[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන්ගෙ කරදර තමන්ට කුමට ද?

අනුන්ගෙ කරදර තමන්ට කුමට ද?

ද්වේෂය සිත වසා ගත් කල භයානක විපාක ගෙන දෙන්නේ ය. පහසුවෙන් දුරු කළ නො හැකි ය. දණ්ඩෙන් පහර ලද සර්පයකු කෝප ගන්නේ යම් සේ ද, අනුන් නැසීමට, විනාශ කිරීමට උපදින සිතිවිලි ද එවැනි ය.

ගින්නක් මෙන් රෞද්‍ර ය. සියලු තන්හි දවා විනාශ කරන්නේ ය. ද්වේශයෙන්, ක්‍රෝධයෙන් පිරි පුද්ගලයා සැමවිට අනෙකා නසන්නට සිතන්නේ ය.. එය වඩාත් අහිතකර අනුන්ට නොව තමන්ට ය.

ද්වේෂය, ක්‍රෝධය දැවීම් ඇති කරයි. තැවීම් ඇති කරයි. නිරතුරුව ම දුකින්, සන්තාපයෙන් යුතුවෙයි. එවැනි සිතක සතුට සැනසීම නැත. මේ නිසා ම ගුණවත්කම් පිරිහී අගුණ වර්ධනය වෙයි. සුහදතාවය අතුරුදහන් වෙයි.

ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වනුයේ සන්සුන් වූ සිතකට ය. ද්වේශය නිසා පුද්ගලයාට හොඳ නරක නොවැටහෙයි.

අයිති යමක් හොරු රැගෙන යන්නා සේ ද්වේශය, ක්‍රෝධය තමන්ගේ මානසික සුවය අහිමි කරයි. මානසික රෝගයන්ට පමණක් නොව කායික රෝගයන්ට පවා ගොදුරු විය හැකියි. ද්වේෂය පාලනය කර ගැනීමට නොහැකි වුවොත් සතර අපායන්ට වැටෙයි.

මව්පියන් දරුවන් වෙත කිසි කලෙකත් අවැඩක් කරන්නේ නැත. යහපතම ප්‍රාර්ථනා කරන්නේ ය. යහපතම ඉටුකරන්නේ ය. එසේ මව්පියන් හෝ නැදෑයෙක් හෝ තමන්ට සිදු කරන යහපතට වඩා යහපතක් තැන්පත් කර ගත්තා වූ සිත තමන්ට යහපතක් සිදු කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

පුද්ගල මනසේ ආවේගයන් පාලනය කර නො ගැනීම තුළ පරලෝක වශයෙනුත් දුක්ඛිත තත්වයන්ට පත්වන බව ධර්මයේ සඳහන් වෙයි. මරණින් මතු නිරය, තිරිසන්, පේත, අසුර ලෝකවල ඉපදීම සිදුවේ. කිසිදු සැනසීමක් නොවේ. අන් අයගේ දෝෂාරෝපණයට ලක් වේ. අන් අයගේ කරදර පීඩාවන්ට ලක්වේ. ඒ ද්වේශයේ ආදීනවයි.

යමෙක් තුළ මේ ද්වේෂය වැනි මානසික ආවේගයන් ඇතිවන අවස්ථා කිහිපයක් බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. යම් පුද්ගලයකු මේ ආකාරයෙන් කල්පනා කළ හැකි ය.

“මට යමෙක් අනර්ථයක් හෝ අයහපතක් කළේ ය. මාගේ බිරිඳට, ස්වාමියාට, දරුවාට, හිතවතාට, නෑයාට, අනර්ථයක්, අයහපතක් කළේ ය. ආදී ලෙසින් කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව අස්ථානයේ කෝපය හෝ ද්වේශය ඇති කර ගැනීමට හැකි ය.

