයි. පිරිත් ධර්ම ශ්‍රවණයෙහිලා ප්‍රසාද සිත් ඇති අල්පේශාක්‍ය මහේශාක්‍ය ආකාශස්ථ වෘක්ෂ පර්වත භූමාටු දේව සමූහයා ද බුදු සිරි මුවඟින් දේශිත බුද්ධ වචනය අසා ප්‍රමුදිත වැ සාධුකාර දී බුද්ධභාෂිතය අසන්නට සැලැස්වුවනට ද උපකාර කරති.

ඉන් එතෙක් බලපෑ රෝගපීඩා දුක්කම්කටොලු උපද්‍රව පහවැගොස් පිරිත් ශාන්ති කර්මය සිදුකළ වුනගේ චිත්ත ධෛර්යය වැඩී කාර්යය සාඵල්‍යය ඉෂ්ට සිද්ධවැ ඔවුනට ගතේ සිතේ සැනසිල්ල ද යහපත ද උදාපත් වෙයි.

පිරිත වූ කලි යන්ත්‍ර මන්ත්‍රාදී අභිචාර ක්‍රමෝපායක් නොවැ තුනුරුවනේ අසීමිත ගුණ බල සිහිගන්වා සිදු කරන බලගතු සත්‍ය ක්‍රියාවකි. ඒතේන සච්ච වජ්ජේන සොත්ථිතේ හෝතු සබ්බදා මේ සත්‍ය වචනයෙන් ඔබට සැමදා සෙතක් වේවා.

බුදුරදුන් මහ බෝසතාණන් ලෙසින් පෙරුම් පුරණ සමයේදීවත් කිසිවිට සත්‍යයම මිස අසත්‍යයක් නොතෙපළේ ය. සත්‍ය වචනය ම තෙපළා සත්‍ය පාරමිතාව බුද්ධාංකුර ධර්මයත් ලෙසින් පූර්ණය කළ සේක. බව දුක් සිඳ උතුම් නිවනින් සැනසීමට ද හේතු වූ මෙම සත්‍ය වචනයේ බලය මෙලෝ දුක් සිඳ බිඳ ගැනීමට ද සත්‍ය ක්‍රියා ලෙස භාවිත කිරීමට උපා දන්නා, පැනසර නුවණින් යුතු පුරාතන මිනිසා පසුබට නොවූහ.

මෙලොව උපද්‍රව නසා මෙලොව සැපත උදාකර ගැනීමට එදා ඇත්තෝ බුදුරදුන්ගේ උතුම් සත්‍ය වචනය වන පිරිත් ධර්මය මොනවට පිහිටාධාර කර ගත්හ.

බුදුරදුන් ජීවමාන සමයේ දඹදිව දීඝලම්බික බමුණුගමේ බමුණෙක් තම බැමිණිය හා කුඩා පුතු ද සමඟ බුදුරදුන් බැහැදැකීමට උන්වහන්සේ එකල වැඩ විසූ දීඝ ලම්බික නුවර වන අරණ වෙත ගියෝ ය.

පළමුව බමුණු යුවළ බුදුසිරිපා පද්මය වන්දනා කළහ. බමුණු යුවළට බොහෝ ආයු විඳුවයි බුදුරදහු ආශිර්වාද කළ සේක. දරු සිඟිත්තා වන්දනා කළ විට බුදුරදුන් කිසිත් නොවදාළ බැවින් දෙමාපියෝ බුදු සමිඳුගෙන් ඊට හේතු විමසා සිටියහ. දරුවාට උවදුරක් ඇති බවත් ආයු ඇත්තේ සත් දිනකට පමණක් බවත් බුදුහිමියෝ වදාළහ.

අනේ බුදුපියාණෙනි. අප කෙරෙහි අනුකම්පා කොට දරුවා ජීවත් කරවන්නට මඟක් පවසන්නැයි බමුණා ද බැමිණිය ද බුදු සමිඳු ළඟ වැඳ වැටී අයැද සිටියහ. සිය නිවස්නෙහි මණ්ඩපයක් තනා සංඝයා වහන්සේ අටනමක්, දොළොස්නමක් වඩමවා වඩා හිඳුවා සතියක් මුළුල්ලෙහි නොකඩවා පිරිත් දේශනාවක් පැවැත්වීමෙන් සිදුවන්නට ඇති මහ උවදුරින් දරුවා රැක ගත හැකි යැයි පැවසූහ.