සමාජයේ බොහෝ පිරිස් තුළ ද්වේශ සහගත මානසික ස්වභාවයක් ඇති වනුයේ මේ අයුරිනි. ඒ වගේ ම කිසිදු හේතුවක් නොමැතිව ද සමහර පුද්ගලයන් තවත් අයකු සමඟ තරහව, වෛරය ඇති කර ගනී. සමහරෙක් අව්, වැසි, සුළං සමඟ ද කෝප වෙති. තවත් කෙනෙක් බොහෝ අවස්ථාවල කෝපයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන්නේ තමන්ගේ ප්‍රශ්න නිසා නොව සමාජයේ ප්‍රශ්න නිසා ය.

ද්වේෂය අපගේ සිතෙහි හට ගන්නා විට ම මා මේ ක්‍රෝධ කරන්නේ ද්වේශ කරන්නේ මට අදාළ දෙයකට ද, මට අවශ්‍ය‍ දෙයකට ද? මට අත්‍යවශ්‍ය දෙකට ද? ඒ වගේ ම කුමන හේතුවකට ද යන්න පිළිබඳ කල්පනා කිරීමේ දී අවබෝධ වනුයේ ද්වේෂය, ක්‍රෝධය සැබැවින් ම අනවශ්‍ය පාපකාරී සිතිවිල්ලක් බවයි.

ද්වේෂය, ක්‍රෝධය සහිත පුද්ගලයාට තමන්ගේ වගකීම් හා අරමුණු කවරේ ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැත. ඒ පුද්ගලයා මේ සිතිවිල්ල මත ක්‍රියා කරනුයේ මානසික හැඟීම්වල දාසයකු ලෙසිනි.

යම් පුද්ගලයකුගේ සිතට ද්වේශ සහගත සිතිවිල්ලක් හෝ වෛරයක් හෝ තරහවක් ඇති වූ විටක දී ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩීම, කරුණාව ඇති කර ගැනීම, මැදහත් සිතක් ඇති කර ගැනීම, ඒ පිළිබඳ කල්පනා කිරීමෙන් හෝ සිතීමෙන් වැළැකීම, නැතිනම් අමතක කර දැමීම, ඔහුගේ ස්වභාවය හඳුනාගෙන ඔහු හෝ ඇය අපට වෙනස් කළ නොහැකි ස්වභාවයෙන් ම දුර්වලතා ඇති පුද්ගලයකු යැයි සිතා ඔහු හෝ ඇය ගැන සිතා ඒ පුද්ගලයා ගැන තරහවක් ඇති කර නොගැනීමෙන් ද්වේෂය දුරු කර ගත හැකි බව අංගුත්තර නිකායේ ආගාත පටිවිනය සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

මේ ආකාරයෙන් ද්වේෂය, ක්‍රෝධය යටපත් වූ කල සිතට සැහැල්ලුවක් දැනේ. පසුතැවිල්ලක් ද නොමැත. සමාජයෙන් ආදර, සැලකිලි ලබයි. සියල්ලෝ දැකීමට කැමති වෙති. මුහුණ පැහැපත් වෙයි. සමාජයට විශ්වාසවන්තයෙක් වෙයි. සිල් රැකීමට පහසු වේ. රාගය, පරුෂ වචන, විවේචනය, භය, ජීවිතය පිළිබඳ කළකිරීම් ආදියෙන් වැළකේ.

මේ හේතු නිසා ද්වේෂය, ක්‍රෝධය යටපත් කිරීම යනු හොඳ ගුණාංගයකි. එබැවින් අන් අයට මෛත්‍රි කළ යුතු ය. අන් අයගේ වරදට අනුකම්පා කළ යුතු ය. සියලු ම සත්ත්වයෝ කෙරෙහි මෛත්‍රිය දැක්විය යුතු ය. කරණීය මෙත්ත සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ වදාළේ,

“මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මානසං භාවයෙ අපරිමාණං,

මව තම එක ම පුතුට දක්වන කරුණාව මෙන් සියලු සත්ත්වයන්ට එක හා සමාන ව කරුණාව, මෛත්‍රිය දැක්විය යුතු බවයි. මේ ආකාරයෙන් ද්වේෂයෙන් තොර වී මෛත්‍රියෙන් ජීවත් වීම තුළ පුද්ගලයාට මෙලොව ජීවිතය මෙන් ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගත හැකි ය.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]