එසේම ක්‍රියාත්මක වූ මව්පියෝ බුදු උවදෙස අකුරට ම ඉටුකොට දරුවාගේ ජීවිතය රැක ගැනීමට ඥානවන්ත වූහ. පිරිතේ අනුහසින් දිගාසිරි සම්පත් ලබා ගත හැකි බවට වූ කදිම දුෂ්ටාන්තයකි මේ විපතින් බේරී දිගාසිරි සම්පත් ලැබූ දීඝායුකුමාර කථා පුවත.

තුනුරුවනේ අසීමිත බල සත්‍ය ක්‍රියා ආනුභාවයෙන් නැති වන්නට ගිය දීඝායුකුමරුගේ දිවි ඉන් සුරැකුණි.

පිරිතේ දී සිදුවන සත්‍ය ක්‍රියාව එතරම් ම බලගතු ය. ආනුභාවසම්පන්න ය.

මහ සයුරේ නැව් ගමනක දී කුණාටුවකට හසුව නැව විනාශ වූ කල ස්වකීය මෑණියන්ගේ ජීවිතය නැසෙන්නට නොදී පුතණුවෝ මව් කරපිට තබා දින ගණන් මහ සයුරේ පිහිනා අප්‍රතිහත ධෛර්යයෙන් මහා ව්‍යායාමයකින් මවගේ දිවි රැක ගත්තෝ ය.

සයුරෙන් ගොඩටවිත් පොළව මත දෙපා, රැඳවූ මෑණියෝ අප්‍රමාණ පුත්‍ර ස්නේහයෙන් සිය දෑත් පුතුගේ හිස මත තබා මගේ පුතා බුදුවේවා'යි හදවතෙහි නැඟී උතුම් ප්‍රාර්ථනාව, අදහස ඉහවහා ගිය සෙනෙහසින් දෑසේ කඳුළු වගුරවමින් වචනයෙන් ප්‍රකාශ කළෝ ය. සැබෑවට ම මීට විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරාතුව මව සමඟ මුහුදු ගමනේ යෙදුණු අසීර පුතණුවන්ට විවරණ දුන්නෝ පුතුගේ බාහු බෙලෙන් දිවි ගලවා ගත් මැණියෝ ය. මව් කෙනකුගේ ආශිර්වාදය, සත්‍ය වචනය, සත්‍ය ක්‍රියාවේ බලමහිමය මින් මොනවට පිළිබිඹු වෙයි.

සාම ජාතකයේ දී අඳ දෙමාපියන් රැකි සාම කුමරුවා පලවැල නෙළද්දී වන අරණේ දී දුනු හී වැදි සිහිසුන්වැ බිම ඇද වැටී සිටිය දී වෙනදා මෙන් තමනට රස පලවැල දී රක්නා සෙනෙහෙබර පුතණුවන්ගේ ප්‍රමාදයෙන් බිය වී පුතු සොයා ගොස්, පුතු ළඟ දෙදණින් වැටී අනේ අපට කළ සත්කාර බෙලෙන් මේ උතුම් පුතණුවන් සුවපත් වේවා'යි කළ පැතුම ඉටුවීමට ගත වූයේ මඳ වේලාවකි.

එසේ නම් එදා ගුණබර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්, කළ සත්‍ය ක්‍රියාවේ බලය මොනතරම් බලසම්පන්න නම් කල්ප කෝටි ශාතසහශ්‍රයක් පෙරුම් පිරූ බුදු පසේ බුදු, මහරහත් උතුමන්ගේ වදන, තුනුරුවන්ගේ ගුණ තෙද කොපමණ දැයි අදහාගැනීම උගහට නොවනු ඇත. තුනුරුවන් බල සත්‍ය ක්‍රියා කිරීම කෙතරම් අර්ථාන්විත ද?

මෙම ලිපියේ ඉතිරි කොටස පොසොන් පුර අටවක පෝදා (7) පත්‍රයේ පළවේ.

වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]